මේ දිනවල නගරයෙහි පමණක් නොව ඈත ගම්මානවල පවා මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් සෑම අප්පුහාමි, කන්දසාමි සහ අබුසාලි යන අයටම තැපැල් කරන ලද ගෙවීම් පත්‍රිකාව පිළිබඳව කතාබහට ලක් වේ. දැනට මාස හයකට පෙර බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) සඳහා පුද්ගලයන් මිලියන දහයකට (10) ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව IRD සාඩම්බරයෙන් නිවේදනය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කරන ලද 2023.05.31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ මෙම සාඩම්බර යැයි කියනු ලබන ජයග්‍රහණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අත්කරගනු ලැබිණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ස්වරූපය පිළිබඳව දන්නා ඕනෑම පුද්ගලයකු ඔහුගේ මෙම කටයුතු පිළිබඳව පුදුමයට පත්නොවීය. ඔහු අත්තනෝමතික සහ අතිශයින් ජනප්‍රිය නොවන තීරණ ගැනීම පිළිබඳව ප්‍රසිද්ධ වන අතර, වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයකුම 2024 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි IRD හි ලියාපදිංචි වී TIN අංකයක් ලබා ගත යුතු බවට ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි. මෙහිදී වයස පමණක් පදනම් කරගත් අතර, ආදායම් මට්ටම හෝ බදු වගකීම නොසලකා හරිනු ලැබිණි.
සැබවින්ම කණගාටුදායක මෙන්ම ඛේදජනක කාරණය වන්නේ, අයුක්තිය මුලිනුපුටා දමා සාධාරණත්වය යථා තත්වයට පත් කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජයද රනිල් වික්‍රමසිංහ පරිපාලනයේ එම අඥාන ප්‍රතිපත්තිවලටම අන්ධ ලෙස ඇලී සිටීමට තෝරාගෙන තිබීමයි.
අලුත් මාවතක් සකස් කරනවා වෙනුවට, විශේෂයෙන් විදේශ හා මූල්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල ලබාගත් එතරම් ජනප්‍රිය නොවන සහ නින්දාසහගත අදහස් නැවත ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් සතුටු වන බව පෙනේ. එසේ කිරීමෙන් ඉතිහාසයේ කළ වැරදි නැවත නැවතත් කිරීමේ අවදානමක් ඇති අතර “ඔක්කොම යාළුවෝ මල්ලි” යන ප්‍රසිද්ධ කියමන තවදුරටත් තහවුරු කරයි.
නිෂ්ඵල උත්සාහයක්
කළමනාකරණය පිළිබඳ තරමක් අවබෝධයක් ඇති ප්‍රතිපත්ති සම්පාදකයන් පවා පෙරෙටෝ මූලධර්මය (Pareto Principle) - නැතහොත් 80/20 රීතිය - ගැන දැන සිටිය යුතුය.එයින් ඇඟවෙන්නේ ප්‍රතිඵලවලින් සියයට 80 ක් හේතු සියයට 20 කින් පැන නගින බවයි. මෙම මූලධර්මය සෑම ක්ෂේත්‍රයකටම පොදු මෙන්ම සත්‍ය වේ. සංවිධානයක් තුළ, සේවකයන්ගෙන් සියයට 20 ක් සාමාන්‍යයෙන් ප්‍රතිඵලවලින් සියයට 80 ක් උත්පාදනය කරයි. කැබිනට්, දේශපාලන පක්ෂ, දෙපාර්තමේන්තු, ආයතන සහ පවුල්වල එකම තත්වය ඒහා සමානව දක්නට ලැබේ.
බදුකරණය සඳහා ද එම තර්කයම අදාළ වේ. බදු ආදායමෙන් සියයට 80 ක් පමණ ලැබෙන්නේ දළ වශයෙන් සියයට 20 ක් පමණ වන බදු ගෙවන්නන්ගෙනි. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් (CGIR) විසින් නිකුත් කරන ලද 2024 වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් මෙම තත්වය තවදුරටත් පැහැදිලි කරනු ලබයි. තවදුරටත් මේ සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කළවිට 976,496 ක් පමණ වන තනි පුද්ගල බදු ගෙවන්න්ගෙන් ආසන්න වශයෙන් සියයට 16 ක් පමණ වන ආදායම් බදු එකතු කරනු ලබන බව හෙළිදරව් වේ. ඉතිරි සියයට 84 ක් වන බදු මුදල් සඳහා දායක වන්නේ 100,409 ක් වන සංස්ථාපිත ආයතන විසිනි. මුළු බදු ගෙවන්නන්ගේන්, විශාලතම බදු ගෙවන සමාගම් 621 ක් සියයට 73ක් වන මුළු බදු ආදායම වන බිලියන 2,620 ක් සඳහාම දායක වනු ලබයි, ඉතිරි සමාගම් 99,788 සහ පුද්ගලයන් 976,498 ක සංඛ්‍යාවක් දායක වනු ලබන්නේ බදු ආදායමෙන් සියයට 27 ක් සඳහා පමණි.
