ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ජනපති මැදුර හෙවත් ධවල මන්දිරය සහ එරට පරිපාලන ගොඩනැගිලි සංකීර්ණ පිහිටි ‘කැපිටල් හිල්’ කලාපයේ පෙරේදා (3) සවස පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූවාය.
 

මියගිය මීරියම් කෙරී

ඇය මීරියම් කෙරී නමැති 34 හැවිරිදි ඇමෙරිකානු කලූ ජාතික කාන්තාවක බව එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර, ඇගේ විස්තර සහ ඡායාරූප මාධ්‍ය වෙත ලබා දී ඇත.

ඇය දන්ත වෛද්‍ය හෙදියක වන අතර, කනෙනිකට් ප‍්‍රාන්තයේ පදිංචිකාරියක ද වෙයි.

පෙරේදා, ඇය හිටිහැටියේම ඇගේ මෝටර් රථය වේගයෙන් ධාවනය කරමින්, පොලිස් අණ නොතකා කැපිටල් හිල් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වී ඇත.

පොලිස් නිලධාරීන් පොලිස් රථවලින්, ඇගේ මෝටර් රථය වට කළ අවස්ථාවේදී, ඇය ඒවා හප්පාගෙන ඉදිරියට ධාවනය කර ඇත. මේ සියල්ල මාර්ග අවට ඇති ආරක්ෂක සී.සී.ටීවී කැමරාවල සටහන් විය.

ඇය ලූහුබැඳ යෑමේදී, පොලිස් නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර, ඔවුන් හෙලිකොප්ටර් ආධාරයෙන් කඩිනමින් රෝහල් ගත කළ බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

අවසානයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇගේ මෝටර් රථය හරස් කොට, ඇය මෙල්ල කර ගෙන ඇත්තේ, ඇයට වෙඩි තැබීමෙනි.

 වෙඩි තැබීමෙන් රෝහල් ගත කිරීමට පෙර ඇය ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම කලබලය සිදු කරද්දී, මෝටර් රථයේ  වයස අවුරුදු දෙකක් වයසැති ඇගේ දියණිය ද සිටි බව වාර්තා වේ.

මීරියම් කෙරී එසේ කලහකාරී ලෙස හැසිරුණේ ඇය මානසික ආතතියකින් පෙලූණු නිසා යැයි එෆ්.බී.අයි. පරීක්ෂකවරු පවසති.

ඇය මෝටර් රථය ධාවනය කරමින්, කැපිටල් හිල් කලාපයට කඩා වැදුණු අවස්ථාවේදී, ධවල මන්දිරයේ ආරක්ෂාව වහා තර කෙරුණි. ජනපති ආරක්ෂක සේවයේ නිලධාරීන් සහ ස්වොට් පොලිස් නිලධාරීහු ජනපති මැදුර වටකරමින් සීරුවෙන් සිටියහ.

සිද්ධියෙන් පසු පැය කිහිපයක් යන තුරුම ‘කැපිටල් හිල්’ කලාපය වසා දැමීමට ද පියවර ගැනුණි.

 

මීරියම් කෙරී මෝටර් රථයේ හැපුණු පොලිස් රථයක්
 
සිද්ධියෙන් පසු කැපිටල් ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබාදෙමින්
 
මෝටර් රථය වටකිරීමට උත්සාහ ගනිමින්