ප‍්‍රබල භූමි කම්පා මාලාවකින්, උතුරු දිග ඉතාලිය ඊයේ (29) දෙදරා ගිය අතර පුද්ගලයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බිමට සමතලා වූ ගොඩනැගිලි සහ නිවාස අතරේ සිරවූවන් සෙවීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කෙරුණු අතර 50 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. භූමි කම්පාවල අපිකේන්ද්‍ර පිහිටියේ මොඬේනා පළාතේ පර්මා නගරයේ සිට කිලෝ මීටර් 60 ක් දුරිනි. ජීවිත හානි බොහොමයක් වාර්තා වන්නේ ද පර්මා නගරයෙනි. හටගත් භූ කම්පන අතරින්, ප‍්‍රබලතම භූ කම්පනය ලෙස රික්ටර් මාපකයේ සටහන් වූයේ ඒකක 5.8 ක් සටහන් කළ භූමි කම්පාවකි. ජීවිත සහ දේපොළ හානි බහුලව සිදුවූයේ එම භූමි කම්පාවෙනි. ඊයේ හට ගත්තේ ඉකුත් 20 වැනිදා මොඬේනා පළාතේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 6 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවේ පසු කම්පන යැයි ඉතාලි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉදිරියටත් තවත් පසු කම්පන ඇතිවිය හැකි යැයි ද භූ විද්‍යාඥයෝ අනතුරු ඇඟවීම් කළහ. මීට අමතරව පර්මා නගරයට නුදුරින් පිහිටා ඇති මෙඬේනා, බොලොනා සහ ෆර්රාරා යන නගරවලින් ද මරණ වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි සහන සේවා නිලධාරීහු බිය පළ කරති. ඉකුත් 20 වැනිදා මොඬේනා පළාතේ හටතත් භූමි කම්පාවෙන් හය දෙනෙකු මියගිය අතර සිය ගණනකට උන්හිටිතැන් අහිමි විය.