මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ රත්මලේ පුඤ්ඤරතන හිමියන් පිළිගැනීමේ උත්සවය පෙබරවාරි 28 වැනි දා සවස 2 ට හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයීය මෙත්සිරිපාය ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමිපාණන් සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක සොලොස්මස් ස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට දෙස් විදෙස් මහා සඟ රුවන සහ මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.

රත්මලේ පුඤ්ඤරතන නාහිමියන් විසින් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ කරුණා සමාධි සංවිධානයේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය ද මෙදින සිදු කෙරේ. ඒ අනුව දුෂ්කර පළාත් වලින් තෝරාගත් දරුවන් 350 කට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ. ඊට අමතරව දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසල් සහ අනෙකුත් පාසල් උදෙසා අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම ආදී සමාජ සත්කාර රැසක් මෙදින දියත් කෙරේ.

රත්මලේ පුඤ්ඤරතන හිමියන් විදේශ ධර්ම දුතයකු ලෙස දශක කිහිපයකම අත්දැකීම් ඇති හිමි නමකි. විශේෂයෙන් ජර්මනිය කේන්ද්‍ර කොටගෙන යුරෝපයේ අනෙකුත් රට වලද ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන උන්වහන්සේ "ජර්මනියේ භාවනා හාමුදුරුවෝ" යනුවෙන්ද ප්‍රචලිතය. ජර්මනියේ මයින්ස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක්ද හොබවන උන්වහන්සේ විදේශ ශිෂ්‍යයන්ට ආදර්ශවත් අධ්‍යාත්මික ගුරුවරයෙක් ද වෙති. 

Ven webRathmale_20161130080[1]