(මනෝජ් හර්ෂික)
දකුණු කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම කොළඹ දී අද (28) අත්සන් කරනු ලැබීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා ජපාන තානාපතිවරයා මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීය.
ව්‍යාපෘතිය මඟින් මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ සහයෝගීත්වය වර්ධනය කර ගැනීම ප්‍රධානතම අරමුණක් වේ.
ජපානය 1980 දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දුන් අතර කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් වලින් 70%ක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදුවේ.
ඒ අනුව, කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දියාව සහ ජපානය එක්වී කටයුතු කරයි.
නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන අතර යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම්වලින් 51%ක කොටස් ශ්‍රී ලංකාව සතුවේ.එසේම හවුල් පාර්ශ්වයන්ට මිලදී ගතහැකි කොටස් ප්‍රමාණය 49%කි.
එසේම මෙම ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීමට අදහස් කරන ජපාන ණය, ශ‍්‍ර‍්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබෙන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
අනේ මේ විදෙස් රටවල් අපිට මොනතරම් හිතවත්ද? මොන තරම් උදව්පදව් කරනවද? සාදු සාදු අපේ මව්බිමට ඔබ සැමගේ පිහිටයි.
එක වතාවක් ගිවිසුමක් ගහලා ලංකාව වටේ මුහුදේ ආරක්ෂාවට යුද්ධ නැව කරකවන්න අවසර ගත්තා. දාහක් දේවල් කරන්න පොරොන්දු වෙලා. නමුත් එකක්වත් කලේ නැහැ මේ වෙනකල්. මේ වතාවේ කාගේ හරි නැට්ටේ එල්ලිලා කොළඹ වාරයේ කොටසකුත් බුදල් කරගන්න යන්නේ? අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අපට කවදාවත් හොඳක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපේ මෝඩ පාලකයෝ වලිගෙ පාගාගෙන ඔවුන්ට රැවටිලා තියෙන ඔක්කොම පූජා කරනවා.
ලෝකේ අනික් රටවල්වලත් වරායවල් තියෙනවා සියයට 70ක් නෙවෙයි එයිටත් වඩා විදේශ රටවල බදු එහා මෙහා කරන... එහෙමයි කියලා ඒ රටවල් ඒ බඩු භාණ්ඩ අයිති රටවල් වලට තමන්ගේ වරායවල් පවරලා දෙන්නේ නැහැ. ඒ බඩු භාණ්ඩ එහා මෙහා කිරිල්ලෙන් තමයි ඒ වරාය අයිති රට ලාභ උපයන්නේ. මෙතන වෙලා තියෙන්නේ එදාවේල පිරිමහගන්න ණයක් ගන්න අපට දිගටම එන ලාභය නැතිකරගෙන වරාය විදේශ රටකට විකිණීමක් නැතිනම් පවරා දීමක්. හෙණ ගැහැව්වත් මදි.