පැසී එන තල වගාවක්
බීජ තල මිල රුපියල් 1000 යි
අස්වැන්න ඉල්ලන්නේ රුපියල් තුන්සියයට
අස්වැන්න එන කාලෙට සංවිධානාත්මකව මිල අඩු කරනවා
මහන්සියටයි, වියදමටයි සරිලන මිලක් නොලැබීමෙන් ගොවීන් තල වගාව අතහැරලා
තල කිලෝ එකකට රුපියල් පන්සියයක මිලක් ලැබෙනවා නම් යම් සහනයක්
යන්ත්‍රානුසාරයෙන් තල අස්වැන්න එකලස් කිරීමට ක්‍රමයක් නොවීමද නිෂ්පාදන වියදම ඉහළ යෑමට හේතුවක්
බීජ වපුරන්නේ නම් හෙක්ටයාරයකට තල බීජ කිලෝ හතක් අවශ්‍යයි
ආසන්න වශයෙන් හෙක්ටයාර් එකක වගාවකින් කිලෝ ග්‍රෑම් 1500 ත් 1700 ත් අතර අස්වැන්නක් ලබාගන්න පුළුවන්
බුල්නෑව ප්‍රදීප් රණතුංග
යල් කන්නයේ රජරට කලාපයේ ප්‍රදේශ ගණනාවක වගා කර ඇති තල අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බව ගොවීහු පවසති. අනුරාධපුරයේ මැදවච්චිය, මහවිලච්චිය, නොච්චියාගම, තලාව, පෙරිමියන්කුලම, ගල්කල්ල, කරුක්කන්කුලම, රනෝරාව ආදි ප්‍රදේශ ආශ්‍රිතව තල වගාකර ඇති ගොවිහු මේ හේතුවෙන් අසීරුතාවට පත්ව සිටිති.
අනුරාධපුර, ගල්කඩවල ගම්මානයේ පාරම්පරික ගොවියකු වන ඒ.ජී. අබේකෝන් මෙසේ පැවසීය.
“අපි හේන්වල තල වගා කෙරුවේ. දැන් වෙලා තියෙන්නේ දුක් මහන්සි වෙලා, වියදම් කරලා අස්වැන්න ගන්න වෙලාවේ මිලක් නෑ. ගොඩක් වෙලාවට ගොවියෝ වෙච්ච අපිට මෙහෙම තමයි වෙන්නේ. සමහර ගොවියෝ ඉස්සරහට හරි මිල වැඩිවෙයි කියලා හිතලා අස්වැන්න තියාගෙන ඉන්නවා. හැමෝටම එහෙම කරන්න බෑ. තියෙන ණයත් එක්ක කීයකට හරි දෙන්න වෙලා තියෙන්නේ. වෙළොන්දොත් බලන්නේ කීයක් හරි අඩුවෙන් ගන්න.
බීජ තල මිල රුපියල් දහසක් පමණ වුවත් සිය අස්වැන්න රුපියල් තුන්සියයකට පමණ මිලදී ගන්නා බව ගොවිහු පෙන්වා දෙති. සිය අස්වනු නෙළන කාලය වන විට මෙසේ මිල පහත වැටීම ඉතා ගැටලුසහගත බව ගොවීහු පවසති. මෙසේ මිල පහත දැමීම වෙළෙඳුන් විසින් සංවිධානාත්මකව සිදුකරනු ලබන්නක් බවට ඔවුහු සැක පහළ කරති.
කලක් තිස්සේ තල වගාවේ නියැලෙන ගොවියකු වන ගල්කඩවල, දෙමටවැව ලලිත් අමරසිංහ මෙසේ පැවසීය.
“වෙළෙන්දෝ ගෙදරටම ඇවිල්ලා කුණු කොල්ලෙට තමයි තල ඉල්ලන්නේ. රුපියල් තුන්සීයට, තුන්සිය විස්සට තමයි වෙළෙන්දෝ ඉල්ලන්නේ. ඒ ගානට දීලා ඇති වැඩක් නෑ. අතින් පාඩුයි. මට හිතෙන්නේ අස්වැන්න එන කාලෙට මිල පහළ දාන එක වෙළෙන්දෝ කතා වෙලා කරන වැඩක් කියලා. අඩුම ගානේ රුපියල් පන්සීයකටවත් කිලෝ එක ගන්නව නම් අපිට පොඩි සහනයක් තියෙනවා. දහදුක් විඳලා ගොවිතැන් කරලා අස්වැන්න ගන්න කාලෙට මොනව හරි හෙනහුරුකමක් පාත් වෙනවා. උඩ ඉන්න දෙයියන්ට ඇරෙන්න මේ දුක කියන්න වෙන කෙනෙක් නෑ.”
මෙසේ දැඩි ලෙස තල මිල පහත වැටීම හේතුවෙන් කළ වියදම හෝ පියවා ගත නොහැකි තත්වයක් මතුව ඇති බව ගොවීහු පෙන්වා දෙති. බිම සී සෑම, තල බීජ, කම්කරු කුලිය, අස්වැන්න එකලස් කිරීම ආදි වියදම් සදහා විශාල වැය බරක් දැරීමට සිදුව ඇති බව ගොවීහු පවසති. සිය මහන්සියට සහ වියදමට සරිලන මිලක් නොලැබීමෙන් ඇතැම් ගොවීන් තල වගාව අත්හැර දමා ඇති බවද ඔවුහු පවසති. යන්ත්‍රානුසාරයෙන් තල අස්වැන්න එකලස් කිරීමට ක්‍රමයක් නොවීමද නිෂ්පාදන වියදම ඉහළ යෑමට හේතුවී ඇති බව ගොවීහු පෙන්වා දෙති.
