සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ ග්‍රේස් මුගාබේ ඇත් දළ ජාවාරමක නිරත වී ඇතැයි ද පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එරට සති අන්ත පුවත්පතක් අද (25) වාර්තා කළේය. 
 
හිටපු ජනපති බිරිඳ නීතිවිරෝධී විදේශ වෙළෙඳපොළවල් සමඟ මිලියන ගණනක වටිනාකමක් සහිත ඇත් දළ ජාවාරමක නිරත වී ඇතැයි රජයට අයත් ‘සන්ඬේ මේල්’ පුවත්පත එලෙස වාර්තා කර තිබිණි. 
 
සිම්බාබ්වේ හි උද්‍යාන හා වනසත්ව අධිකාරිය අදාළ ලිපිලේඛන පොලිසියට ලබා දී ඇතැයි ද සන්ඬේ මේල් පුවත්පත වාර්තා කළේය. චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක නීති විරෝධී ලෙස පවත්වාගෙන වෙළෙඳපොළවල් ඇත් දළ විකුණා ඇතැයි අදාළ ලිපි ලේඛනවලින් අනාවරණය වී තිබේ. 
 
පොලිස් ප්‍රකාශිකා චැරිටි චාරම්බා එලෙස ලිපි ලේඛන ලැබුණු බව සඳහන් කළ ද ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කළාය. 
 
විවිධ රටවල නායකයන් සඳහා ඇත්දළ යැවීමට තමාට අවසර දෙන්නැයි ග්‍රේස් මුගාබේ නිලධාරීන්ට අණ කර ඇතැයි ද සන්ඬේ මේල් වාර්තාවේ සඳහන්ව තිබේ. රටින් ඇත්දළ පිට කිරීමෙන් අනතුරුව ඒවා එක් ස්ථානයකට රැස් කර කළු කඩවලට යවන බව එම පුවත් පත තවදුරටත් වාර්තා කර තිබිණි. 
 
ඒ.එෆ්.පී
 
055