ඇසෑම් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල ස්වදේශීය වැසියන්ගේ ඉඩම් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට එම ප්‍රාන්තවල බලධාරීන් පොරොන්දුවක් ලබා දී ඇත.
නව පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වෙද්දි ඇසෑම් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්ත මෙම නව නීතිය ගෙන ඒමට සූදානම් වේ.
සැලැසුම් කර තිබෙන නව නීතියට අනුව ස්වදේශීය වැසියන් ස්වදේශීය නොවන ජනතාවට ඉඩම් විකිණීම වැළකෙන බව ඇසෑම් ප්‍රාන්තයේ මුදල් අමාත්‍ය හිමන්තා බිස්වා සර්මා පැවැසීය.
“නව නීතියට අනුව අපේ මිනිස්සු වෙනුවෙන් ඉඩම් ආරක්ෂා වෙනවා” යැයි සති අන්ත කැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය සර්මා පැවැසීය.
මේ මස මුලදී ඉන්දියාවේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පුරවැසි සංශෝධන පනතට එරෙහිව ඉන්දියාවේ බොහෝ නගරවල විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මුලින්ම ආරම්භ වූයේ ඇසෑම් ප්‍රාන්තයෙනි. පුරවැසි පනත අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෑම් ප්‍රාන්තයට පැමිණ එම ප්‍රාන්තයේ පදිංචි වූ සංක්‍රමණියන්ට විරුද්ධව ගෙන ලද්දක් බවට චෝදනා එල්ල විය.
නව පුරවැසි පනත ගෙන එන ලද්දේ 2015 වසරට පෙර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවලින් ඉන්දියාවට පැමිණි මුස්ලිම් නොවන සුළු ජාතීන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහයෝගය දැක්වීමක් ලෙස යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය.
කෙසේ නමුත් නව පනත මඟින් මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සලකන බවට බොහෝ ඉන්දියානුවන් චෝදනා කළ අතර එය ඉන්දියාවේ අනාගමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවට ද චෝදනා එල්ල විය. පුරවැසිභාවය ලබාගැනීමට ආගම පරීක්ෂාවක් කරගැනීම මෙමඟින් සිදුවන බවට ද බොහෝ පාර්ශව චෝදනා එල්ල කළහ.
කෙසේ නමුත් ඇසෑම් ප්‍රාන්තයේ ස්වදේශීය පුද්ගලයකු හඳුනාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කර නැතැයි වාර්තා වේ. මේ වසර මුලදී ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 2කට ආසන්න පිරිසක් පුරවැසි නාමලේඛනයට ඇතුළත් කර නොතිබිණි. ඊට අමතරව ඇසෑම් ප්‍රාන්තයේ ඉඩම්වලින් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන බංග්ලාදේශයට මායිම් වේ.
සිය ප්‍රාන්තය කිසිදු අවස්ථාවකදී පුරවැසි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි බටහිර බෙංගාලයේ මහ ඇමැති මමතා බෙනර්ජී කීවාය. ඇය භාරතීය ජනතා පක්ෂය දැඩි ලෙස විවේචනය කරන පුද්ගලයකු ලෙස ද ප්‍රසිද්ධය.
අවුරුදු 50කට වැඩි කාලයක් මුළුල්ලේ ප්‍රාන්තයේ ජීවත් වන සංක්‍රමණිකයන් දස දහසකට වැඩි පිරිසකට ඉඩම් අයිතිවාසිකම් ලබාදීම ඉක්මනින්ම ආරම්භ කරන බව ද ඇය සඳහන් කළාය.
අල් ජසීරා ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි කරන දේ හොඳ වැඩක්... කොන්ද පණ ඇති නායකයෙක්. ජයවේවා...!!!