මුළු බදු ආදායමෙන් සියයට 06 ක් පමණක් තනි බදු ගෙවන්නන්ගෙන් එකතු කරනු ලබන බව මෙම කාර්ය සාධන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් මම අවබෝධ කර ගත්තෙමි. මෙම පසුබිම තුළ, මිලියන සංඛ්‍යාත පුද්ගලයන් ලියාපදිංචි කිරීමෙන් කෙසේ හෝ බදු ආදායමේ සමානුපාතික වැඩිවීමක් සිදුවනු ඇති බව ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බදු නිලධාරීන් අවංකවම අපේක්ෂා කරන්නේද?
පුද්ගලයන් සමූහ වශයෙන් ලියාපදිංචි කිරීමේ අහිතකර ප්‍රතිවිපාක
දේශීය ආදායම් පනතේ 127(1) වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයකු ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බවට CGIR විසින් සෑහීමකට පත්වනු ලබන්නේ නම්, එවැනි පුද්ගලයකුට එරෙහිව බදු වාර්තාවක් ගොනු කරනු ලබන ලෙසට නියම කිරීමට CGIR බලය පවරනු ලැබ ඇති බව සත්‍යයකි.
“බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට බැඳී සිටින ඕනෑම පුද්ගලයකු එසේ කර නොමැති බව කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන විට, කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිතව දැනුම් දීමක් මගින් එම පුද්ගලයාට බදු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියම කරනු ලැබිය හැක......”
බහු විනිශ්ච සහ තීරණය ලද නඩුවලදී අවධාරණය කර ඇති පරිදි සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියකුට සහ විශේෂයෙන් CGIR ඇතුළු බදු නිලධාරියකුට ලබා දී ඇති අභිමතානුසාරී බලතල එම පුද්ගලයාට ලබා දී ඇති විවෘත චෙක්පතක් හෝ අසීමිත බලයක් නොවේ.
මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ විට කලින් කළාක් මෙන් සාධාරණ ඇසීමක් ලබා නොදී හෝ ඒත්තු ගැන්විය හැකි සාක්ෂි නොමැතිව, ඔවුන්ගේ බදු වගකීම තහවුරු කර නොගෙන, පුද්ගලයන්ට මෙවැනි සමූහ වශයෙන් බදු ලිපිගොනු විවෘත කිරීම පනතේ බලය ඉක්මවායන මෙන්ම අත්තනෝමතික ක්‍රියාවක්බව මාගේ මතය වේ.
පසුගිය දිනවල, මා දන්නා මෙන්ම නොදන්නා පුද්ගලයන් සිය ගණනක් ආදායම් බදු වාරිකය ගෙවන ලෙස ඉල්ලා ගෙවීම් පත්‍රිකා ලැබීමෙන් පසු මාව සම්බන්ධව කරගෙන මේ කුමක්දැයි විමසා සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වයං රැකියාලාභීන් වන අතර, බඩී ලොරි කුලියට ගැනීමෙන්, ත්‍රිරෝද රථ පැදවීමෙන් හෝ ගෙදර පිසූ ඉඳිආප්ප සහ පිට්ටු විකිණීමෙන් ස්වකීය ජීවිකාව කරගෙන යන්නෝ වෙති.
ආදායම් බදු අරමුණු සඳහා ඔවුන්ට බදුකරු හඳුනා ගැනීමේ අංකය (TIN) නිකුත් කර ඇති බව මා ඔවුන්ට පැහැදිලි කළ විට, ඔවුන්ගේ ප්‍රතිචාර එතරම් සතුටුදායක නොවීණි. කෝපයෙන් හා අවිශ්වාසයෙන් බොහෝ දෙනෙක් අපගේ වත්මන් පාලකයන්ගේ මුතුන් මිත්තන්ගේ නම් කියන්නට පටන් ගත්හ. මෙම ලිපිගොනුව විවෘත කිරීම පෙර පරිපාලනයේ ප්‍රතිපත්ති තීරණයක් මත 2023.05.31 දිනැති ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම TIN අංකය විවෘත කිරීම ආරම්භ වූ බව පවසමින්, වත්මන් රජයේ දැඩි ආධාරකරුවකු ලෙස මම රජය ආරක්ෂා කිරීමට උත්සාහ කළෙමි. ‘‘අපි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ වෙනස ගෙන ඒමට - පසුගිය අවුරුදු හැත්තෑ හයක මෝඩකම් දිගටම කරගෙන යාමට නොවේ” යනුවෙන් ඔවුහු ප්‍රතිචාර දැක්වූහ. කිසිවක් කියාගත නොහැකිව මම ගොළු වුණෙමි.
