චිලී දේශයේ දකුණු දෙස කැල්බ්‍යුකෝ ගිනිකන්ද පිපිරීමෙන් ඒ අවට ප්‍රදේශය අළුවලින් වැසී යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්ද දෙවැනි වරටත් පුපුරා යාමත් සමග පවුල් 4,000ක් පමණ සිය නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යනු ලැබ සිටිති. පෝටෝවරාස් හා පෝටෝමොනට් නගර ද මේ වනවිට අළුවලින් ආවරණය වෙමින් තිබේ. කිලෝ මීටර ගණනක් උසට අහසට විදින අළු සුළඟට හසුවී ගසාගෙන ගොස් සෑම ප්‍රදේශයක ම පතිත වෙයි. පහතින් පිහිටි ගම් හා නගර ඝන අලු ස්ථරයකින් ආවරණය වී ඇත.

මේ ගිනිකන්ද පුපුරායාම ගැන කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොවුණේ පර්යේෂකයන්ට ඒ ගැන කිසිදු ලක්ෂණයක් දක්නට නොවූ බැවිනි. භූ විද්‍යාඥයන් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගිනිකඳු විශ්ලේෂකයන් පවසන්නේ ගිනි කන්ද පිපිරීම සම්බන්ධ කිසිදු නිරීක්ෂණයක් කලින් දක්නට නොලැබීම පුදුම සහගත බවයි.

මහාචාර්ය ඩේවිඩ් පයිල් පවසන්නේ මේ ගිනිකන්ද පිපිරීමෙන් අළු ඝන මීටර බිලියන ගණනක් නිකුත්විය හැකි බවයි. පසුගිය සියවසක කාලයේ දී මේ ගිනි කන්ද තුන්වරක් පුපුරා ගොස් ඇතැයි ද හෙතෙම පවසයි.

ගිනිකන්ද පිපිරීමෙන් විහිදෙන ගින්දර, ලාවා, අළු සහ දුම් වලාව කිලෝ මිටර 15ක් පමණ උසට විහිදී යාමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශය හරහා යන සියළු ගුවන් ගමන් අවලංගු කැර ඇත. චිලී රජය පවසන්නේ පොදු ප්‍රවාහන සේවා ද අතහැර දැමීමට සිදුව ඇති බවයි.

චිලී ජනාධිපතිවරයා මේ හේතුවෙන් රටේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළේය.

අළු වලාවන් පිටවන ආකාරය අනුව චිලී රටේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් විය හැකි බවත් ඒ හේතුවෙන් ආරක්ෂිත මුහුණු වැස්ම භාවිතා කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් දැනුම්වත් කැර ඇත.

Chilee 001111 Chilee 002222 Chilee 003333 Chilee 004444