චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක යෙදෙන බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙක් අද (7) පැවැසීය.

චීන ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත නොවනු ඇතැයි එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඉහත කරුණ කීවේය.

ෂී ජින්පින්ගේ ඉන්දීය සංචාරය චෙන්නායි නුවරින් ඔක්තෝබර් 11 වැනිදා ආරම්භ වේ. මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා ද මුණ ගැසෙන අතර එය ඔවුන් දෙදෙනා අතර සිදුවන දෙවැනි නොනිල හමුවයි.

ඉන්දියාවේ අසල්වැසියා මෙන්ම ප්‍රතිවාදියා ද පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා මේ වනවිට චීනයේ සංචාරයක නිරත වී සිටී. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම සංචාරයේදී ජනාධිපති ෂී සහ අගමැති ලී කෙචියන්ග් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය මිත්‍ර හමුවක් පමණක් බවත් එයින් කිසිවකුට අසාධාරණයක් සිදු නොවන බවත් චීනය පාකිස්තානයට පවසා ඇතැයි ද කියැවේ.

කාශ්මීරය මුල් කරගනිමින් ඉන්දියාව සහ පාකිස්තාන අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයේදී මැදිහත්කරුවකු වීමට ද චීනය කැමැත්ත පළ කළේය. කාශ්මීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මක කරන්නැයි චීනය එක් අවස්ථාවකදී ප්‍රකාශ කළ අතර එය ඉන්දියාවේ නොසතුටට හේතු විය. කාශ්මීර අර්බුදය ඉන්දියාවේ අභ්‍යන්තර කරුණක් යැයි ඊට පිළිතුරු දෙමින් ඉන්දියාව එම අවස්ථාවේදී අවධාරණය කළේය.  

ද හින්දු  

(055)