ජර්මනියේ පාපන්දු තරඟයක් බැලීමට සිය පුතුන් දෙදෙනා රජයේ ගුවන් යානයකින් නොමිලේ රැගෙන ගිය ප්‍රංශ ජනපතිට එරෙහිව නැගුණු විරෝධය හමුවේ එම ගුවන් ගමනට අදාළ සම්පූර්ණ ටිකට් පත් මුදල ගෙවා දැමීමට ඔහුට සිදුවිය.

සිදුවීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය ඇමතූ අගමැති මැනුවෙල් වාස් මහතා  ”අපේ රටට අනවශ්‍යය තර්ක හෝ මතභේද අවශ්‍යය නැත. ක‍්‍රීඩාවත් ඉතාම වැදගත් විෂයක්. එය එසේ නම් මම එම වරද නැවත වරක් නොකරමි‘‘ යනුවෙන් පැවසීය.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි උපත ලැබූ වත්මන් ප‍්‍රංශ අගමැති පාපන්දු ලෝලියෙකි. බාර්සිලෝනා හා පැරිස් සෙන්ට් ජර්මාන් පාපන්දු ක‍්‍රීඩා සමාජ ආධාරකරුවෙකි. එම තරඟ නැරඹීමට ඔහු අමතක නොකරයි. ජූනි මස 6 සෙනසුරාදා යුරෝපයේ අන්තර් පාපන්දු ක‍්‍රීඩා ශූරතාවයේ අවසාන තරඟය ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හා ඉතාලියේ ජුවෙන්ටුස් කණ්ඩායම් අතර ජර්මනියේ බර්ලින් නුවර පැවැත්විණි. මෙම තරඟය නැරඹීමට ප‍්‍රංශ අගමැති ඔහුගේ පුතුන් දෙදෙනා සමග සහභාගි විය. ඔවුන් පැරීසියේ සිට බර්ලින් දක්වා ගමන් කර ඇත්තේ ප‍්‍රංශ රජයට අයත් පැල්කොන් 7 එක්ස් වර්ගයේ රාජ්‍ය ගුවන් යානයකිනි. සාමාන්‍යයෙන් ඉහත පැල්කොන් වර්ගයේ ගුවන් යානයක පැයකට පියාසර වියදම යුරෝ 4700 (රුපියල් හත් ලක්ෂ පන්දාහක්) පමණ වේ. එතුමා පැමිණි බර්ලින් සංචාරයට පුතුන් දෙදෙනා ඇතුලත්වීමත් ඔවුන් එම රාජ්‍ය ගුවන් යානයේ ගමන් කිරීම පාදක කර ගනිමින් ප‍්‍රංශයේ බීඑෆ්එම් රූපවාහිනියේ මාධ්‍යවේදීන් කළ හෙළිකිරීමක් හේතු කොට ප‍්‍රංශ දේශපාලනය තුළ මහ ඝෝෂාවක් ආරම්භ විය.

එම සිදුවීම ප‍්‍රංශ පාර්ලිමේන්තු සභා ගර්බයේ මෙන්ම ප‍්‍රංශ ජනතාව තුළද දැඩි ප‍්‍රශ්න කිරීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් ප‍්‍රංශ අගමැතිගේ ජනප‍්‍රියතාවය 3% පහත වැටිණි. එම ක‍්‍රියාව 77%ක් ප‍්‍රංශ ජනතාව අනුමත නොකරන බව සංගණන වාර්තා වලින් පෙන්වා දුන්නේය. ඊට සමගාමීව විවිධ පක්ෂ නායකයින්, මන්ත‍්‍රීවරු, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන්ගෙන් සමන්විත විචාරකයෝ විවිධ අදහස් පල කළේය. ඒ අතරින් අගමැතිගේ ලමයින්ට මැච් බලන්න සල්ලි ගෙවන්නේ ප‍්‍රංශ ජනතාවද? යනුවෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක් වන දක්ෂිනාංශික පක්ෂයේ පැරිස් කළාප 16හී මන්ත‍්‍රී බර්නාර්ඞ් ඩෙබ්රේ මහතා පාර්ලිමේන්තු කොරිඩෝවේදි මාධ්‍යයෙන් ප‍්‍රශ්න කලේය. ඉහත වරදට අගමැති ඉල්ලා අස්විය යුතු යැයි ඔබලා යෝජනා කරන්නේදැයි ? ඇසූ ප‍්‍රශ්නයකට; අපි එහෙම විහිළු ප‍්‍රශ්න අහන්නේ නැහැ. එහෙම නම් ඔය සියලූ දෙනාම ඉල්ලා අස්විය යුතුයි. නමුත් ප‍්‍රංශ ජනතාවට විහිළු සපයන්න එපා යැයි අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මරියොන් මාර්ෂෙල් ලෙපෙන් මහත්මිය මාධ්‍යයට පැවසීය.  ඕක ඔය තරම් ලොකු ප‍්‍රශ්නයක් කර ගන්න අවශ්‍යය දෙයක් නොවේ. වරදක්වී ඇත්නම් අපි නිවැරදි කර ගැනීමට වෙහෙසෙමු. අපි කවුරුත් මනුෂ්‍යයොනේ. අණ්ඩු පක්ෂ ප‍්‍රකාශක කෘෂිකර්ම ඇමති ස්ටෙෆන් ෆෝල් මහතා පැවසීය.අර පිරිමැස්ම ගැන කථා කරන අගමැති රජයේ වාහන වලින් කෙරෙන අනවශ්‍ය ගමන් සදහා මහජන බදු මුදල් වියදම් කිරීම ව්‍යවස්ථානුකූලව ප‍්‍රබල වරදක් කර ඇති බව ඔහු පිලිගැනීම අත්‍යවශ්‍ය බව හිටපු රැකීරක්ෂා ඇමැති ෂෙර්වියෙර් බර්තන්ඞ් මන්ත‍්‍රිවරයා පැවසීය. යුරෝපා පාපන්දු සංගමයේ ඇරයුමකට ඔහු බර්ලින් ගියා. ඊළග අවුරුද්දේ යුරෝපයේ පාපන්දු ශූරතාවය පවත් වන්නේත් අපිනේ ”. බර්ලින් කථාවට ප‍්‍රංශ ජනාධිපතිගේ පිළිතුර එසේ විය.

අවසානයේ අගමැතිට එරෙහි චෝදනා නිර්මාණය වූ දේශපාලන පරිසරය තුළ දරුවන්ගේ ගමන් වාර තුනක් සදහා යුරෝ 2500ක් හෙවත් රුපියල් ලක්ෂ හතරක් පමණ ගෙවා දැමීමට තීරණය කළ බව අගමැති කාර්යාල ප‍්‍රකාශක දැන්වීය. එම මිල ගණන් පැය තුනක පැරිස් බර්ලින් ගමනක් සදහා ප‍්‍රංශ ගුවන් සේවයේ සාමාන්‍ය මිලට සමානව ඉහත එකතුව ගණනය කළ බව අගමැති කාර්යාලීය නිවේදන වල සදහන්වේ. මීට පෙර පසුගිය රජය සමයේ හිටපු අගමැති ප‍්‍රංශුවා පියොන් සිය පවුල සමග ප‍්‍රංශ ගුවන් හමුදා යානයකින් ඊජිප්තුවේ සංචාරයක් කළේය. එහිදී ඇතිවූ මහජන විරෝධය හමුවේ සම්පූර්ණ මුදල ගෙවා දැමීමට අගමැති පියෝන් මහතාට සිදුවිය. 

Conferance Falcon-7X French-PM-with-Michel-Platini le-voyage-de-manuel-valls Manuell-valls-01