IMG-LOGO

එතරම් මිහිරි නැති වැව්බැදී රට කොමඩු වෙළඳාම

 දිව පිනවන හොදින් මේරු පැණි කොමඩු


  • හොඳින් නඩත්තු කළ අක්කරයක කොමඩු වගාවකින් මෙට්‍රික් ටොන් 15 කට වැඩි අස්වැන්නක්
  • ඉරිදා, සෙනසුරාදා, පෝය දවස්වලට හොඳ ආදායමක් 
  • දැන් කොමඩු මිල කිලෝව රුපියල් සියයකි. නැතිනම් අසුවකි. සමහර තැනෙක එකසිය විස්සකි.
  • පාරේ තියාගෙන විකුණන එකෙන් තඹුත්තේගම මාකට් එකට ගෙනියනවට වැඩිය හොඳ ආදායමක් ගන්න පුළුවන් 
  • පාරේ කොමඩු විකුණන කට්ටිය වැඩි හින්දා පොඩි තරගයක්
  • මෙරට වාර්ෂික පැණි කොමඩු වගා වපසරිය හෙක්ටයාර් පන්සියයකටත් අඩුයි

බුල්නෑව ප්‍රදීප් රණතුංග 


වෙසක් සුළගත් සමග විටෙක ගිනි ගහන අව්වත්, තවත් විටෙක හිටිහැටියේ ඇදහැළෙන වැස්සත් මෙකලෙහි වැව්බැඳි රටට සුපුරුදු දසුනක් වී තිබේ. මොහොතකදී පිපාසයෙන් දිව කට වියළී යයි. වතුරෙන් නොසෑහි තිබහ නිවන වෙනත් විකල්ප සඳහා ද මේ කාලයේ හොඳ ඉල්ලු‍මක් නිර්මාණය වෙයි. එහෙයින් රජරට වෙල් ළියැදිවලත්, හේන් බිම්වලත් මනාව වැවෙන පැණි කොමඩු නැතිනම් පැණි පුහුල් වෙළෙදාමට සරු කාලයක් උදාවෙයි. කොමඩු තද පිපාසයට දිව ඔසුවක් බදුය. කාෂ්ඨක අව්ව කොමඩු වෙළෙදාමට ගජවාසියකි. එහෙයින්ම අතරමැදි වෙළෙඳුන් මගහැර සිය ගොවි බිමෙන් නෙළාගත් කොමඩු අස්වැන්න සමග ගොවීහු මහ මගට එති. 

චන්දන ජයවර්ධන

 

ඉන්ද්‍රාණි දිසානායක

 

දයානි කුසුමලතා

 

රුවන්තිකා පද්මලතා

එමගින් ඔවුනට වැඩි ලාබයක් ගෙනදෙයි. කීයක් හෝ අඩුවෙන් නැවුම් කොමඩු කත හැකි බැවින් එය පාරිභෝගිකයනටද වාසියකි. අතිරේක බෝගයක් ලෙස “පැණි කොමඩු” වගාවේ නියැලි ඇති සමහර ගොවීන් සිය අස්වැන්න විකුණා ගැනීමේ අටියෙන් මේ අන්දමින් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තැන තැන දැකගත හැකිය. 

තලාව, තඹුත්තේගම, ශ්‍රාවස්තිපුර, මොරගොඩ, අනුරාධපුර පූජා නගරය ආදි ප්‍රදේශවල ඔවුහු වෙළෙදාමේ යෙදෙති. මෙපරිද්දෙන් තලාව ප්‍රදේශයේ පැණි කොමඩු වෙළෙදාමේ යෙදෙන ගොවියකු වන චන්දන ජයවර්ධන මහතා සිය අත්දැකීම් අප හා පැවසුවේය. 

