ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. කොරෝනා එන්නත්කරණ වැඩසටහනෙන් ද ඊට සහාය හිමි වී තිබේ. බොහෝ රටවලට එය සතුටට කරුණක් වුව ද සෑම රටකටම එය එසේ නොවේ. මෙය පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස පෙන්වාදිය හැකිය. තරමක දුර්වල ආර්ථික ව්‍යුහයක් තිබූ රටවලට ගෝලීය ආර්ථික පසුබැසීම හේතුවෙන් යම් ආකාරයක “පහසු/ සැනසිලිදායක කාලයක්” ලැබුණු නමුත් ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ එම රටවලට නව අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම විෂය ක්ෂේත්‍රය තරමක් බැරෑරුම් වුවත් අප ගමන් කරන්නේ කුමන දිසාවකට දැයි දැනගැනීම ඉතා වැදගත් වේ. අඩුම තරමේ මේ වනවිට කලින් පැවැති ආර්ථික අවිනිශ්චිත තත්ත්වය පහව යමින් තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රතිපත්ති රෙජීමයේ යල් පැන ගිය තත්ත්වය හේතුවෙන් අපට නව අභියෝග නිර්මාණය වෙමින් තිබේ.


යථා තත්ත්වයට පත්වීමේ ගමන
ලෝක දළ දේශීය නිෂ්පාදිත වර්ධනය පසුගිය වසරේ දී සියයට 3.5කින් සංකෝචනය වූ බවත් මේ වසරේ දී සියයට 5.5කින් පුළුල් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට පුරෝකථනය කර ඇත. වසර 45කට පසු එය ලෝක ආර්ථිකය වාර්තා කරන ඉහළ වර්ධන අනුපාතිකයකි. කෙසේ නමුත් ගැඹුරු ආර්ථික සංකෝචනයකින් පසු එවැනි ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ඉහළ වර්ධනයකින් කියැවේ.

ලෝක ආර්ථිකයේ මෙම ඉහළ වර්ධනයට දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.3ට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ඇති දියුණු ආර්ථික හිමි රටවලින් ද සැලකිය යුතු දායකත්වයක් ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා කලාපය, එක්සත් රාජධානිය සහ ජපානය යන රටවල් හතර ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා වැඩි අගයකට දායකත්වය සපයයි. එම රටවල් ද මේ වසරේ දී ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇත. ආසියාවේ ආර්ථික දැවැන්තයන් වන චීනය සහ ඉන්දියාව මේ වසරේ දී දැවැන්ත ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇත. චීනය සියයට 8.1ක ආර්ථික වර්ධනයක් ද ඉන්දියාව සියයට 11.5ක ආර්ථික වර්ධනයක් ද වාර්තා කරනු ඇතැයි පැවැසේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය යනු ලොව පළමු හා දෙවැනි විශාලතම ආර්ථික දෙකට හිමිකම් කියන රටවල්ය. ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ මෙම රටවල් දෙක වන අතර එම රටවල් දෙකේ ආර්ථික වර්ධනය ලෝක ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ දී ඉතා වැදගත්ය.

ඉහත කී කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේ දී ගෝලීය ආර්ථිකය තුළ අහිතකර හෝ පෙර නොවූ විරූ ආකාරයේ සිදුවීම් ඇති නොවූවත් ඉදිරි වසර දෙක තුනේ දී ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිසෙනු ඇත. යථා තත්ත්වයට පත්වීමේ ගමනේ දී අනෙකුත් වර්ධනය වීම් ද සිදුවනු ඇත. මේ වනවිට දක්නට තිබෙන ප්‍රධානම ගෝලීය ප්‍රවණතාව වනුයේ ගෝලීය මට්ටමින් උද්ධමන පීඩනය ගොඩනැගෙමින් තිබීමයි.


