ඇමරිකාවේ වොෂින්ටන්හි  රජයේ පාසැලක ආපන ශාලාවේ දී වෙඩි තබා තම සහෝදර ශිෂ්‍යාවක ඝාතනය කර තවත් සිසුන් පිරිසකට තුවාල සිදුකළ සිසුවකු සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධිය වී ඇත්තේ සීට්ල් සමීපයේ වු මේරිස්විලි පිල්චුක් උසස් විද්‍යාලයේය.

වෙඩි වැදීමෙන් එක් සිසුවියක මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර ද ශිෂ්‍යාවන් දෙදෙනෙක් සිටිති. තුවාල ලැබූ අනෙක් දෙදෙනා වෙඩි තැබූ සිසුවාගේ ඥාතී සහෝදරයන් දෙදෙනකු යැයි පොලිසිය ප්‍රකාශකැර තිබේ. තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්වය ඉතාමත් බරපතල බවද පැවසේ. වෙඩි තැබූ පුද්ගලයා ජෙලින් ෆ්‍රයිබර්ග් ලෙස හඳුනාගෙන ඇත. ඔහු සිද්ධිය වු ස්ථානයේදීම  මියගොස් තිබේ.

පොලිසිය පවසන්නේ ඔහු තම ඥාති සහෝදරයන් දෙදෙනාට වෙඩි තැබීමට පැමිණ ඇති බවයි.

ෆෙඩරල් බලධාරින් පවසන්නේ මෙම සිද්ධියට අදාල තුවක්කුව නීත්‍යානුකූලව මිලට ගත් එකක් බවයි.