IMG-LOGO

තේ වගාවේ නොපෙනෙන අර්බුදය

මධ්‍යම කඳුකරයේ සිසිල් මීදුම තුළ, ලංකා තේ වල උරුමය තවමත් ආඩම්බරයෙන් රැඳී තිබෙන අතර, එය රසය, උරුමය සහ ගෝලීය ගෞරවයට පාත්‍ර වන ගුණාංගයකින් පිරුණු කතාවකි. පරම්පරා ගණනාවක් තිස්සේ, ලෝකයේ හොඳම තේ නිපදවා ඇත්තේ මෙම දූපත් රාජ්‍යයේ හරිතවර්ණ බෑවුමේය. එහෙත් එම උරුමය දැන් වඩ වඩාත් බිඳෙන සුළුය. එක යායට පැතිරුණු තේ වතුවල සුන්දරත්වයට යටින්, ඒවා නඩත්තු කරන පසෙහිම අර්බුදයක් දිග හැරෙමින් පවතී. එම පස ක්ෂය වන විට, නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ මූලික වශයෙන් පරිණාමය වන විට, ශ්‍රී ලංකා තේ කර්මාන්තය නිර්වචන ප්‍රශ්නයකට මුහුණ දෙයි: ඒ අතීතයේ හුරුපුරුදු, නමුත් අසාර්ථක වූ භාවිතයන්ට ඇලී සිටීද, නැතහොත් එය පුනර්ජනනීය අනාගතයකට පුරෝගාමී වී එහි ගෝලීය නායකත්වය නැවත තහවුරු කරයිද? යන ගැටලුවයි. 
ඉදිරි මාවත ශාස්ත්‍රීය මනඃකල්පිතයක් නොවේ. එය දැනටමත් බිම් මට්ටමේ සිතියම්ගත කර ඇති එකකි. ශුභාරංචිය නම් ශ්‍රී ලංකාව දැනටමත් පළමු, තීරණාත්මක පියවර ගෙන තිබීමයි. සන්ධිස්ථානීය ජයග්‍රහණයක් ලෙස, හල්ගොල්ල වතුයාය, තේ වතුයායක් සඳහා ලොව ප්‍රථම Regenagri සහතිකය ලබා ගත් අතර, එය රට ගෝලීය තිරසාර සිතියමට ක්ෂණිකව ඇතුළත් කළ පියවරකි. වැඩි කල් නොගොස්, ලුම්බිණි තේ නිම්නයද එම මාර්ගයේම ගමන් කළේ, එම කීර්තිමත් සහතිකය ලබා ගත් ලෝකයේ කුඩා වතු හිමියන්ගේ පළමු කණ්ඩායම බවට පත්වෙමිනි. විවිධ පරිමාණයෙන් ක්‍රියාත්මක වන මෙම පුරෝගාමීන්, පසෙහි සෞඛ්‍යය ක්‍රියාකාරීව ප්‍රතිස්ථාපනය කරන, අත්‍යවශ්‍ය ජෛව විවිධත්වය ඉහළ නංවන සහ වායුගෝලීය කාබන් වෙන් කරන සමස්ත ගොවිතැන් ක්‍රමයක් වන පුනර්ජනනීය කෘෂිකර්මාන්තය යනු විශාල වතු සහ කුඩා වතු හිමියන්ගේ සාමූහික යන දෙකටම ශක්‍ය ආකෘතියක් බව නිශ්චිතවම ඔප්පු කර ඇත.
එහෙත් මෙම හුදකලා සාර්ථක කතා, කොතරම් ආශ්වාදජනක වුවත්, තත්වය වෙනස් කිරීමට තරම් ඒවා ප්‍රමාණවත් නොවනු ඇත. තිරසාරභාවය මගින් වඩ වඩාත් ආක්‍රමණශීලීව මෙහෙයවනු ලබන අපනයන වෙළෙඳපොළවල ශ්‍රී ලංකාව තම තරගකාරී වාසිය පවත්වා ගැනීමට නම්, එයට පද්ධතිමය පරිවර්තනයක් අවශ්‍ය වේ. එම දැවැන්ත මාරුව සඳහා සියල්ලටම වඩා එක් දෙයක් අවශ්‍ය වේ: ඒ රජයෙන් ලැබෙන පැහැදිලි, ස්ථාවර සහ නිර්භීත ප්‍රතිපත්තිමය සහායයි.