ගල්කඩවල ගම්මානයේ පාරම්පරික ගොවියකු වන ඩී.බී. හේරත් මෙසේ පැවසුවේය.
“ණය වෙලා ගොවිතැන් කරන මිනිස්සුන්ට අස්වැන්නට හරි මිලක් නැතිවුණාම ජීවත් වෙන්න විදිහක් නැතිව යනවා. මේ පාර මහ ලොකු අස්වැන්නකුත් නෑ. තියෙන ටිකත් තුට්ටු දෙකට දෙන්න වුණාම ඔක්කොම ඉවරයි. ගොවියන්ට දැන් වෙලා තියෙන්නේ කන්නයක් තිස්සේ මහන්සි වෙලා වෙළෙන්දෝ පෝසත් කරන එක විතරයි. තල කපලා, එකතු කරලා, මාවර ගහලා, කොළ හැලෙනකන් ඉඳලා ඊට පස්සේ තමයි ලී කදේ ගහලා අස්වැන්න ගන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ලොකු මහන්සියක්, වියමදමක් යන වැඩක්. ඔය බඩඉරිගු, උදු, සෝයා එහෙම නම් සුනාම් කරලා අස්වැන්න ගන්න පුළුවන්. ඒත් තල අස්වැන්න ගන්න එහෙම බෑ. තාමත් මිනිස් ශ්‍රමයෙන්ම තමයි අස්වැන්න ගන්න වෙලා තියෙන්නේ.”
තල ශ්‍රී ලංකාවේ වියළි, අතරමැදි කලාපවල වගා කළ හැකි වාර්ෂික බෝගයක් වේ. අසංතෘප්ත මේද අම්ල බහුලව අඩංගු වන බැවින් පෝෂණීය අගය ඉහළය. ඉහළ අපනයන ඉල්ලුමක් ද පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයයි. වැලිමය ලොම් පසක් වගාව සඳහා වඩාත් සුදුසු බව සඳහන්වේ. තල බීජ වැපිරීම හෝ සිටුවීම සිදුකරයි. බීජ වපුරන්නේ නම් හෙක්ටයාර් එකක් හෙවත් අක්කර දෙකහමාරක් සඳහා තල බීජ කිලෝ හතක් පමණ අවශ්‍ය වේ. පැළ සිටුවන්නේ නම් ඒ සදහා කිලෝ පහක් පමණ සෑහේ. මාස දෙකහමාරත් තුනත් අතර කාලයේ අස්වැන්න නෙළාගත හැකිවේ.
ආසන්න වශයෙන් හෙක්ටයාර් එකක වගාවකින් කිලෝ ග්‍රෑම් 1500 ත් 1700 ත් අතර ප්‍රමාණයේ අස්වැන්නක් ලබාගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මලී සහ උමා යන තල ප්‍රභේද මෙරට තුළ වඩාත් ජනප්‍රියව පවතී. ඒ ඒ ප්‍රභේද සුදු, ලා දුඹුරු සහ කළු පැහැයෙන් සමන්විතවේ. යල කන්නය සඳහා වර්ෂාවත් සමඟ මාර්තු මැද සිට අප්‍රේල් මුල දක්වා කාලය බීජ වැපිරීමට හෝ සිටුවීමට සුදුසුය. මහ කන්නය සඳහා සැප්තැම්බර් මැද සිට ඔක්තෝබර් මුල දක්වා කාලය තුළ වගාව ස්ථාපිත කිරීමට යෝග්‍යවේ.
අනුරාධපුර, ගල්කඩවල ගම්මානයේ ඩී.එම්. ගුණපාල වගා පිළිවෙත් පිළිබඳව මනා අවබෝධයෙන් යුතු අත්දැකීම් සපිරි ගොවි මහතෙකි. ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.
“මට මතකයි අපේ අප්පච්චිල මේ ගම්වල ගොවිතැන් කරන විට කෘෂිකර්ම උපදේශක මහත්තයා එහෙම ගමට එනවා. දැන් එහෙම කවුරුවත් ගමට එන්නෑ. අපි කාගෙවත්ම පිහිටක් නැතිව තමයි දැන් ගොවිතැන් කරන්නේ. ගොවිතැනකට ලෙඩක්, රෝගයක් ආවත් මොනවද ගහන්න ඕන තෙල් වර්ගේ කියලා අපිට දැන් අහගන්න වෙලා තියෙන්නේ තෙල් කඩේ මුදලාලිගෙන්. ඒවා ගොවීන්ට කියලා දෙන්න ගමට පත් කරලා ඉන්න නිලධාරි ඒ ගැන දන්නෑ, නැත්නම් ගමට එන්නෑ. ඉතිං ඔහොම ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි අපි ගොවිතැන් කරන්නේ. අපි ඉල්ලන්නේ අපිට වෙන උදව් එපා අඩුම තරමින් දුක් මහන්සි වෙලා කරන ගොවිතැනේ අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න කියලා. මේ ඈත ගම්මැදිවලට වෙලා දුක් විඳගෙන ගොවිතැන් කරන මිනිස්සු ගැන බලන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”
සුදු සහ කළු තල අස්වැන්න
එකලස් කළ තල අස්වැන්න
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිසි මිලක් නොලැබීමෙන් පීඩාවට පත් රජරට තල ගොවියෝ