ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑමට උත්සහ කරද්දී, අනතුරට පත් වී ගිනිගත් දකුණු කොරියා ගුවන් යානයේ සිටි මගීන් 307 දෙනාගෙන් 305 දෙනකු දිවි බේරා ගත් අතර, එම පිරිස දිවි බේරා ගත්තේ යානයේ ගුවන් සේවිකාවන් දෙදෙනක දිවි පරදුවට තබා ඔවුන්ට සහාය දීම නිසා යැයි ගුවන් යානය අයත් ‘ඒසියන් එයාර්’ ගුවන් සේවය පැවැසීය.

බෝයිං 777 වර්ගයේ එම මගී යානය අනතුරට පත් වුණේ ඉකුත් සති අන්තයේය. ඒ, එය දකුණු කොරියාවේ සෝල් නුවර සිට ඇමෙරිකාව බලා පැමිණෙද්දීය.
යානය ගොඩබාද්දී එහි පසුපස කොටස ගුවන් පථයේ ගැටී යානය කැරැකී ධාවන පථයෙන් පිටතට විසි විය. යානයට බරපතළ හානි සිදුවුණු අතර එහි ගින්නක් ද හට ගත්තේය.

සැන් ෆ‍්‍රැන්සිස්කෝ ගුවන් තොටුපොළේ ගිනි නිවන භටයන් සහ සහන සේවකයන්ට යානය වෙත පැමිණීමට මිනිත්තු 15 ක් පමණ ගත වී ඇත.
ඒ අතරේ යානයේ සිටි මගීන් හදිසි දොරටු දෙකකින් පිටතට ගැනීමට කටයුතු කර ඇත්තේ එම ගුවන් සේවිකාවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ගුවන් යානයේ කැබින් කළමනාකාරිය ලී යුන් හේ ය.

යානය ගිනි ගනිද්දී, සියලූම මගීන් යානයෙන් පිටතට යන තෙක් ඇය ඔවුන් සන්සුන් කරමින් යානයේ රැඳී සිට ඇත.

ලී යුන් හේ යානයෙන් පිටතට ගොස් ඇත්තේ සියල්ලෝම පිටතට ගිය පසුවය. ඇයට සහාය වූ අනෙක් ගුවන් සේවිකාව කිම් ජී යියෝං ය.

යානය අනතුරට පත්වුණේ නියමුවන්ගේ අත්වැරදීමකිනි. එහි සිටි එක් නියමුවකු ආධුනිකයකු යැයි පෙරේදා (8) අනාවරණය විය.

එම අනාවරණයත් සමඟ ‘ඒසියාන්’ ගුවන් සේවයට දොස් අහන්න සිදුවිය. අනතුරින් වයස අවුරුදු 16 ක් වයසැති පාසල් දැරියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.