2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුතු අල් කයිඩා සංවිධානය ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළේය. ඒ සඳහා ඔවුහු ඇමෙරිකානු මගී ගුවන් යානා හතරක් පැහැර ගත්හ. එයින් ගුවන් යානා දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලූනු නැතිනම් උතුරු සහ දකුණු අහස සූරන මැඳුරු දෙකෙහි ගැටීමට සැලැස්වීය. තෙවැන්න ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගනයට කඩා වැටෙන්න සැලැස්වීය. සිවුවැනි ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්විල් නමැති පිටිසර බඳ පළාතට කඩා වැටුණි. ඊට හේතුව වූයේ අනෙක් ප‍්‍රහාර ගැන සැලවීමෙන් පසු ගුවන් යානයේ මගීන් කොල්ලකරුවන් සමඟ ගැටුමක් ඇති කර ගැනීමය. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ එම ප‍්‍රහාරවලින් 3,000 කට වැඩි පිරිසක් මියගියහ. ඇමෙරිකාව, 9/11 යනුවෙන් ප‍්‍රකට එම ප‍්‍රහාරය සෑම වසරක් පාසාම සමරයි. පසුගියදා එහි 10 වැනි සංවත්සරය සැමරුණේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේත් හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේත් ප‍්‍රධානත්වයෙනි. සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරය එල්ල වෙද්දී ඇමෙරිකානු ජනපති ධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ය. සෑම වසරකම පැවැත්වෙන එම සැමරුමට බටහිර මාධ්‍ය විශාල ප‍්‍රසිද්ධියක් ලබා දෙයි. එය මේ වසරේදීත් එසේම සිදුවිය. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ බටහිර මාධ්‍ය ගෙන යන මෙම ප‍්‍රචාරක වැඩ පිළිවෙළ ඇමෙරිකානු සහ යුරෝපීය රටවල ජනතාවට ත‍්‍රස්තවාදය පිළිබඳ භීතිකාවක් ඇති කිරීමට සමත් වී ඇති බවත් එය ඉතා සූක්ෂමව සිතාමතා සිදු කරන කි‍්‍රයාවලියක් බවත්ය. ‘ත‍්‍රස්තවාදී භීතිකාව’ දිගටම පවත්වා ගැනීමට ද බටහිර රටවලට සැප්තැම්බර් 11 ප‍්‍රහාරය වාසියක් වී ඇති අතර ඇතැම් ප‍්‍රබල දේශපාලනඥයන් සැප්තැම්බර් 11 ප‍්‍රහාරය දේශපාලනික වාසි ලබා ගැනීමට පවා යොදා ගන්නා බව පෙනේ. සැප්තැම්බර් 11 ප‍්‍රහාරය පසුබිම් කර ගනිමින් ලෝකයේ බොහෝ රටවල් සහ ප‍්‍රදේශ ‘මිල්ටරිකරණයකට’ ලක් කිරීමට ද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝක බලවතුන් යැයි කියා ගන්නා රටවල් උත්සාහ ගන්නා බව ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් සහ වෙනිසියුලානු නායක හියුගෝ චාවේස් නිරන්තරයෙන් චෝදනා කරති. මේ අතර ඇතැම් ඇමෙරිකානුවන් පමණක් නොව ලෝකයේ දේශපාලන විශ්ලේෂකයන් කියා සිටින්නේ අල් කයිඩාව සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සිදු කළත් එහි පසුපස සිටින්නේ ඇමෙරිකාවම බවය. මෙය බරපතළ චෝදනාවකි. මෙම චෝදනාව එල්ල කරන පිරිස් එකතු කරගෙන, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 10 වැනි සැමැරුම දා බි‍්‍රතාන්‍යයේ බී.බී.සී. පුවත් සේවය ‘කොන්ස්පිරසි ෆයිල්ස්’ නැතිනම් ‘2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ කුමන්ත‍්‍රණය’ යන තේමාව යටතේ අපූරු වැඩසටහනක් විකාශය කෙළේය. මෙය ජනමත විමසුමකි. මෙම වැඩසටහන මෙහෙයවූයේ බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදී මයික් රුඩින්ය. එහිදී සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිහිපයක්ම ඉදිරිපත් විය. ජනතාවගෙන් මතු වූ එම ප‍්‍රශ්න සහ තර්ක විතර්ක ගැන දෙවරක් සිතා බැලිය යුතු තත්ත්වයක් උදා වී තිබේ. 