IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අපරාධ :ආර්ථික සංවර්ධනයට අහිතකර බලපෑමක්


ආර්ථික සංවර්ධන ඉලක්ක සාකච්ඡා කරන අතරවාරයේ අපරාධ හිස ඔසවමින් තිබේ. දරුණු ගණයේ සිද්ධි දිනපතා වාර්තා වේ. මනුෂ්‍ය ඝාතන සිද්ධි කොතැනකින් හෝ වාර්තා නොවන දිනයක් නැත. සන්සුන්, විනයගරුක සහ අපේක්ෂා සහගත සමාජයක් වෙනුවට කලබලකාරී තැතිගත් පරිසරයකට නැඹුරුවෙමින් තිබේ. එය භයානක අන්තයකි. දහස් ගණනින් පොලිසියට බඳවා ගැණෙන බව නිවේදනය වී තිබේ. මුර සංචාර හදිසි වැටලීම් තර කරන බව ආරක්ෂක අංශ දක්වයි. සිද්ධි පාලනය පොලිසියට, ආරක්ෂක අංශවලට හෝ ආණ්ඩුවට පමණක් කළ නොහැකි බව ඔප්පුවෙමින් තිබෙන කරුණකි.

අපරාධ බහුලවීම පිටුපස ආර්ථික සිද්ධි ඇත. ධනය හා ඒවායේ හිඟයෙන් මතුවන අසමානතා ප්‍රශ්න ඇති කරයි. අපරාධ සම්බන්ධ පරීක්ෂණ අවසානයේ දී මුදල් ගනුදෙනු හෝ ව්‍යාපාරවල ප්‍රශ්න ගැටගැසී ඇති බව හඳුනාගනිමින් තිබේ. ආර්ථික වේගය අඩුවන අතර නොසන්සුන්තා ඇති විය හැකි අතර ඒවා පාලනය සඳහා ආර්ථික වර්ධනය වේගවත් කිරීම අවශ්‍යය. ප්‍රතිපත්ති සම්පාදකයන් සහ රජයේ ප්‍රධානීන් මෙම පැතිකඩ කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

චිකාගෝ අපරාධ සහ ආර්ථික ඉරණම

අපරාධ ගැන සඳහනන් වන අවස්ථාවල චිකාගෝ මතකයට නැගේ. පළමු ලෝක යුද්ධයෙන් පසු ආර්ථික ප්‍රශ්න පැනනැගිණ. එවකට කාර්මිකකරණයෙන් නැගී සිටිමින් තිබුණ චිකාගෝ නගරයට අති විශාල පිරිසක් සංක්‍රමණය වූහ. රුකියා හිඟයක් ඇති විය. ආදායම ප්‍රමාණවත් නොවීය. වාසස්ථාන අඩු වූ අතර දරුවන්ට පාසල් සොයාගත නොහැකි විය. ආහාර, නවාතැන් ඇතුළු මූලික අවශ්‍යතා සඳහා සොරකම්, මැර කල්ලි හා ඝාතන සංස්කෘතියක් බිහි කෙරිණ. සංක්‍රමණය වූවෝ අවස්ථා සොයා බිහිසුණ ලෙස හැසිරුණ බව ඉතිහාසය දක්වයි. 

අද වන විට ඇමරිකාව වැඩිම ජනගහනයක් ජීවත්වන නගර අතර තුන් වැනි ස්ථානයෙහි පසුවේ. මූල්‍ය නගරයක් වන අතර වානිජ අංශ පැතිරී ඇත. කර්මාන්ත, අධ්‍යාපන, තාක්ෂණ, දුරකතන සන්නිවේදන සහ ප්‍රවාහන ආදී බහුවිධ අවස්ථාවලින් සම්පූර්ණ වී ඇති මධ්‍යස්ථානයකි. එහි ගුවන් තොටුපොළ ලෝකයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දහයෙන් එකකි. පසුගිය වසරේ මිලියන පනස් පහක සංචාරක පිරිසක් චිකාගෝ වෙත පැමිණ තිබේ. 