කෙටි කාලීන සහ දිගු කාලීන අහිතකර බලපෑම්
බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බදු පරිපාලකයන් ආඩම්බර විය හැකි වුවද, බදු ගෙවන්නන්ගේ පදනම සංඛ්‍යාත්මකව ප්‍රසාරණය වීම පමණක් ශක්තිමත් ආදායම් පද්ධතියක් ලෙසට සැලකිය නොහැක. මෙහිදී අමිහිරි යථාර්ථය වන්නේ, මෙම සමූහ ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් රැස් කිරීමට තරම් සැලකිය යුතු වැඩිවීමක් සිදු නොවීමයි. භාණ්ඩාගාරයට මුදල් රැස් කිරීමට වඩා මෙම අදූරදර්ශී සහ වැරදි සංකල්පිත ප්‍රතිපත්තියෙන් සමස්ත බදු ක්‍රමයේ අඛණ්ඩතාව, කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වයට දිගු කාලීනව හානියක් සිදු විය හැකි වීමයි.
(i) බදුකරණයේ මූලික මූලධර්ම උල්ලංඝනයවීම
සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව යනුවෙන් බදුකරණයේ ප්‍රධාන මූලධර්ම දෙකකි. සාධාරණත්වය බදු ගෙවන්නන්ට ස්වකීය ගෙවීමේ හැකියාව අනුව බදු සඳහා දායක වන බව සහතික වන අතර කාර්යක්ෂමතාව බදු ගෙවන්නන්ට සහ පරිපාලනයට අවම පිරිවැයකින් බදු එකතු කිරීම සහතික කරයි.
අත්තනෝමතික ලෙස මේ ආකාරයට සමූහ ලියාපදිංචි කිරීම බදුකරණ මූලධර්මවලට හානි සිදු කරයි. එය සාමාන්‍ය පුරවැසියා අනවශ්‍ය අවදානමකට නිරාවරණය කරන අතරම අන්තර්ජාලය හරහා බදු වාර්තාවක් ඉදිරිපත් කිරීම පවා බොහෝ දෙනකුට රොකට් විද්‍යාවකි. මන්ද එය ඔවුන්ට සරල හෝ දැරිය හැකි මිලකට ලබා ගත නොහැකි බැවිනි.
(ii) ව්‍යතිරේකය වෙනුවට රීතියට අනුකූල නොවීම.
මහජන අනුකූලතා මට්ටම පද්ධතියක සාර්ථකත්වයේ ප්‍රධාන දර්ශකයයි. බාධක වැළැක්වීමේ පියවර තිබියදීත් - බහුතරය යම් නීතියකට අනුකූල වීමට අපොහොසත් වූ විට - පද්ධතිය බිඳවැටීමේ අවදානමක් ඇති අතර ස්වේච්ඡාවෙන් බදු සඳහා අනුකූලවීමද අවම වේ.
2023/24 දී තනි පුද්ගල බදු වාර්තාව සඳහා අනිවාර්ය විද්‍යුත් ගොනුගතවීම කිරීම හඳුන්වා දීමෙන් අනතුරුව, තනි පුද්ගල ගොනු 776,807 න් නියමිත දිනට අනුකූල නොවීමේ අනුපාතය සියයට 86 දක්වා ළඟා විය. අනුකූල නොවීමේ අනුපාතය, තවත් මිලියන ගණනක් බදු ජාලයට ඇතුළත් කළ විට බෙහෙවින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කිරීම එතරම් දුෂ්කර නොවේ. එවැනි තත්වය තුළ අනුකූල නොවීම ව්‍යතිරේකයක් නොව රීතියක් බවට පත්වනු ඇත. එවැනි තත්වයක් තුළ අනුකූල නොවීම වැළැක්වීමට පියවර ගැනීම ඵලදායී නොවන මෙන්ම අකාර්යක්ෂමවීම බවට පත්වේ.
