IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ගිවිසුම් පොරොන්දු ප්‍රශ්නයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් රටින් පිටවීමත් පමා වෙලා

  • ගිවිසුම් ප්‍රකාර පොරොන්දු සම්පූර්ණ කිරීමට රජය අපොහොසත් වීම ප්‍රධාන හේතුවලු‍
  • රජය සමග අත්සන් තබා ඇති පිටවීමේ එකඟතාව අවලංගු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි
  • 2024 අගෝස්තුවේදී මෙහෙයුම් ආරම්භ කළ සමාගම 2025 ජනවාරියේදී මෙහෙයුම් අත්හිටුවීමටත් තීරණය කළා
  • ඩොලර් මිලියන 300ක සමස්ත ආයෝජනය යටතේ සිදුකළ මූලික ආයෝජනය ඩොලර් මිලියන 27.5ක්
  • මූලික පොරොන්දුව යටතේ පිරවුම්හල් 150ක් ලබාදීමට තිබුණත් ලබා දී තිබුණේ 64ක් පමණයි
  • විදෙස් ආයෝජන ආකර්ෂණයට නම් රජයේ ප්‍රතිපත්ති ස්ථාවර බව, විවෘත බව සහ ගිවිසුම් ප්‍රකාර එකඟතා වෙත බැඳීමෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පෙන්වා දෙයි

භානුක අමරසිංහ

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවිය සහ බෙදාහැරීමේ මෙහෙයුම් සඳහා තෙවැනි ඉන්ධන සමාගම ලෙස පැමිණි ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම එම මෙහෙයුම් අතහැර රටින් පිටවීමට තීරණය කර තිබුණද, රජය සමගින් ඇති කරගත් එකඟතාවට අදාළ පොරොන්දු ඉටු කිරීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් සිය පිටවීමද පමා වී තිබෙන බව එම සමාගම චෝදනා කරයි.

ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මේ බව සඳහන් කර සිටියි. “අප ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් සිදුකළ කාලයේදී මුහුණ දුන් අභියෝග හා සමාන ආකාරයෙන්ම රටින් පිටවීමේ අවස්ථාවේදීත් අපිට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.” එම සමාගම එහි සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ ගැටලු‍ව නිරාකරණය කරගැනීම සඳහා වන කටයුතු මෙම මාසයේ සිට ආරම්භ කරන බවත් සමාගම එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

අදාළ නිවේදනයේ සඳහන් ආකාරයට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ගෘප් සමූහය මගින් මෙරට තුළ සිදුකළ විදේශ ආයෝජනයක් ලෙස 2023 වසරේදී එම යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම ස්ථාපිත කෙරිණි. එසේම 2024 වසරේ අගෝස්තු මාසයේදී ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සහ බැඳීමෙන් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කළ බව පවසයි. 

“ඔස්ට්‍රේලියාවේ අතිශය තරගකාරී ඉන්ධන සිල්ලර අලෙවි කර්මාන්තයේ හොඳම ක්‍රමවේද සහ තාක්ෂණික විශේෂඥතාව සමගින් ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ සේවා මට්ටම් සහ තරගකාරීත්වය තවදුරටත් දියුණු කිරීම අපගේ අරමුණ විය.” 

මෙම ව්‍යාපෘතිය සඳහා යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සිදුකළ මූලික ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 27.5 ක් බව ද වාර්තා සඳහන් කෙරිණි.

මෙහිදී විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අපේක්ෂාවෙන්, පැවැති පසුගිය රජය මගින් ඉදිරිපත් කළ අභිලාශය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙත ඉදිරිපත් වූ සිය සමාගමට මෙලෙස ශ්‍රී ලංකාව වෙත පිවිසීමට අවස්ථාව හිමිවූ බව එම සමාගම පවසයි. ඒ අනුව රට වෙත ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සමගින් ගිවිසුමකට පිවිසීමටද කටයුතු කළ බව සඳහන් කර සිටියි.

“මෙම එකඟතාව සමාගම ශ්‍රී ලංකාව වෙත පැමිණීම සහ ශ්‍රී ලංකාව තුළ වඩාත් නිදහස් ඉන්ධන වෙළෙඳපොළක් ඇති කරන බවට වූ ආයෝජක විශ්වාසය ඇති කිරීමේ ප්‍රධානතම අවස්ථාවක් වුණා. එහිදී යහපත් පරමාර්ථයෙන් යුක්තව යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම සිය ගිවිසුම් ප්‍රකාර පොරොන්දු වෙත අනුකූල වෙමින් මෙහෙයුම් පවත්වාගෙන යාමට කටයුතු කළා.”

කෙසේ වෙතත් රජය විසින් එම එකඟතාවට අදාළ වඩාත් වැදගත් කරුණු කිහිපයක් ඉටු කිරීම සම්බන්ධයෙන් අපොහොසත් වීමත් සමගින්ම අභියෝග රැසකටම මුහුණ දෙන්නට සිදු වූ බව එම සමාගම පවසයි. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස අවිනිශ්චිතතාවක් සහ ආර්ථිකමය වශයෙන් අස්ථාවර පරිසරයක් නිර්මාණය වූ බවත්, ශ්‍රී ලංකාව තුළ සිදුකළ ආයෝජනයේ දිගුකාලීන පැවැත්ම සම්බන්ධයෙන් අර්බුදයක් හටගත් බවත් පවසයි.

