උතුරු කොරියාවේ මතභේදයට තුඩු දී ඇති රොකට්ටු වැඩසටහන හේතුවෙන් ජපානය සිය මිසයිල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මිසයිල ආරක්ෂාව තර කිරීමේ මුල් පියවර ලෙස ප‍්‍රති ප‍්‍රහාර මිසයිල ටෝකියෝ නුවර ආශි‍්‍රතව ස්ථානගත කිරීමට ජපාන හමුදාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවසන්නේ උතුරු කොරියාව ගුවන් ගත කිරීමට සැරසෙන්නේ මිසයිලයක් බවය. නමුත් උතුරු කොරියාව ප‍්‍රකාශ කළේ එළැඹෙන අපේ‍්‍රල් 12 සහ 16 අතර කිම් ඉල් සුන්ගේ සියවස් සැමරුම නිමිත්තෙන් පර්යේෂණ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ටෝකියෝ නගරයට ආසන්න ස්ථාන තුනක ප‍්‍රති ප‍්‍රහාර මිසයිල ස්ථාන ගත කර ඇති අතර නැගෙනහිර චීන මුහුදේ ප‍්‍රති ප‍්‍රහාර මිසයිල සහිත ප‍්‍රහාරක නෞකා ස්ථාන ගත කර ඇතැයි ද ජපාන ආරක්ෂක අංශ පවසයි. යම් කිසි අයුරකින් උතුරු කොරියානු රොකට්ටුව ජපානයට තර්ජනයක් වන බව දැනුනහොත් එයට පහර දී බිම හෙළීමට ජපාන අගමැති යොෂිහිකෝ නොඩා එරට හමුදාවට අණ දී ඇතැයි ජපාන මාධ්‍ය පවසයි.