මරාගෙන මැරෙන බෝම්බකරුවකු පෙරේදා(3) පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නුවර ශියා මුස්ලිම් පල්ලියකට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් 45 දෙනකු මියගිය අතර තවත් 149 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බය පුපුරාගිය ස්ථානය ඉදිරිපිට තිබූ තට්ටු පහකින් සමන්විත නිවාස සංකීර්ණ දෙකකට දැඩි හානි සිදුවිය. එම ප‍්‍රදේශයේ පිහිටි නිවාස සහ වෙළෙඳසල් සියයක් පමණ බෝම්බ ප‍්‍රහාරයෙන් විනාශවී ඇතැයි කරච්චි පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් පටිල් රෝහල වෙත රැගෙන ගිය බවත් බෝම්බ පිපිරීම නිසා විනාශවී ගිය නිවාස සංකීර්ණයේ සිටි වැසියන් අසල පිහිටි පාසලක් වෙත යොමු කළ බවත් පාකිස්තාන බලධාරීහු පවසති.
බෝම්බ ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නොමැති අතර පාකිස්තාන බුද්ධිඅංශ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරඇත.
තලේබාන්වරු ඇතුළු සටන්කාමීන් ඉලක්ක කරගෙන සිදු කළ හමුදා මෙහෙයුම් හා ඇමෙරිකා ඩ්‍රෝනයානා ප‍්‍රහාර නිසා පසුගිය වසරේ බෝම්බ ප‍්‍රහාරවල අඩුවීමක් දක්නට ලැබිණි. එහෙත් අල්-කයිඩා සංවිධානයට හිතවත් ලෂ්කාර්-ඊ-ජාන්වි සංවිධානය ප‍්‍රමුඛ සුන්නි මුස්ලිම් පිරිස් විසින් සිවිල් වැසියන්ට එල්ල කරන ප‍්‍රහාර ඉහළ ගොස් ඇත.

බෝම්බය පුපුරාගිය මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ජනයා රැස්ව සිටි අයුරු