වාර්තා සඳහන් කරන ආකාරයට එම සමාගම වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් ලබාදීමට එකඟ වී තිබුණද, ලබා දී තිබුණේ පිරවුම්හල් 64ක් පමණකි.

“මෙලෙස ශ්‍රී ලංකා රජය ප්‍රධානතම ගිවිසුම් ප්‍රකාර කරුණුවලින් ඉවත් වීමට පියවර ගැනීමත් සමගින්ම, යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගමත් 2024 දෙසැම්බර් මාසයේදී සිය ඉන්ධන සැපයුම් මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කළා. ඒ වගේම ශ්‍රී ලංකා වෙළෙඳපොළෙන් ඉවත් වීමටත් තීරණය කළා.”

ඒ අනුව මෙම පිටවීම තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර 2025 අප්‍රේල් මාසයේදී ‍පිටවීමේ එකඟතාවක් අත්සන් තැබුණු බවත් සමාගම පවසයි. කැබිනට් මණ්ඩලය විසින් ද එය අනුමත කළ බවත්, 2025 මැයි මාසය මුලදී එම කටයුතු සම්පූර්ණ වීමට නියමිතව තිබූ බවත් සඳහන් වෙයි.

මෙම පියවර අතරතුරදීම යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම වෙත ලබා දී තිබූ ඉන්ධන පිරවුම්හල් 64ත් යළිත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතම පවරා ගැනීමක් සිදුවිය. 

“යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම එම එකඟතාව යටතේ පවතින සියලු‍ම පොරොන්දු ඉෂ්ට කර තිබෙනවා. එහෙත් රජයේ පාර්ශ්වයෙන් ඉටුවිය යුතු සම්පූර්ණ කිරීම් සඳහා අවස්ථා ගණනාවකදීම විමසීම් සිදුකළත්, කාලය ලබා දුන්නත් තවමත් ඒවා සම්පූර්ණ වී නැහැ. බලශක්ති අමාත්‍යාංශය මගින් ගත යුතු ප්‍රධානතම පියවර කිහිපයක් තවමත් සම්පූර්ණ කෙරී නැහැ.” සමාගම චෝදනා කරයි.

මේ තත්වයත් සමගින්ම යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම වෙත වෙනත් විකල්පයක් නොමැති බවත්, මේ මොහොතේදී සිය පිටවීමේ එකඟතාව අවලංගු කර දැමීමට සිදුව තිබෙන බවත් සමාගම පවසයි. එසේම මෙම ගැටලු‍ව විසඳීම සඳහා ගත යුතු මූලික පියවර ඔක්තෝබර් මාසයේ සිට ගැනීමට කටයුතු කරන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“අප ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් සිදුකළ කාලයේදී මුහුණ දුන් අභියෝග හා සමාන ආකාරයෙන්ම රටින් පිටවීමේ අවස්ථාවේදීත් අපිට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.” එම සමාගම පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට සහ ලැබී ඇති ආයෝජන රඳවා තබා ගැනීමට අවශ්‍ය නම් ප්‍රතිපත්ති ස්ථාවර බව, විවෘත බව සහ ගිවිසුම්ප්‍රකාර එකඟතා වෙත බැඳීමෙන් කටයුතු කිරීම අතිශය වැදගත් බව ද එම සමාගම මෙහිදී අවධාරණය කරයි. 

විශේෂයෙන්ම සිය සමාගම ශ්‍රී ලංකාව වෙත පිවිසීමේදී වඩාත් පොරොන්දු සහගතව සහ සහයෝගිතාවෙන් කටයුතු කළ නමුත්, ඉන්පසුව තමන් මුහුණ දුන් මෙම අසීරුතා සමගින් තමන් මෙම අදහස මතු කරන බවත් ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ලංකාදීප FT කළ විමසීමකදී කරුණු දැක්වූ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම හා සම්බන්ධව කටයුතු කළ ඉහළ මට්ටමේ හිටපු නිලධාරියකු, අදාළ ආයෝජන එකඟතාව යටතේ ශ්‍රී ලංකා රජය එම සමාගම වෙත ගෙවිය යුතුව ඇති මුදල් ප්‍රමාණයක් මෙතෙක් නොගෙවා සිටීම ගැටලු‍වට හේතුව බව පවසා සිටියේය.

“ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමූහය ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට සැලසුම් කළ ආයෝජනය ඩොලර් මිලියන 300කට ආසන්නයි. මෙම ඉන්ධන අලෙවියට අමතරව එම සමාගම මෙරට තුළ Pie-Faces නමින් ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවකුත් ආරම්භ කරන්න සූදානමින් සිටියා. එය මෙරට වෙළෙඳපොළ සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත්ත ආයෝජනයක්. එහෙත් මේ සියල්ල ශ්‍රී ලංකාවට අහිමි වුණා.” යනුවෙන්ද එම හිටපු නිලධාරියා පවසා සිටියේය. 

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මගින් එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සම්බන්ධ කරගැනීමට ලංකාදීප FT උත්සාහ ගත්තද, එය අසාර්ථක විය.

අද වනවිට මෙරට තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඉන්දියාවේ ලංකා අයිඕසී සමාගම සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ RM Parks (ෂෙල්) යන සමාගම් ඉන්ධන අලෙවිය සහ බෙදාහැරීම සිදු කරයි. 

 

 



අදහස් (0)

ගිවිසුම් පොරොන්දු ප්‍රශ්නයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් රටින් පිටවීමත් පමා වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site