ආර්ථික ප්‍රශ්න හේතු කොටගෙන මහත් විනාශකාරී තැනක් වශයෙන් තිබුණ නගරයක් පරම්පරා ගණනකට පසු මහත් ආකර්ෂණීය තැනක් බවට පත්ව තිබේ. මුල් කාලයේ දී එහි ව්‍යාපාරිකයෝ අපරාධ සම්බන්ධව සොයන්නට ඔවුන්ගේ මටට්මින් කොමිසමක් පවා පත් කළ අතර නීතියට කරගත නොහැකි වූ පාලනය සම්බන්ධ බලපෑම් ඇති කරන පියවරට ද අවතීර්ණ වූහ. ශ්‍රී ලංකාවේ අපරාධ සම්බන්ධයෙන්ද ලෝකයේ වෙනත් පැතිකඩවලින් අත්දැකීම් ලබාගත යුතුවේ. අවස්ථා අහිමි කොටස්, අවස්ථා අතර ඇති සාහසික තරගය මෙම සිද්ධි පිටුපස තිබෙන බව පෙන්වාදීම අවශ්‍යය. 

ත්‍රස්තවාදය හා ආර්ථික පීඩාවේ ඉරණම

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී පිරිවැය ආර්ථිකය අවහිර කළේය. එහි ඉහළම මොහොත වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් පමණ යුද වියදම් සඳහා වෙන් කරන්නට සිදුවී තිබුණි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු වසර දෙකක් පිට පිටම සියයට දහයක ආර්ථික වර්ධනයක් බලපැවැත්වීය. එයින් ඉනික්බිතිව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සමග විනාශ වූ සංචාරක කර්මාන්තය ද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලොක් වඩුන් වූ ආර්ථිකය ද ශ්‍රී ලංකාවේ ගමන් මග වෙනස් කළේය. මුලික ආර්ථික අවශ්‍යතා පවා සපුරාගත නොහැකි වන පරිදි රින ආර්ථිකයක් කරා ඇදී ගිය අතර 2022 -23 වසර දෙක තුළ පමණක් සියයට දහයක සෘණ අගයකින් රට ආපසු හැරී තිබේ. මෙහි පීඩාව බරපතළය. ලක්ෂ ගණනක ගේ ආදායම් මාර්ග ඇහිරී තිබුණි. එවැනි තවත් දෙතුන් ගුණයක පිරිසක ගේ ආදායම් මට්ටම අඩු වී තිබුණ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හතළිස් දහසක් පමණ වැසී ගොස් තිබුණ බව ද සඳහන් කළ යුතු කරුණකි.

මෙම පසුබිම ඉදිරියේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ජනගහනයෙන් සියයට 24.5 ක් දක්වා බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. අධ්‍යාපනය අවසන් කරන තරුණයන් අතරින් වයස අවුරුදු 15-14 අයවලුන්ගෙන් සියයට 29.5 කට රැකියා නැති බව දැක්වේ. වයස 25-29 අතර තරුණ පිරිසගෙන් සියයට 22.3 කට රැකියා නැත. සතියකට පැය කිහිපයක් නිවසේ හෝ ආර්ථික කටයුත්තක නිරත පුද්ගලයන් රැකියාවක් කරන බව සලකා මෙම දත්ත සකස් කරන ලද බව දෙපාර්තමේන්තුව දක්වයි. ආදායම අඩුවීම, රුකියා හිඟය සහ අවස්ථා අහිමි සමාජයක් තුළ අතෘප්තිය, සැකය හා වෛරය ඇති විය හැකිය.

ආණ්ඩුව වෙනස් කරන ලද ජනතාව අලුත් අවස්ථා ඉල්ලා සිටියේය. සිස්ටම් චේන්ජ් කරන සේ අරගලයේ දී බල කෙරිණ. කෙසේ නමුත් පසුගිය වසරේ දී පවා ආර්ථික වර්ධනය සියයට පහකි. ඉකුත් පසුබැසීම් ආවරණයවී නැත. දැනට පුරෝකථනය වන පරිදි ලබන වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක් හතරක් අතර ප්‍රතිශතයක් වන බව දැක්වේ. මෙම සංවර්ධන වේගය ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලන සමාජ තත්ව ඇති කරන්නේ නැත. ඕනෑම ආකාරයකින් ධනය හොයන සමාජයක් කරා තල්ලුවෙමින් තිබේ.

