ඉංජිනේරුවකු වූ ‍ටාල් ‍ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතුව ජානමය බලපෑමක් බවයි. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය හෙවත් ටිකෙන් ටික විශාල වෙමින් තිබිණි. මේ රෝගය හේතුවෙන් ඔහුගේ රුධිරය දියරමය තත්ත්වයෙන් තබා ගැනීමට මුළු ජීවිත කාලය ම ඖෂධ ලබාගැනීමට සිදුව තිබිණි.

වෛද්‍ය විද්‍යාව නොදත් හෙතෙම සිය ඉංජිනේරු දැනුම උපයෝගී කැර ගනිමින් හදවතට අවශ්‍ය උපකරණයක් නිපදවූයේය. ඒ දැල් සහිත පොලියෙස්ටර් වැස්මකි. මේ උපාගය යොදා සිය මහ ධමනිය ප්‍රසාරණය වීම වැළැක්විය හැකිවන බවත් මහ ධමනිය එයින් ආවරණය කරන ලෙසත් ඔහු වෛද්‍යවරුන‍්ගෙන් ඉල්ලා සිටියේය. ටාල් ගේ පෙරැත්ත කිරීම අවසානයේ වෛද්‍යවරු පිළිගත්හ. ශල්‍යකර්මය සිදුකැරිණි. දැන් ටාල් සුවය ලබා ඇත. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය වීම ද නැවතී තිබේ. වෛද්‍යවරු පවසන්නේ මේ ඉංජිනේරුවා සෑදූ උපකරණය හදවතේ මහ ධමනිය ප්‍රසාරණය වීමේ මාරාන්තික රෝගයට ගොදුරුවී සිටිනි රෝගීන්ට සුදුසු ප්‍රතිකර්මයක් බවයි. වෛද්‍යවරු එම උපකරණය යොදා වයස අවුරුදු 16 ක් තරුණයකු ඇතුළු 40 දෙනකු දැනටමත් සුවපත් කළ බව වෛද්‍යවරු කියති.

මේ උපකරණය ගැන තොරතුරු පවසන ගොලස්වර්ති ලොව පුරා ශල්‍යවෛද්‍යවරුන්ට මෙහි සාර්ථකත්වය දැනුම් දෙමින් සිටියි. බ්‍රිතාන්‍යයෙන් පමණක් ජානමය හේතූන් නිසා අසාමාන්‍ය ලෙස අස්ථි වැඩීම සමහ පටක වර්ධනය වන රෝගීන් 12,000 ට වැඩි පිරිසක් සිටින බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වාදෙයි.

සාමාන්‍යයෙන් මහ ධමනියේ අගල් එකහමාරක් පමණ විශ්කම්භයකින් යුක්තය. රෝගය හේතුවෙන් එය අගල් හතරක් පමණ පළල්වේ. එවිට මහ ධමනිය පුපුරා යාමෙන් හා රුධිරයේ දියරමය ස්වභාවය අඩු විමෙන් මරණය සිදුවේ. මෙවැනි රෝගීන්ගේ මහ ධමනියේ ප්‍රමාණය ස්කැන් පරික්ෂාවකින්  තීරණය කැර රෝගියාට අවශ්‍ය පරිදි මේ  උපාංගය නිර්මාණය කරයි. එලෙස සාදන උපකරණය සැත්කම මගින් මහ ධමනියට සවිකැර පුතිසංස්කරණය කරයි. මහ ධමනිය දුර්වල විමට පෙර මෙම සැත්කම කිරීම අත්‍යාවශ්‍ය කරැණකි.