වෙළෙඳ භාණ්ඩවල මිල ගණන්
ලෝක ආර්ථිකය තුළ වෙ‍ළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමේ ලක්ෂණ දැනටමත් පහළ වී තිබේ. පසුගිය වසරේ මැද භාගයේ දී බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 20ටත් වඩා අඩු අගයක් ගත් අතර මේ වසරේ දී එම අගය ඉහළ යන ලක්ෂණ මේ වනවිටත් පහළ වී තිබේ. දැනටමත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 60ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ඉන්ධන සඳහා තිබෙන ඉල්ලු‍ම ද ඉහළය. මේ හේතුවෙන් දීර්ඝ කාලීන ලෝක මිල ගණන් ඉහළ යෑමේ තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ. වේගයෙන් වර්ධනය වන විශාල ආර්ථික හිමි රටවල ඉන්ධන ඉල්ලු‍ම ඉහළ යන විට දී ගෝලීය වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ද ඒ සමඟම ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට තිබේ.

ලෝක ආහාර මිල ගණන් ද ඉහළ යමින් තිබේ. එක්සත් ආහාර හා කෘෂිකාර්මික (එෆ්.ඒ.ඕ.) සංවිධානයේ ගෝලීය ආහාර මිල ගණන් දර්ශකය පසුගිය වසර පහක කාලයේ දී 100ට අඩු අගයක පැවැතුණි. කෙසේ නමුත් පසුගිය වසරේ (2020) මැද භාගයේ සිට එය ඉහළ යමින් තිබෙන අතර පසුගිය වසරේ අවසන් මාසයේ දී එය 116ක් දක්වා ඉහළ ගියේය. ලෝකයේ ව්‍යාපාරික චක්‍රය තුළ වෙ‍ළෙඳ භාණ්ඩවල මිල ගණන් සහ ආර්ථික වර්ධනය සමීපව ගමන් කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. පසුගිය දශක කිහිපයේ දී ලෝක ආර්ථිකය වේගයෙන් පහත වැටුණු අතර උද්ධමන ප්‍රවණතාව ද පහළ යමින් තිබේ. ලෝක ආර්ථිකය මේ වනවිට වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන අතර ඉදිරි වසර කිහිපයේ දී ලෝක උද්ධමනය නැවත වරක් ඉහළ යනු ඇත.

ලෝක උද්ධමනයේ ඉහළ යන ප්‍රවණතාවත් සමඟ තවත් වැදගත් සාර්ව විචල්‍යයක් තිබේ. එමඟින් එහි ප්‍රතිලාභ ඉදිරියට ගෙනෙනු ඇත. පොලී අනුපාත එම සාර්ව විචල්‍යයි. මේ දක්වා ලෝක ආර්ථිකය දීර්ඝ කාලීන පොලී අනුපාතිකවල පහළ යෑමේ ප්‍රවණතාවකට මුහුණ දෙමින් සිටියි. අපට කඩිනමින් අත්දකින්නට නොලැබුණ ද ඉදිරි වසර කිහිපය තුළ පොලී අනුපාතික ඉහළ යනු ඇත.

ආර්ථිකය පුළුල් වීම හෝ සංකෝචනය වීම හෝ යන්න සමඟ උද්ධමන අනුපාතිකත් පොලී අනුපාතිකත් සමීපව ගමන් කිරීම සාමාන්‍ය ව්‍යාපාරික චක්‍රයකි. අසාමාන්‍ය තත්ත්වයකදී හැරෙන්නට මෙය සාමාන්‍ය ව්‍යාපාරික චක්‍රයකි.