9/11 ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධාන ගැටලූව නම් ලෝකයේ බලවත්ම රට මෙන්ම බලවත්ම ගුවන් හමුදාව ඇති රටට මෙවන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූයේ කෙසේද යන්නය. ප‍්‍රහාරය සඳහා අල් කයිඩා සටන්කාමීහු ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන මගී ගුවන් යානා පැහැර ගත්හ. සටන්කාමීහු එම ගුවන් යානාවලින් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලූනුවල ගැටීමට සැලැස් වූහ. කුලූනුවල ගැටීමට පෙර ගුවන් යානා පැහැරගත් බව දැන ගැනීමට හැකියාව ලැබුණද, ලොව බලගතුම ගුවන් හමුදාව ලෙස සැලකෙන ඇමෙරිකානු ගුවන් හමුදාව එම යානා පසුපස ඔවුන්ගේ ප‍්‍රහාරක ජෙට් යානා නොඑව්වේ ඇයි ද යන්න ගැටලූවකි. එසේ ජෙට් යානා එව්වේ නම් සටන්කාමීන් පැහැරගත් ගුවන් යානාවල ඉලක්ක වෙනස් වීමට තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි. 9/11 ප‍්‍රහාරය මහා කුමන්ත‍්‍රණයක් බව පවසන ඇතැම් කණ්ඩායම් සටන්කාමීන් පැහැර ගත් ගුවන් යානා වට කිරීමට නොයන ලෙස එවකට ඇමෙරිකානු උප ජනාධිපති ලෙස කටයුතු කළ ඩික් චෙනී ඇමෙරිකන් ගුවන් හමුදාවට අණ කළ බව ද කියති. ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධයෙන් එවකට ඇමෙරිකානු රජය කරුණු පැහැදිලි කරමින් එළිදැක්වූ වාර්තාවල දැක්වෙන්නේ එකවර ගුවන් යානා හතරක් පැහැර ගැනීමක් සිදුවේවි යැයි බලධාරීන් කිසිවිටෙකත් නොසිතූ බවය. එවැනි සැහැසි කි‍්‍රයාවක් සිදුවේවි යැයි කිසිවිටෙක අනුමාන නොකළ බවත්, රේඩාර් තිරවලට ගුවන් යානය හසුකර ගැනීමට හැකිවන සේ ගුවන් යානයේ ඇති විශේෂ උපකරණය අකි‍්‍රය කර දැමීමට අල් කයිඩා සටන්කාමීහු සමත් වී ඇත. ගුවන් යානා පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී ඇමෙරිකානු සිවිල් ගුවන් ගමන් පාලන අධිකාරිය සහ ඇමෙරිකානු හමුදාව ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් පවත්වමින් සිටියේය. සිවිල් ගුවන් ගමන් පාලන අධිකාරියේ ප‍්‍රධානී කොලින් ස්කොගින්ස් නිරතුරුවම ඇමෙරිකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධ වී කතාබහ කරමින් සිටියේය. එහෙත් ඔහු ද ප‍්‍රහාරය ගැන ඇමෙරිකානු ගුවන් හමුදාවට කිසිවක් ප‍්‍රකාශ නොකළේ ඇයි ද යන්නත් ගැටලූවකි. පෙන්ටගනයට පහර දීම අනෙක් ප‍්‍රශ්නයයි. පෙන්ටගනය යනු ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයයි. ලෝකයේ වඩාත් ආරක්ෂිත ගොඩනැගිල්ල ලෙස මෙය සැලකේ. එසේ නම් නිසි පුහුණුවක් නැති අල් කයිඩා සටන්කාමියකු පැදවූ දැවැන්ත ගුවන් යානය නිවැරදි ඉලක්කයට පෙන්ටගනයට කඩා වැටීමට සැලැස්වූයේ කෙසේද යන්නත් ගැටලූවකි. එපමණක් නොව පෙන්ටගනයට ප‍්‍රහාරය එල්ල වූයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලූනුවල ගුවන් යානා ගැටීමට සලස්වා මිනිත්තු 78 කට පසුවය. එම මිනිත්තු 78න කාලය තුළ ඇමෙරිකන් හමුදාව කළේ කුමක්ද? ඔවුහු කුමක් නිසා කි‍්‍රයාත්මක නොවූවෝද ? යන ගැටලූ ද බී.බී.සී සේවයේ ‘කොන්ස්පිරසි ෆයිල්ස්’ වැඩසටහනේදී ලෝකයා හමුවට ඉදිරිපත් කෙරුණි. සටන්කාමීන් පැහැරගත් යුනයිටඞ් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 93, ඉලක්කය වැරදී යාමෙන් පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ ෂැංක්විල් නගරයේ පිට්ටනියකට කඩා වැටුණි. එහෙත් එහි සුන්බුන් ඇත්තේ ස්වල්පයකි. ඊට හේතුව ලෙස ඇතැමුන් පවසන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාව, ප‍්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මිසයිලවලින් පහර දී අංක 93 ගුවන් යානය උඩුගුවනේදී පුපුරුවා හැරිය බවය. එය කඩා වැටුණු බව පවසන්නේ මගීන් සමඟ ගුවන් යානය විනාශ කළ බව හෙළි නොකිරීමට ඇමෙරිකානු රජය අකමැති වූ නිසා යැයි ද පැවැසේ. අවසන් ගැටලූව ‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් අංක 7’ ගොඩනැගිල්ල සම්බන්ධ අබිරහසය. ගුවන් යානා ගැටී ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන උතුරු සහ දකුණු ගොඩනැගිලි දෙක මුළුමනින්ම බිමට සමතලා විය. මේ ගොඩනැගිලි දෙකට යාබදව පිහිටා තිබුණු ‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් අංක 7’ උස් ගොඩනැගිල්ල ද