බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් භාවිතය තහනම් කළ පොකුරු බෝම්බ යොදා ගනිමින් තමන්ට පහර දෙන බවට සිරියානු කැරැලිකරුවෝ චෝදනා කරති. ”සිරියා අර්බුදයට මාස 20 ක් ගතවෙලා. සිරියා හමුදාව පොකුරු බෝම්බ යොදා ගනිමින් පහර දෙන්නේ නම් එය බරපතළ වරදක්. අර්බුදය විසදීමට නම් සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර කඩිනමින් සටන් විරාමයක් ඇති විය යුතුයි.” යැයි සිරියා අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි අවධාරණය කරයි. එළෙඹෙන ඊඞ් අල් අඩා මුස්ලිම් නිවාඩු දිනයේදී එම සටන් විරාමය කි‍්‍රයාත්මක කරන්නැයි ද බ‍්‍රහීමි කැරැලිකරුවන්ගෙන් සහ සිරියානු රජයෙන් ඉල්ලා සිටී. සිරියා හමුදා මේ වනවිට තුර්කි/සිරියා දේශසීමාවේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙළන බව ද වාර්තා වේ. සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප‍්‍රහාරයක් නිසා සිරියාවත් තුර්කියත් අතර මතභේදයක් හට ගත්තේ ද එහෙයිනි.