පළමු ලෝක යුද්ධයට සහභාගී වූවන් අතර ජීවතුන් අතර සිටි අවසන් පුද්ගලයා ලෙස සැලකෙන බි‍්‍රතාන්‍ය රාජකීය කාන්තා ගුවන් හමුදාවේ සේවය කළ ෆ්ලෝරන්ස් ග‍්‍රීන් වයස අවුරුදු 110 දී මෙලොවින් සමුගත් බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය ඊයේ (08) වාර්තා කළේය. නැගෙනහිර එංගලන්තයේ කිංග්ස් ලින්හි පිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක නින්දේ පසුවෙත්දී ඇය ජීවිතයෙන් සමුගත් බව වාර්තා වේ. ෆ්ලෝරන්ස් ග‍්‍රීන් වයස අවුරුදු දාහතේදී එනම් 1918 දී හමුදා නිවස්නයක භාරකරුවකු ලෙස බි‍්‍රතාන්‍ය කාන්තා ගුවන් හමුදාවට සම්බන්ධ වූවාය. නමුත් ඇය සේවය කළේ සටන් පැවැති ප‍්‍රදේශවල නොවේ. අසාමාන්‍ය ජීවිතයක් ගත කළ සිය මව අභිමානවත් කාන්තාවක් බව ග‍්‍රීන්ගේ දියණිය වන ජූන් එවට්ස් පැවසීය. 1914 සිට 1918 දක්වා පැවැති පළමු ලෝක යුද්ධයට සහභාගී වූ සෙබළුන් අතරින් ජීවතුන් අතර සිටි සෙබළා ලෙස සැලකුණේ ඉකුත් වසරේ දී මෙලොවින් සමුගත් ක්ලෝඞ් කෝලෙස්ය.