න්‍යෂ්ටික ආයුධ අත්හැරිය හොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට දිගටම බලයේ රැඳි සිටිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 


දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීමත් න්‍යෂ්ටික අවි අත්හරින්නැයි නිරන්තරයෙන් අවධාරණය කිරීමත් නිසා උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පසුගිය දින කිහිපයේදී මතභේදාත්මක තත්ත්වයක් උද්ගත විය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීම සාමය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග සියල්ල අපතේ හැරීමක් යැයි සඳහන් කළ උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි අත්හරින්නැයි තමන්ට අඛණ්ඩව සහ ඒකාපාර්ශවිකව බලපෑම් කළහොත් ජූනි 12 වැනිදා දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිතව තිබෙන හමුව අවලංගු කරන බව ද අවධාරණය කළේය.
 
මේ තත්ත්වය මත මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉහත කරුණු කීවේය. 
 
ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන හමුව සාර්ථක වුවහොත් “කිම්ට ලැබෙන ආරක්ෂාව ඉතා ශක්තිමත් වේවි” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කීය.
 
“ඔහු ඔහුගේ රටේ ඉඳිවී, ඔහු ඔහුගේ රට පාලනය කරාවි. ඒ වගේම ඔහුගේ රට පොහොසත් රටක් වේවි” යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා කීවේය. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තරමක අනතුරු ඇඟවීමක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. සාකච්ඡා අසාර්ථක වුවහොත් උතුරු කොරියා නායකයාට ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිට අත් වූ ඉරණම අත්වනු ඇති බවට ද ඇමෙරිකා නායකයා ව්‍යංගයෙන් පැවැසීය. 
 
ඉදිරි මාස හයක කාලයේදී න්‍යෂ්ටික අවි ශීර්ෂ කිහිපයක්, අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල ඇතුළු තවත් ආයුධ අයිතම කිහිපයක් ඇමෙරිකාව වෙත එවන්නැයි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ බ්‍රහස්පතින්දා (17) උතුරු කොරියාවෙන් ඉල්ලීය. 
 
උතුරු කොරියාව එසේ කළහොත් ත්‍රස්තවාදීන්ට සහාය දක්වන රාජ්‍යය ලැයිස්තුවෙන් උතුරු කොරියාව ඉවත් කිරීමට කටයුතු කරන බව මයික් පොම්පෙඕ කීය. 
 
උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින්පින්ග්ට වුවමනා පරිදි කටයුතු කරන්නේ යැයි ද ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය. 
 
“චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාට බලපෑම් කරනවා වෙන්න පුළුවන්. එය ඉතා පැහැදිලියි. එය වෙන්න පුළුවන්” 
යැයි චීන ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර මෑතකදී පැවැති හමුව ගැනද සඳහන් කරමින් හෙතෙම කීය.
 
ලිබියාවේ හිටපු නායක ගඩාෆි 2003 වසරේදී තම න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමටත් රසායනික අවි ඉවත් කිරීමටත් එකඟ විය. එහෙත් එකඟ වූ පරිදි එම ක්‍රියාවලිය සිදු නොවූ අතර ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවල සහාය ඇති ව ආණ්ඩු විරෝධී කැරැලිකරුවෝ එවකට ආණ්ඩුව සහ ගඩාෆි බලයෙන් පහ කළහ. ගඩාෆි කැරැලිකරුවන් අතින් ඝාතනයට ද ලක්විය. 
 
“ලිබියානු ආකෘතිය ගැන අපි හිතන්නේ නැහැ. ලිබියාවේදී සිද්ධ වුණේ සම්පූර්ණ විනාශයක්. අපි ගඩාෆිට පහර දුන්නා” යැයි ට්‍රම්ප් කීය.
 
“අද අපි සාකච්ඡා මට්ටමේ ඉන්නවා. සාකච්ඡා අසාර්ථක වුණොත් අපට එකඟතාවකට එන්න බැරි වුණොත් එවැන්නක් වෙන්න පුළුවන්” ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාවට අනතුරු අඟවමින් කීය.
 
“එහෙත් අපිට සාකච්ඡා කරලා එකඟතාවකට එන්න පුළුවන් වුණොත් උතුරු කොරියාවේ නායක කිම් ගොඩාක් සතුටු වේවි. ඔහු බොහෝ සතුටු වේවි” යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කීය. 
 
ඒ.එෆ්.පී
 
055