එම මොහොතේදීම හිටිහැටියේම බිමට සමතලා විය. එහෙත් ‘අංක 7’ ගොඩනැගිල්ලේ ගුවන් යානයක් හැපුණේ හෝ උතුරු සහ දකුණු ගොඩනැගිලිවල සුන්බුන්වලින් එයට හානි සිදුවූයේ හෝ නැත. ‘අංක 7’ ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඉතා ක‍්‍රමානුකූලව සහ ඉතා ඉක්මනින්ය. උතුරු සහ දකුණු ගොඩනැගිලිවල ගුවන් යානා ගැටෙද්දී සහ ඉන්පසු හට ගත් ගින්නේදී ඒ අසල ඉදිකර තිබූ කිසිදු වානේ ගොඩනැගිල්ලක් විනාශ නොවිණි. හානි සිදුවූ නමුත් විනාශ නොවිණි. එසේ නම් ‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් අංක 7’ ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද? ඇතැමුන් විශ්වාස කරන්නේ ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වෙද්දී ‘අංක 7’ ගොඩනැගිල්ල කඩා දැමීමට ගොඩනැගිල්ලේ හිමිකරු ලැරී සිල්වර්ටන් සහ නිව්යෝක් බලධාරීන් කටයුතු කළ බවය. ‘අංක 7’ ගොඩනැගිල්ල බිමිට සමතලා වීමට ගත වූ කාලය තත්පර 2.25 කි. ගුවන් යානා ගැටුණු උතුරු සහ දකුණු කුලූනු දෙකවත් එතරම් ඉක්මනින් කඩා වැටුණේ නැත. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය පවසන්නේ ගුවන් යානා ගැටීමෙන් ඇති වූ කම්පනය සහ අධික තාපය හේතුකොට ගෙන ‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් අංක 7’ ගොඩනැගිල්ල බිමට සමතලා වූ බවය. එතරම් ඉක්මනින් ගොඩනැගිල්ලක් බිමට සමතලා කළ හැක්කේ එහි පුපුරණ ද්‍රව්‍ය අටවා පුපුරුවා හැරියහොත් පමණි. කඩා දැමීමට නියමිතව තිබුණු ‘වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් අංක 7’ ගොඩනැගිල්ල ත‍්‍රස්ත ප‍්‍රහාරය මැද කඩා දැමුවේ නිව්යෝක් වැසියන්ගෙන් විරෝධයක් එල්ල වීමට තිබූ බාධා මඟ හරිමින් යැයි ද ඇතැමෙක් පෙන්වා දෙති. එය එසේ නම්, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලිවලින් ප‍්‍රධාන ද්විත්ව ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක් එල්ල වන බව නිව්යෝක් බලධාරීන් කල්තියා දැන සිටිය යුතු නොවේද ? සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරය එල්ල වෙද්දී ඇමෙරිකාවේ ජනපතිව සිටි ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටන’ ආරම්භ කළේ ඉන් පසුවය. ඔහු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ඇෆ්ගනිස්තානයට හමුදා මෙහෙය වීය. ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ විය. එය ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය. ඇමෙරිකානු හමුදා මැදිහත් වී ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා හිතවාදී තලේබාන් පාලනය පෙරළා දැමුණි. ඇමෙරිකාවට සහාය පළ කරමින් බි‍්‍රතාන්‍යය සහ නේටෝව ඇෆ්ගන් සංග‍්‍රාමයට එක් විය. එය ජීවිත රැසක් බිලි ගත්තේය. මුස්ලිම් වැසියන් සහ බටහිර රටවල් අතර වෛරයක් හට ගත්තේය. ඇෆ්ගන් සංග‍්‍රාමය තවමත් අවසන් නැතත් ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ ප‍්‍රගතියක් ලබා ගැනීමට වත්මන් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා සමත් විය. ඒ, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනයයි. බින් ලාඩන්ගේ මරණයත් සමඟ අද අල් කයිඩාව දුර්වල වී ඇත. එය අල් කයිඩාවේ කි‍්‍රයා කලාපයෙන් පැහැදිලි වේ. අල්් කයිඩාව ලොව රටවල් කිහිපයක විහිදුණු ජාලයකි. අල් කයිඩාවට සම්බන්ධ ඔසාමා බින් ලාඩන් ඇතුළු ජිහාඞ්වරුන්ට අවි ආයුධ දී ශක්තිමත් කළේ ද ඇමෙරිකාව මය. එය රහසක් නොවේ. එය සිදුවූයේ සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය. එහිදී සෝවියට්වරුන්ට එරෙහිව හොර රහසේ මුජහදීන් සහ ජිහාඞ් සටන්කාමීන් ශක්තිමත් කළේ ඇමෙරිකාවය. අද ඇමෙරිකාව ත‍්‍රස්තවාදී ලේබලය අලවා ඇති අල් කයිඩා සහ තලේබාන් සටන්කාමී සංවිධානවල සිටින්නෝ මුජහදීන් සහ ජිහාඞ්වාදීහුය.
සටහන: ලූසිත ජයමාන්න