පැහැදිලිව කිවහොත්, පුනර්ජනනීය කෘෂිකර්මාන්තය වැළඳ ගැනීම යනු හුදෙක් හොඳ හැඟීමක් ඇති කරන අදහසක් හෝ ආයතනික සමාජ වගකීම් මුලපිරීමක් නොවේ. එය බුද්ධිමත් හා අවශ්‍ය ආර්ථික උපාය මාර්ගයකි. එහි හරය තුළ, එය කර්මාන්තයේ වඩාත්ම දැවෙන මූල්‍ය අභියෝගවලට සෘජුවම මුහුණ දෙයි. බොහෝ වගාකරුවන්ට දැඩි බරක් බවට පත්ව ඇති මිල අධික, බොහෝ විට ආනයනය කරන ලද කෘෂි රසායන මත යැපීම ඒ හරහා ක්‍රමානුකූලව අඩු කරයි. පස පුනර්ජීවනය කිරීමෙන්, එය දිගුකාලීන අස්වැන්න වැඩි දියුණු කරන අතර, ගෝලීය තේ වෙළෙඳපොළේ කුප්‍රකට ලෙස අස්ථාවර මිල ගණන් වලට එරෙහිව බෆරයක් නිර්මාණය කරයි. මෙම සංක්‍රාන්තිය වගාකරුවන්ට ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ නව ආදායම් මාර්ග යන දෙකටම මාර්ගයක් ලබා දෙයි. එය කාබන් ණය වෙළෙඳපොළට කලින් ප්‍රවේශ විය නොහැකි වූ දොරටු විවෘත කරන අතර, නිෂ්පාදකයන්ට ඔවුන්ගේ සහතික කළ නිෂ්පාදන සඳහා තිරසාර අධිමිලක් නියම කිරීමට ඉඩ සලසයි.
මෙම හදිසිභාවය අවධාරණය කෙරෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ රෙගුලාසිවල භූගෝලීය වෙනසක් මගිනි. ශ්‍රී ලංකාව තීරණයක් ගන්නා තෙක් ලෝකය බලා සිටින්නේ නැත. ක්‍රීඩාව වෙනස් කරන්නන් වන්නේ යුරෝපීය හරිත ගිවිසුම, ජර්මනියේ දැඩි Lieferkettengesetz (සැපයුම් දාම පනත) සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත යුරෝපා සංගමයේ ආයතනික තිරසාරභාවය නිසි ලෙස කඩිසරව ක්‍රියාත්මක කිරීමේ නියෝගයයි. මෙම රෙගුලාසි මඟින් ආනයනකරුවන්ට ඔවුන්ගේ සමස්ත සැපයුම් දාමවල පාරිසරික හා සමාජීය තිරසාරභාවය සොයා ගැනීමට සහ සත්‍යාපනය කිරීමට නීත්‍යානුකූලව අවශ්‍ය වනු ඇත. Regenagri වැනි ස්වාධීන, සත්‍යාපනය කළ හැකි සහතික කිරීම් නිර්මාණය කර ඇත්තේ එම සහතිකය හරියටම ලබා දීම සඳහා ය. පුළුල් ලෙස භාවිතා කිරීම සහ පෙළගැස්වීමකින් තොරව, ශ්‍රී ලංකා තේ විනාශකාරී ප්‍රතිඵලයක් අවදානමට ලක් කරයි: ඒ වඩාත් ක්‍රියාශීලී තරගකරුවන්ට එහි වෙළෙඳපොළ කොටස පමණක් නොව, වෙළෙඳපොළ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අහිමි වී යාමයි.
ශ්‍රී ලංකා රජය කළ යුත්තේ කුමක්ද? කරුණු හයක ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයක් මගින් පැහැදිලි මාර්ග සිතියමක් ඉදිරිපත් කරයි
පළමුව, රජය කළ යුත්තේ කෘෂිකාර්මික සහනාධාර නැවත සලකා බලා නැවත ලබාදීමයි. වත්මන් සහනාධාර යෝජනා ක්‍රම බොහෝ විට අනුග්‍රහය දක්වන්නේ පස හායනය කරන සහ ගොවීන් අධික වියදම් පද්ධතියකට කොටු කරන රසායනික පොහොර සහ සාම්ප්‍රදායික ඒක වගා පිළිවෙත්වලටය. ඒ වෙනුවට, රජය පුනර්ජනනීය යෙදවුම් සඳහා ඉලක්කගත, කාර්ය සාධනය මත පදනම් වූ සහාය ක්‍රියාත්මක කළ යුතුය. මෙයින් අදහස් කරන්නේ මෙම නව ක්‍රම අනුගමනය කිරීමට කැපවී සිටින වතු සහ කුඩා වතු හිමියන් සඳහා කාලානුරූපී, ප්‍රතිඵල-සම්බන්ධිත සහනාධාර වැඩසටහන් නිර්මාණය කිරීමයි. මෙම සහනාධාර කොම්පෝස්ට් නිෂ්පාදනය, කෘෂි වන වගා බීජ පැළ සහ සෙවණ සහිත ගස් වගා කිරීම සහ ආවරණ බෝග සහ ආවරණ ද්‍රව්‍ය භාවිතය සඳහා සහාය විය යුතුය. තීරණාත්මක ලෙස, ඒවා විවෘත අත් පත්‍රිකා නොවිය යුතු අතර, පසෙහි කාබනික ප්‍රමාණය ඉහළ යාම මැණීම හෝ රසායනික යෙදවුම්වල සත්‍යාපනය කළ හැකි අඩුවීමක් වැනි සැබෑ පාරිසරික ප්‍රතිඵල සමඟ බැඳිය යුතුය.