“මේ කන්නේ පැණි කොමඩු ටිකක් අඩුවෙන් තමයි වගා කරලා තියෙන්නේ. පැණි කොමඩු ටිකක් හරි හදාගත්ත මිනිස්සු මේ විදිහට පාරට ඇවිල්ලා කීයක් හරි හොයාගන්නවා. ඔය දුරබැහැර ඉදලා ශ්‍රීමහා බෝධිය එහෙම වදින්න එන මිනිස්සු අපි ළඟත් නවත්තනවා. අහල පහළ ගම්වල ඉන්න රස්සා කරන කට්ටිය එහෙම සමහර වෙලාවට සවසට ගෙදර යන ගමන් කොමඩු ගෙඩියක් ගන්න නවතින වෙලාවල් තියෙනවා. කොහොමත් ඉරිදා, සෙනසුරාදා, පෝය දවස්වලට එහෙම ආදායමක් තියෙනවා. මේ පෑවිල්ලත් එක්ක වෙළෙඳාම හොඳයි. මං වගා කරපුවා තමයි කඩන් ඇවිල්ලා මේ විකුණන්නේ.” 

පැණි කොමඩු කිලෝවක් රුපියල් පනහෙන් පහළට වැටුණු කාලයක් ද තිබිණි. එහෙත් දැන් කොමඩු මිල කිලෝව රුපියල් සියයකි. නැතිනම් අසුවකි. සමහර තැනෙක එකසිය විස්සකි. 

තලාව, පයිණ්ඩිකුලම ප්‍රදේශයේ පැණි කොමඩු වගාකොට එම අස්වැන්න මහ මගට ගෙනවිත් විකුණන ඉන්ද්‍රාණි දිසානායක මහත්මිය කුඹුරෙන් මහ පාරේ වෙළෙදාමට පැමිණි වග පැහැදිලි කළාය. 

හේනක කොමඩු වගාවක්


 “තඹුත්තේගම මාකට් එකට ගෙනියනවට වැඩිය පැණි කොමඩු වලට හොද ආදායමක් ගන්ඩ පුළුවන් අපිම පාරේ තියාගෙන විකුණන එකෙන්. අපි කිලෝ එකක් විකුණන්නේ රුපියල් සීය ගානේ. මේ දවස්වල තියෙන වියදම එක්ක බලන කොට ඒකෙන් ලොකු දෙයක් නැතිවුණත් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්ඩ පුළුවන්. සමහරු වගා ළිංවල වතුර ගහලා තමයි මේ ගොවිතැන කරන්නේ. ඉතිං අමතර වියදමක්, මහන්සියක් දරන්ඩ ඕන. එහෙම කරලත් පාඩුවට විකුණනවට වැඩිය අපිම මේ විදිහට වෙළෙඳාමක් කරගන්න එකෙන් ලාබයක් තියෙනවා. අව්ව දවස්වලට වෙළෙඳාම ටිකක් වැඩියි. ඒත් අපි වගේ පාරේ කොමඩු විකුණන කට්ටිය වැඩි හින්දා පොඩි තරගයක් තියෙනවා.” 

පැණි කොමඩු අප්‍රිකාණු මහාද්විපික කලාපයේ සම්භවය වු භෝගයක් ලෙස සැලකේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනවලට අනුව මෙරට වියළි සහ අතරමැදි කලාපවල පහසුවෙන් වගාකළ හැකිවේ. දිවයිනේ පුත්තලම, මොණරාගල, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවල ගොවීන් වැඩිමනක් වශයෙන් කොමඩු වගාව සඳහා යොමුව සිටී. මෙරට වාර්ෂික පැණි කොමඩු වගා වපසරිය හෙක්ටයාර් පන්සියයකටත් අඩු ඉතා සුළු බිම් වපසරියකට සීමාවී ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඉනුත් වැඩි බිම් ප්‍රමාණයක වගාව අනුරාධපුරයේ මහවැලි කලාපයේ සිදුවේ. මෙරට තුළ පැණි කොමඩු නැවුම් පලතුරක් ලෙස ජනප්‍රියව පවතී. විශේෂයෙන් පිපාසයට ආහාරයට ගැනීමට මෙන්ම පලතුරු සලාදයක් ලෙසද කොමඩු ජනී ජනයා අතර ප්‍රකටව පවතී. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පැණි කොමඩු කායික හා මානසික ගුණ සමුදායකින් යුක්ත වේ. එනම් ශරීරය සිසිල් කරයි. දාහය දුරලයි. පිපාසය සන්සිඳුවයි. කෙස් වඩවයි. ඇස් පෙනීම ඇති කරයි. සිරුරේ දැවිල්ල ගතිය දුරු කරයි. කැසීම නැති කරයි. සමේ පැහැය වඩවයි. සම ප්‍රාණවත් බව ඇති වෙයි. සිරුරේ විස නැති කරයි. මල බද්ධයට ගුණ දේ. අනවශ්‍ය ලෙස ශරීරයේ ද්‍රව රැස්වීම වළක්වයි. හෘද රෝගවලට ගුණ දේ. බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීමේ හැකියාව ඇත.

