ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැගී, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී, ඇද වැටී තුවාල ලැබූ ඉම්රාන්

ඉම්රාන් ඛාන් රෝහලේ සිට මාධ්‍යවේදීන් අමතමින්

ඛාන්ගේ තත්ත්වය බරපතළ නොවන නමුත් සිදුවුණු තුවාල හේතුවෙන් දින 15 ක් පමණ ඔහුට රෝහලේ සිටීමට සිදුවේවි යැයි වෛද්‍යවරු පවසති.

ඉම්රාන් ඛාන් තුවාල ලැබූවේ පෙරේදා (7)  සවසය. ලාහෝර් නුවර පැවැති ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ රැලියට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

වේදිකාවේ සිට එම පිරිස ඇමැතීම අපහසු වූ හෙයින් ෆොක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන්, අට්ටාලයක නැගී වේදිකාවේ සිට මීටර් 5 ක් පමණ ඉහළට එසවීමට ඔහුට සිදුවිය.

අට්ටාලය කඩා වැටුණේ බර වැඩි වීමෙනි. එයට ඉම්රාන් ඛාන් පමණක් නොව ඔහුගේ ආරක්ෂක අංශ නිලධාරීහු ද ගොඩ වී සිටියහ.
තුවාල ලැබූ ඛාන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. ඔහුගේ හිස් කබල ස්ථාන දෙකකින් පැළී ගොස් තිබුණු බවත් කොන්දට තුවාල සිදුවූ බවත් වෛද්‍යවරු පැවැසූහ.

ප‍්‍රතිකාර ලැබීමෙන් පැය කීපයකට පසු, රෝහලේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඛාන් කියා සිටියේ වෛද්‍යවරු තමන්ට විවේක ගන්න යැයි කීවත්, තමන්ට සුවයක් දැණුනු විගස තමා යළි ජනතාව අතරට පැමිණෙන බවය.

තමා වැට්ටවීමට හැකිවන්නේ අට්ටාලයකට හෝ ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයකට නොව පාකිස්තාන ජනතාවට පමණක් බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.