තවත් වසර 20 ක් පමණ ගතවූ තැන නියත වශයෙන්ම පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) කියයි.

ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නාසා ආයතනයේ විද්‍යාඥයෝ අදහස් දක්වමින් පවසා සිටියේ පිටසක්වල ජීවය සොයාගැනීමට හැකිවනු ඇත්තේ අපෙගේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් නොව වෙනත් සෞරග‍්‍රහ මණ්ඩලයකින් බවයි.

එසේ පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවුනි නම් එම සියලූ තොරතුරු ලෝකයාත් සමග බෙදාහදා ගැනීමටද කටයුතු කරන බව ඔවුහු කීහ.

හබල් දුරේක්ෂය,කෙප්ලර් දුරේක්ෂය,ස්පිට්සර් දුරේක්ෂය අභ්‍යාවකාශයේ රදවා ඇති දුරේක්ෂ වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද නාසා විද්‍යාඥයෝ අදහස් දැක්වූහ.

2017 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට නියමිත ‘‘ටෙස්‘‘ නම් ග‍්‍රහලෝක සමිීක්ෂක චන්ද්‍රිකාවත්,2018 වසරේදී අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිත අධෝරක්ත කිරණ යොදාගෙන අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු ජේම්ස් වෙබ් දුරේක්ෂයත් පිළිබදව නවතම තොරතුරුද ඔවුහු හෙළි කළහ.

ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ නිරීක්ෂණ දුරේක්ෂය මේ දක්වා නිපදවා ඇති ඉහළම තාක්ෂණයෙන් යුත් දුරේක්ෂය ලෙස සැළකෙන අතර එයින් අභ්‍යාවකාශ නිරීක්ෂණය නව මානයකට ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.