කොමඩු අස්වැන්න සමග මහමග වෙළෙදාමට එක්ව ඇති තලාවේ දයානි කුසුමලතා මහත්මිය පැණි කොමඩු වෙළෙදාම ගැන තවත් කරුණු කීවාය. 

“පැණි කොමඩු ටිකක් උදේට අත් ටැක්ටරේ දාගෙන ආවහම හවස් වෙනකොට දෙයියනේ කියලා ආදායමක් හොයාගන්ඩ පුළුවන්. අපිම ගොවිතැන් කරලා අපිම විකුණගන්න එක හැම අතින්ම ලාබයි. ඔය අටමස්ථානේට එහෙම යන කට්ටිය වාහන නවත්තලා අපෙන් කොමඩු අරන් යනවා. අපිම වවලා අපිම විකුණන හින්දා අපි ළඟ මිල අඩුයි. ඔය පූජා නගරේ පැත්තේ එහෙම සමහර තැන්වල කොමඩු කිලෝ එකක් රුපියල් 120 කට වැඩියි මේ දවස්වල.”

සෙන්ටිග්‍රේඩ් අංශක 20 ට අඩු පාරිසරික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල කොමඩු වගාව සඳහා නොසුදුසු වන හෙයින් වියළි කලාපයට සහ අතරමැදි කලාපයට ආවේනික වගාවක් ලෙස කොමඩු සැලකේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තු මගින් නිර්දේශිත වඩාත් මිහිරි රසයකින් යුක්ත “තිළිණි” නම් කොමඩු විශේෂය මේ මහ මග වඩාත් ජනප්‍රියව පවතී. හොදින් නඩත්තු කළ අක්කරයක කොමඩු වගාවකින් මෙට්‍රික් ටොන් 15 කට වැඩි අස්වැන්නක් නෙළාගත හැකිය. 

මහ මග කොමඩු වෙළෙදාමේ යෙදෙන රුවන්තිකා පද්මලතා මහත්මිය පැවසුයේ මෙවන් අදහසකි.

“කොමඩු වර්ග දෙකක් තමයි මේ පැත්තේ හැදෙන්නේ. එකක් ඔය තද කොළ පාට වර්ගය. අනිත් වර්ගය ගෙඩිය මැද පුල්ලි පුල්ලි තියෙන ලා කොළ පාට එක. ඔය දෙවර්ගයම විකිණෙනවා. දෙවර්ගයම රසයි. ලොකු වෙනසක් නෑ. තද කොළ පාට වර්ගය ටිකක් මිලෙන් වැඩියි. අපි උදේ නවය විතර වෙනකොට එනවා. හවස හතර විතර වෙකොට ගෙවල් වලට යනවා. ඒ අතරේ හොයාගන්න ආදායමක් තමයි.” 

මෙම ගොවීන් අව්වේ දුවිලි කමින් මහ මගට වී අඩු ගාණට විකුණනුයේ දිව්‍ය ඖෂධ බව නොකියමනාය. 

මහ මග ගොඩ ගසා ඇති පැණි කොමඩු අස්වැන්න


 



අදහස් (0)

එතරම් මිහිරි නැති වැව්බැදී රට කොමඩු වෙළඳාම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site