සාමය ඇති කිරීමෙන් පසු යුද පුහුණුව සහිත තරුණ පරම්පරාවක් සමාජයට එකතු වී ඇති අතර ඔවුන්ට කාර්යාලවල ආරක්ෂක සේවා ඇබෑර්තු හැර වෙනස් අවස්ථා නැත. ඉහළ ආදායමකින් ජීවත්වීම හුරු කරගෙන සිටි පිරිසකට අඩු මුදල් ප්‍රමාණයකින් මුලික අවශ්‍යතා ආවරණය කරගත නොහැකි වී තිබේ. නීති විරෝධී කටයුතුවලට පොළඹවා ගත හැකි පරිසරය තියුණුය. අපරාධ, මත්ද්‍රව්‍ය, මිනිස් ජාවාරම් කෙරෙහි ආකර්ෂණය වේ. මේවා පාලනය කිරීමට හමුදාව ප්‍රමාණවත් නොවන අතර ආර්ථික වර්ධනය සඳහා පියවර අවශ්‍ය කෙරේ.

බදුවලින් ආර්ථිකයක් වර්ධනය කරන්නේ නැත

ආර්ථිකය ප්‍රකෘතිකරණය සඳහා ආකෘතියක් සකස්කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයේ ආදායම තර කරන බදු කෙරෙහි අවධානය දියුණු කර තිබේ. කර්මාන්ත අඩපණවන අතර සමහර අංශ වසාදමා තිබේ. ඒවායෙන් අහිමිවන ආර්ථික සක්‍රීයභාවය බදුවලින් ආවරණය කරගැනීමට උක්සාහ කිරීම සුදුසු තත්වයක් නොවේ. ජනතාව අධික බදු දැලකින් ආවරණය කරන අතර එදිනෙදා සියලු වියදම්වල දී ඉවසා ගත නොහැකි කොටසක් රජයට අයකරගනිමින් තිබේ. ආර්ථික කටයුතුවල දී බදු ලිපිගොනු අනිවාර්ය කරන අතර එය ද මධ්‍යම හා පහළ පැළැන්තිය මහත් වෙහෙසකට පත් කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියාමනය අනුව ආණ්ඩුවේ ආදායම හා වියදම පාලනය විය හැකි නමුත් සමාජ ප්‍රශ්න තවත් උත්සන්න වනු ඇත. විදුලිය බිල, ඉන්ධන වියදම්, සන්නිවේදන ගාස්තු හා ආහාර වියදම අඩු ආර්ථික මට්ටමකට වැටුණ ජන කොටසකට ඔරොත්තු නොදෙන බව සමාජයේ පහළ ස්ථරයේ හඬ අවබෝධ කරගෙන බලයට පැමිණි ආණ්ඩුව වටහා ගැනීම වැදගත්ය. 

මැතිවරණ වේදිකාවේ සිට මෙම මෙහොත දක්වා පසුගිය කාලයේ සිදුවූ දූෂණ වංචා හා මුදල් කොල්ලය ගැන සොයන ආණ්ඩුව ඒවාට වරදකරුවන් ගොනුකරමින් සිටී. එම ක්‍රියාවලිය හොඳ ආදර්ශයකි. කෙසේ නමුත් ආර්ථික වර්ධනය ඇති කරන පියවරක් නොවේ. වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නැත. අලුත් කර්මාන්ත හා ව්‍යවසාය ආරම්භ විය යුතුය. ඒවායෙන් රැකියා අවස්ථා ඇති කළ යුතු අතර එම ව්‍යාපාරවල බදු සමග රජයේ ආදායම වැඩිවන පසු සාමාන්‍ය ජනතාවගෙන් අය කරන බදු අඩු කරන ප්‍රදර්ශනාත්මක සැලැස්මක් වහාම අවශ්‍ය කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතිය තිබිය දී රට තුළ දැවෙන ප්‍රශ්න නිරාකරණයට හදිසි පියවර අවශ්‍යය. වී ගොවියෝ සිය අස්වැන්න ගැන මැසිවිලි නගති. රෝහල් තුළ ප්‍රශ්න තිබේ. රෝගීන්ට ප්‍රතිකාර නැති අතර එහි අඩුපාඩු සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කර ඇත. විදුලිය හා ඉන්ධන ගාස්තු සංශෝධනය බලවත් හිරිහැරයකි. ප්‍රවාහනය පහසු නැත. එහි විෂම තත්වය හේතු කොටගෙන නිතර අනතුරු සිදුවේ. මහා මාර්ගය භාවිත කරන සෑම පුද්ගලයකුම ඉතා අපරීක්ෂාකාරීව හැසිරෙන අතර එයට හේතුව මහා මාර්ගයේ විනය පිරිහීම බව දැක්විය යුතුව තිබේ. මාර්ග නීති තවත් දැඩිකොට දඩ වැඩි කිරීමෙන් පසු ඒවා ගෙවන්නේද මෙම පීඩිත කොටස බව හඳුනාගත යුතුව තිබේ. නීතිය ක්‍රියාත්මක කරන අතරවාරයේ සමාජය ඉහළට ඔසවා තබන අලුත් යෝජනා ක්‍රියාවට නැංවිය යුතුය.

කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවස්ථා සැපයීම

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඉදිරිපත් වූ අදානි සමූහ ව්‍යාපාරය එයින් ඉවත් වූ අතර ආයෝජනයට සූදානම් වූ මුදල වන්දි වශයෙන් ඉල්ලා සිටින බව පසුගිය දා මාධ්‍ය වාර්තා කළේය. නෙක්ස්ට් ඇතුළු කම්හල් ගණනාවක් වැසී ගොස් තිබේ. තේ කම්හල් දෙසිය පනහක් පමණ වැසී ඇති අතර එයට හේතුව වශයෙන් පවත්වාගෙන යන අපහසුව බව දක්වා ඇත. පොදු ප්‍රවාහනය, කාර්යාල සේවා හා පාසල් සේවා සඳහා අධිවේගී මාර්ගවල පවත්වාගෙන ගිය බස් බොහෝ ප්‍රමාණයක් ආරක්ෂිත බඳ පටි රහිතව ධාවනය කළ නොහැකිව ඉවත්වන බව අනාවරණය වේ. තව තවත් ව්‍යාපාර බිහිවිය යුතුව තිබිය දී මෙම අහිමිවීම් විශේෂයෙන් සලකා බැලිය යුතුව තිබේ. 

වාර්තා දක්වන පරිදි ඉදිකිරීම් පිරිවැය අධිකය. ශ්‍රමය හිඟය. ශ්‍රමයට ගෙවන වැටුප් ලෝකයේ අනෙක් රටවලට වඩා අධිකය. කර්මාන්ත අංශයෙන් පසු මිල දී ගත යුතු වාහන යනාදියට අධික බදු ගෙවන්නට සිදු වී ඇති අතර ඒවා සඳහා බැංකු පොලිය ද ඉහළ යන බව දැක්වේ. ව්‍යාපාර සඳහා අවසර ගැනීම යටිතල පහසුකම් සකස් කරගැනීම යනාදිය ගැටලු බවතින බව ආයෝජන අංශ පෙන්වා දී ඇත.

මෙවැනි පැති විශේෂයෙන් සලකා බලා අලුත් අදහස් අනුව වෙනස්කම් ඇති කළ යුතුවේ. අපරාධ, ආර්ථිකයට පීඩාවකි. එය පිළිකාවක් හා සමානය. මතු පිටින් නොපෙන්වන නමුත් අභ්‍යන්තරයෙන් විශාල පරිහානියක් ඇති කරමින් තිබේ. අනෙක් අතට අපරාධ හා සිවිල් ගැටුම් ඉහළ යන අවදානම තුළ විදේශ ආයෝජන දුර්මුඛ විය හැකිය. එය තවත් අවාසියකි. ලෝකයේ පවතින අවස්ථා අතර ශ්‍රී ලංකාව තැනක් හිමිකරගත යුතුව තිබේ. අපරාධ අඩුකරන නීති හා සමානව අපරාධ හා සිවිල් ගැටුම්වලට හේතු සොයාබලා ඒවාට විසඳුම් සැපැයිය යුතුවේ. එය ද දියුණුවන ආර්ථියක් තුළ සලකා බැලිය යුතු වැදගත් කොටසකි. 



අදහස් (0)

අපරාධ :ආර්ථික සංවර්ධනයට අහිතකර බලපෑමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 155 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site