(iii) දේශීය ආදායම් සීමිත සම්පත් නාස්තිය
රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකම ක්‍රියාත්මක වන්නේ සීමිත මානව සම්පත් සමඟ වන අතර ඒවායේ ප්‍රශස්ත යෙදවීම මත එකී රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකෙහිම සාර්ථකත්වය රඳා පවතී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් සියයට 15 ක් පමණ මුළු බදු ආදායමෙන් සියයට 73 ක් එකතු කිරීමට දායක වන අතර, ඉතිරි ශ්‍රම බලකායෙන් සියයට 85 ක් හසුරුවන්නේ මුළු බදු ආදායමෙන් සියයට 27 ක් පමණක් බව වාර්තා වේ. මිලියන ගණනක් නව තනි ලිපිගොනු එකතු කිරීම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව දැඩි ලෙස හානි කරනු ලැබිය හැකි අතර, ඉහළ වටිනාකමක් ඇති බදු ගෙවන්නන් සහ ප්‍රධාන ආදායම් මාර්ග උත්පාදන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම දුබල වීමේන් එම වටිනා සම්පත් මඟ හැරීම සිදුවිය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යක්ෂමතාව දුර්වල වී අඩපණ වනු ඇත.
ඉදිරි ගමන්මඟ
බදු අරමුණු සඳහා මෑතකදී සිදු කරන ලද පුද්ගලයන් සමූහ වශයෙන් ලියාපදිංචි කිරීම වඩාත් සමබර හා නීත්‍යානුකූල ප්‍රවේශයක් ගත යුතුය. අව්‍යාජ සහ තිරසාර අනුකූලතාව සහතික කිරීම උදෙසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාධාරණත්වය, නිසි ක්‍රියාවලිය සහ ප්‍රායෝගිකත්වයට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය.
i. ලියාපදිංචියට පෙර සාධාරණ ලෙස ආදායම් මාර්ග විමර්ශනය සහතික කිරීම
වයස හෝ අත්තනෝමතික නිර්ණායක මත පදනම් වූ සමූහ ලියාපදිංචිය සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කරයි. සෑම පුද්ගලයකුම බදු වගකීම පළමුව දේශීය ආදායම් පනතේ 127 (1) වගන්තිය යටතේ සත්‍යාපනය කළ යුතුය. සරල ස්වයං ප්‍රකාශනයක් හෝ පිරික්සුම් ක්‍රියාවලියක් මගින් සැබෑ බදු ගෙවන්නන් හඳුනා ගැනීමට සහ අනවශ්‍යය පරිපාලන කරදර වළක්වා ගත හැකිය.
ii විද්‍යුත් ගොනු කිරීමේ අවශ්‍යතාව ලිහිල් කිරීම
සෑම නව ලියාපදිංචිකරුවකුටම විද්‍යුත් ගොනු කිරීමේ පද්ධතිය භාවිත කිරීමට අනිවාර්ය කිරීම එමෙන්ම මෙම තත්වය විශේෂයෙන් ඩිජිටල් කුසලතා හෝ සම්පත් නොමැති අයට, ප්‍රායෝගික නොවේ. පළමු වරට හෝ අඩු ආදායම්ලාභී බදු ගෙවන්නන් සඳහා අතින් ගොනු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවසර ලබාදිය යුතු අතර ඔවුන්ට සහාය වීම සඳහා සේවා මධ්‍යස්ථාන හෝ ජංගම උපකාරක ක්‍රමවේද ස්ථාපිත කළ යුතුය.
iii. අදියර සහ අවදානම් පාදක ප්‍රවේශය
සියල්ලන්ම එකවර ලියාපදිංචි කිරීම වෙනුවට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, අදියර වශයෙන් හෝ අවදානම් මත පදනම් වූ උපාය මාර්ගයක් අනුගමනය කළ යුතු අතර, පළමුව වෘත්තිකයන් සහ ව්‍යාපාර හිමිකරුවන් වැනි හඳුනාගත හැකි ආදායම් උපයන්නන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙය පරිපාලන ධාරිතාවය බලාත්මක කිරීමේ හැකියාව සමග පෙළගස්වන අතර අනුකූලතාව ද වැඩි දියුණු කරයි.
නිගමනය
සැබෑ බදු ප්‍රතිසංස්කරණය, සංඛ්‍යාලේඛනවල විශාලත්වය මත රඳා නොපවතින අතර, එය සාධාරණත්වය, සරල බව සහ විශ්වාසය මත රඳා පවතී. පුරවැසියන්ගේ හැකියාවයට ගරු කරන දත්ත මත පදනම් වූ, සාධාරණ බදු ක්‍රමයක්, මහජන විශ්වාසය සහ ආයතනික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් තිරසාර ආදායමක් අත්කර ගනු ඇත.
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2030
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආදායම් බදුවලට පුද්ගලයන් සමුහ ලියාපදිංචිය: වැරදි ප්‍රවේශයක්