දෙවනුව, සැලකිය යුතු තාක්ෂණික දැනුම පරතරය පියවා ගැනීම සඳහා රජය ශක්තිමත් ව්‍යාප්ති සේවා සහ ගොවීන් පුහුණු කිරීම සඳහා ආයෝජනය කළ යුතුය. බොහෝ තේ ගොවීන්, විශේෂයෙන් කුඩා තේ වතු හිමියන්, දශක ගණනාවක් තිස්සේ ඔවුන්ට උගන්වා ඇති ඉහළ යෙදවුම් රසායනික ආකෘතිය සඳහා ශක්‍ය විකල්ප පිළිබඳව නොදැන සිටිති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තේ පර්යේෂණ ආයතනය වැනි ප්‍රධාන ආයතන තීරණාත්මකව පියවර ගත යුත්තේ මෙහිදීය. සෑම තේ නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයකම කැපවූ පුනර්ජනනීය කෘෂිකර්ම නිලධාරීන් ස්ථානගත කිරීම, ආදර්ශ පිළිවෙත් ප්‍රදර්ශනය කිරීම සඳහා නිරූපණ බිම් ස්ථාපිත කිරීම සහ ගොවි ක්ෂේත්‍ර පාසල් සහ තේ කර්මාන්තශාලා ජාලවලට පුනර්ජනනීය විෂයමාලා ඒකාබද්ධ කිරීම උපාය මාර්ගයට ඇතුළත් විය යුතුය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ Regenagri ක්‍රියාත්මක කිරීමට දැනටමත් සහාය දී ඇති Solidaridad වැනි විශේෂඥ සංවිධාන සමඟ හවුල් වීමෙන් ගෝලීය හොඳම පිළිවෙත් දේශීය යථාර්ථයන්ට අනුවර්තනය වන බව සහතික කෙරෙනු ඇත.
තෙවනුව, මෙම පරිවර්තනය මහජන අරමුදල් මත පමණක් රඳා පැවතිය නොහැක; අවදානම් ආයෝජන සහ පරිමාණ සම්මත කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPPs) අවශ්‍ය වේ. සමහරවිට වැවිලි අමාත්‍යාංශය හෝ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ විධිමත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව රාමුවක් මඟින් කොටස්කරුවන් කැඳවා උත්සාහය සම්බන්ධීකරණය කළ හැකිය. මෙය පුනර්ජනනීය වතු සඳහා වරණීය හරිත ණය ලබා දීමට බැංකු දිරිමත් කරනු ඇති අතර, තේ අපනයනකරුවන් තමන්ගේම සහතික කළ සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීම සඳහා නියමු වැඩසටහන් සඳහා සම-ආයෝජනය කිරීමට පෙළඹෙනු ඇත. එමෙන්ම සහ පාංශු සෞඛ්‍යය සහ ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඩිජිටල් මෙවලම් සැපයිය හැකි කෘෂි තාක්ෂණික ආරම්භක සමාගම් සමඟ සහයෝගීතාව වර්ධනය කරනු ඇත.
සිව්වැනුව, ශ්‍රී ලංකාව බලවත් අපනයන දිරිගැන්වීම් සහ වෙළෙඳ නාමකරණ සහාය සමගින් තම නායකත්වය බලගැන්විය යුතුය. ජාතිය පුනර්ජනනීය තේවල ගෝලීය ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට අවශ්‍ය නම්, එය එහි අපනයනකරුවන්ට එම අද්විතීය වෙනස අලෙවි කිරීමට උපකාර කළ යුතුය. අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඍැටැබ්ටරස සහතික කළ තේ සඳහා අපනයන බදු දිරිගැන්වීම් ලබා දිය යුතු අතර, වෙළෙඳ නියෝජිත කණ්ඩායම් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනවල එය කැපී පෙනෙන ලෙස දැක්විය යුතුය. එසේම ප්‍රසිද්ධ “පිරිසිදු ලංකා තේ” සලකුණට බලවත් සහෝදරයකු ලෙස “ලංකා පුනර්ජනනීය” සන්නාම මුද්‍රාවක් සංවර්ධනය කළ යුතුය. මෙම සන්නාමකරණය තොග ගැනුම්කරුවන් පමණක් නොව, සදාචාරාත්මක මූලාශ්‍ර සහ දේශගුණික හිමිකම් සැලකිය යුතු අධි මිල සහ දිගු කාලීන කොන්ත්‍රාත්තු සමග ප්‍රතිලාභ ලබන යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ජපානයේ ඉහළ මට්ටමේ විශේෂිත තේ වෙළෙඳපොළවල් ඉලක්ක කළ යුතුය.
