ගැහැනුන්ගේ නාසයට වඩා පිරිමින්ගේ නාසය විශාල වී ඇත්තේ පිරිමින්ට වැඩි ඔක්සිජින් ප්‍රමාණයක් අවශ්‍ය බැවින් යැයි අයෝවා විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත.

පරිමින්ගේ මාංසල පටක ගැහැනුන්ට වඩා වර්ධනය වීමත් ඕවා පවත්වාගෙන යාමට වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍යවීමත් එයට හේතු වී පවතී. වයස අවුරුදු 11 සිට එනම් ද්විතීක ලිංගික ලක්ෂණ අතිවන විට මේ වෙනස ඇතිවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ වෙනස ඇතිවූයේ මිනිසාගේ පරිනාමයත් සමගිනි. අතීත මානවයකු වූ නියැන්ඩතාර්ල් මානවයාට අද සිටින නූතන මානවයාට වඩා විශාල නාසයක් තිබී ඇත. නූතන මිනසාට නියැන්ඩතාර්ල් මානවයාට තරම් ඔක්සිජන් ප්‍රමාණයක් සිය සිරුරට අවශ්‍ය නොවූ බැවින් නාසය ක්‍රමයෙන් කුඩා වූ බව අයෝවා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය නාතන් හොල්ටන් මහතා පවසයි.

ඇමෙරිකාවේ ප්‍රකාශයට පත්කරන භෞතික මානව විද්‍යාව නමැති සඟරාවේ ඔහුගේ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කැර තිබේ. එහි දැක්වෙන්නේ මේ අධ්‍යයනය සිදුකැර ඇත්තේ යුරෝපීයයන් යොදා ගනිමින් බවයි. අනෙක් ජාතීන්ගේ සහ සංස්කෘතීන්‍හි නාසයේ විශාලත්වය වෙනස්විය හැකි නමුත් පිරිමින්ගේ නාසය ගැහැනුන්ගේ නාසයට වඩා කවර ජාතියක වුව ද විශාල බව මහාචාර්යවරයා පවසයි.