අර්බුදයට එරෙහි ප්‍රතිපත්ති
සෑම තැනකම මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථික අර්බුදයට එරෙහිව යමින් ප්‍රතිපත්ති ගෙන තිබේ. කෙසේ නමුත් අපේ රටේ ආර්ථික තත්ත්වය අන් සියල්ලට වඩා දරුණුය. අපේ රටේ ආර්ථික අර්බුදය කොවිඩ්-19ට පමණක් සීමා වූවක් නොවේ. කොරෝනා වසංගතයට පෙර අපට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ අහිතකර ආර්ථික ප්‍රතිවිපාක දරාගැනීමට සිදුවිය. එපමණක් නොවේ, ඊට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය අහිතකර ලක්ෂණ පෙන්නුම් කළේය. යුද්ධයෙන් පසුව ද මෙරට ආර්ථිකය වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් නොකළේය. අර්බුද එතැකින් අවසන් වන්නේ ද නැත. මේ සියවස ආරම්භයේ සිටම මෙරට ආර්ථිකය නරක අතට හැරෙන ලක්ෂණ දිගින් දිගටම පෙන්නුම් කළ අතර ඒවා මීට පෙර දිගින් දිගටම සාකච්ඡා කර තිබේ.

මේ සියල්ල අවසානයේ දී සිදුව ඇත්තේ අර්බුදවලින් පිරුණු ආර්ථිකයක ප්‍රතිපත්ති රැසකි. ආදායම් වර්ධනය නරක අතට හැරීම හේතුවෙන් රජයට වියදම් වැඩි කිරීමට සිදුවිය. ඊට මූල්‍ය සපයනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව 2019 වසර අවසානය වනවිට රුපියල් බිලියන 75ක රාජ්‍ය සුරැකුම්පත් තිබිණි. ආණ්ඩුවේ ණය දීම් හේතුවෙන් මේ වනවිට එය රුපියල් බිලියන 800 ඉක්මවා වර්ධනය වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට දෙන ණය ද වැඩි කර තිබේ. ඒ හේතුවෙන් ආණ්ඩුවට දෙන ණය ද වැඩි වී තිබෙන අතර ආණ්ඩුවේ වියදම් ද වැඩි වී තිබේ.

පෞද්ගලික වියදම්වල පාඩුව හේතුවෙන් ඇති වූ අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවල බලපෑම අඩු කිරීමට ආණ්ඩුව උත්සාහ කිරීම නිසා අපේ ඇතැම්හු එය කේන්සියානු ප්‍රතිපත්ති යැයි කීහ. ඇතැම් අය එය නූතන මූල්‍ය/ මුදල් න්‍යායට අදාළ අදහස්වල අලු‍ත් උද්යෝගයක් යැයි ඇතැම්හු පවසති. මහ බැංකුව ආණ්ඩු වියදම්වලට මූල්‍ය සපයන බැවින් ඔවුහු එම අදහස් පළ කරති.


දියාරු ප්‍රතිපත්ති
ස්වභාවිකව ආර්ථික පසුබැසීම මැඩපැවැත්විය හැකි උද්ධමන පීඩනය නොවන්නට අර්බුදවලින් පිරි ආර්ථිකයකට ඉහත ප්‍රතිපත්ති ගැනීම පහසු නොවේ. ආර්ථිකය පුළුල් වනවිට උද්ධමනය ඉහළ යන අතර පසුබැසීමක දී උද්ධමනය පහළ යයි. එම නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉදිරි වසර කිහිපය තුළ උද්ධමන පීඩනය ඉහළ යන අයුරු අපට දැකගන්නට හැකියාව ලැබෙනු ඇත.
එම නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ එළැඹෙන කාලය තවදුරටත් මූල්‍ය සහ අයවැය ප්‍රතිපත්ති උත්තේජනවලට සුදුසු කාලයක් නොවේ. මූල්‍ය තත්ත්වය පුළුල් කිරීමේදීත් ආණ්ඩුවේ වියදම්වලදීත් මේ සමයේ දී වඩාත් පරෙස්සම් විය යුතුය. අනවශ්‍ය ලෙස ඉල්ලු‍ම් වැඩි වීම නිසා මේ සමයේ දී උද්ධමන පීඩනය සම්බන්ධයෙන් ද අවධානයෙන් සහ පරෙස්සමෙන් කටයුතු කළ යුතුය. ඒ සමඟම ක්‍රමයෙන් මූල්‍ය විනය දෙසටත් මූල්‍ය ඒකග්‍රතාව දෙසටත් ගමන් කළ යුතුය.