පස්වනුව, රජය ගෝලීය කාබන් වෙළෙඳපොළට සහභාගී වීමට ක්‍රියාකාරීව සහාය දිය යුතුය. මෙය මෙම සංක්‍රාන්තියේ අවම වශයෙන් තේරුම් ගත් නමුත් විභවයෙන් වඩාත්ම ලාබදායී ප්‍රතිලාභවලින් එකක් ලෙස පවතී. Regenagri සහතික කළ වතුවලට ඔවුන්ගේ පසෙහි සහ වෘක්ෂලතාදියෙහි ගබඩා කර ඇති කාබන් ඉතා සූක්ෂම ලෙස මැනීමට සහ සත්‍යාපනය කිරීමට හැකි වන අතර, එමගින් ජාත්‍යන්තර වෙළෙඳපොළවල වටිනා කාබන් බැර විකිණීමට ඔවුන්ට ඉඩ සලසයි. ඕනෑම අනාගත ජාතික කාබන් ලේඛනයක් යටතේ Regenagri විධිමත් ලෙස හඳුනා ගැනීමෙන්, Verra හෝ Gold Standard වැනි සංකීර්ණ ගෝලීය ප්‍රමිතීන් සැරිසැරීමට වතුවලට උපකාර කිරීමෙන් සහ කුඩා වතු හිමියන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා සංචිත කාබන් වෙළෙඳ වේදිකා නිර්මාණය කිරීමෙන් රජයට මෙය පහසු කළ හැකිය. මෙය වගාකරුවන්ට වෙන් කරන ලද කාබන් ඩයොක්සයිඩ් ටොන් එකකට ඩොලර් 15 සිට ඩොලර් 30 දක්වා ඇස්තමේන්තුගත මුදලක් ලබා දිය හැකි අතර, එය අත්‍යවශ්‍ය නව ආදායම් ප්‍රවාහයක් නිර්මාණය කරයි.
අවසාන වශයෙන්, මේ කිසිවක් පරිමාණය කිරීමට නම්, ගැඹුරු නෛතික හා ආයතනික පෙළගැස්මක් තිබිය යුතුය. මේ සඳහා ජාතික අපනයන උපාය මාර්ගයේ මූලික කුලුණක් ලෙස පුනර්ජනනීය කෘෂිකර්මාන්තය ඇතුළත් කිරීම සහ තිරසාර නිෂ්පාදනය සඳහා විධිවිධාන ඇතුළත් කිරීම සඳහා තේ පාලන පනත සංශෝධනය කිරීම අවශ්‍ය වේ. පාරිසරික භාරකාරත්වයට ප්‍රතිලාභ ලබා දෙන සහ නවෝත්පාදනයට සහාය වන සැහැල්ලු ස්පර්ශයක්, සක්‍රීය නියාමන පරිසරයක් අවශ්‍ය වේ. තවද, සහනදායී මූල්‍යකරණය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා රජය මෙම වැඩසටහන් වෙත ජාත්‍යන්තර සංවර්ධන ආධාර, විශේෂයෙන් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයත් රටවලින් ක්‍රියාකාරීව යොමු කළ යුතුය.
ශ්‍රී ලංකාවට වටිනා ආරම්භයක් ඇත. එහෙත් අවස්ථාවල කවුළුව වේගයෙන් වැසෙමින් තිබේ. ශ්‍රී ලංකාව සැලසුම් කරන අතරතුර, එහි තරගකරුවෝ ක්‍රියා කරමින් සිටිති. ඉදිරි වසර තුන තුළ සහතික කිරීම යටතේ හෙක්ටයාර 100,000 ක් ගෙන ඒමට ඉන්දියාව දැනටමත් ඉලක්ක කර ගෙන සිටී.
මෙය තිරසාරභාවය ගැන පමණක් නොවේ; එය ආර්ථික පැවැත්ම, ගෝලීය අදාළත්වය සහ අන්තර් පරම්පරා යුක්තිය ගැන ය.
මෙවලම් මේසය මත තිබේ. පුරෝගාමීන් මාර්ගය පෙන්වා දී ඇත.
දැන් අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය සහයෝගය සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග පමණි.
පුනර්ජනනීය තේ අපගේ අනාගතය පමණක් නොව අපගේ මුද්‍රාව බවට පත් කරමු.

“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය 
සිංහලට පරිවර්තනය කළේ 
අනිල් කරුණාරත්න



අදහස් (0)

තේ වගාවේ නොපෙනෙන අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site