නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ මූලික තීන්දුව හෙට (23) දින ලබාදීමට නියමිත බැවින් තමන්ට සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරන බව වාර්තා වේ.

වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා වැසියෝ 730000කට අධික පිරිසක් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ.

එහිදී රෝහින්ග්‍යා වැසියන්ගේ ගම් සියගණනක් ගිනිබත් කෙරුණු අතර බොහෝ පිරිසක් මියගියහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සමූහ දූෂණ හා සමූහ ඝාතන ජනසංහාරක චේතනාවෙන් කර ඇති බවයි.

පලාගිය රෝහින්ග්‍යා වැසියන් පදිංචිව සිටින බංගලාදේශයේ පිහිටි ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා වලින් පසුව තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.

අධිකරණය තීන්දුව දෙන ආකාරය නැරඹීමට කඳවුරුවල අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර දෙන ලෙස සරණාගතයින් බංගලාදේශ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

"අපගේ තුවාල සුවකළ හැක්කේ යුක්තියෙන් පමණකි," යැයි රෝහින්ග්‍යා වැසියෝ පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)