මූල්‍ය විනය ඇති කරගැනීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුවේ වියදම් දැරීමෙන් ඉවත් විය යුතුය. මූල්‍ය ඒකාග්‍රතාව ඇති කරගැනීමේ දී බදු ආදායම් වැඩි කළ යුතු අතර වියදම් සීමා කළ යුතුය. අයවැය හිඟය සීමා කිරීම මඟින් එය කළ යුතුය. අපේ ඇතැම් අය එය මූල්‍යවාදී න්‍යායක් ලෙස හඳුන්වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අමතර මුදල් වර්ධනය කපා හැරීම ඊට හේතුවයි. පෞද්ගලික අංශයට ඉඩ සැලසීම හේතුවෙන් ඇතැම් අය මෙය නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට නැවත අවස්ථාවක් දීමක් යැයි ද කියනු ඇත. මේ අවස්ථාවේ දී අවශ්‍ය වී ඇත්තේ විකල්ප ප්‍රතිපත්තිය. ඒවාට ලේබල් ගැසීම මේ අවස්ථාවේ සුදුසු නොවේ.
අනෙක් අතට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පොලී අනුපාත මත උඩුකුරු තෙරපුමක් එල්ල වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. අනවශ්‍ය ඉල්ලු‍ම සීමා කිරීමට ඉහළ පොලී අනුපාත ඉතා හොඳ උපකරණයකි. එමගින් උද්ධමන පීඩනය ද පාලනය කරගත හැකිය.


යථා තත්ත්වයට පත්වීමට සූදානම් වීම
ආර්ථිකවලට බලා සිටිනවාට වඩා යථා තත්ත්වයට පත්වීමට සූදානම් විය හැකිය. එය අර්බුද තුළ ලැබෙන අවස්ථා ලෙස පෙන්වාදිය හැකිය. ඉල්ලු‍ම අනවශ්‍ය/ අසාධාරණ ලෙස වැඩිවීම සම්බන්ධයෙන් අපි ඉහත දී සාකච්ඡා කළෙමු. ඒ තුළින් අනවශ්‍ය උද්ධමන පීඩනයක් ඇති වේ. ප්‍රතිසංස්කරණ සිදු නොවීම නිසා දළ දේශීය නිෂ්පාදිතය නියමිත පරිදි සිදු නොවීම නිසා එය අනවශ්‍ය/ අසාධාරණ ඉල්ලු‍ම ලෙස හැඳින්විය හැකිය.
මෙය ශ්‍රී ලංකාව හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව තුළ 1989 වසරෙන් පසු අර්ථවත් ආකාරයෙන් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු කර නොමැත. කෙසේ නමුත් මෙරට තුළ ටිකෙන් ටික ප්‍රගතිශීලී ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කර තිබේ. ඒ අතරම තැනින් තැන ඒවායේ වෙනස්කම් ද සිදු කර තිබේ. මේ අර්බුදකාරී තත්ත්වය ආර්ථික වර්ධනය සීමා කරන රටේ ව්‍යුහාත්මක සීමා අඩුපාඩු නිවැරැදි කිරීමට සුදුසුම තත්ත්වයකි.  අවස්ථාවලින් ප්‍රයෝජන නොගෙන අප ආර්ථිකය යථා තත්ත්වයට පත්වන කාලයට සූදානම් නොවූවහොත් කුමක් සිදු වේවි ද? එසේ වුවහොත් කොරෝනා වසංගතයට පෙර පැවැති මධ්‍යම ආර්ථික වර්ධන තත්ත්වයට අප නැවත වරක් වැටෙනු ඇත.

(***)
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ  පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා