පසුගිය සතියේ ජෙයිපූර් නගරයේ පැවැති පක්ෂ සම්මේලනයේදී ඉන්දියානු කොංග‍්‍රස් පක්ෂයේ උප නායක තනතුරට නේරු-ගාන්ධි පරපුරේ තවත් සාමාජිකයකු වූ රාහුල් ගාන්ධි නිතරගයෙන් පත්වූ බව ඔහුගේ මව පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ප‍්‍රකාශ කළාය. ඒ අනුව පක්ෂයේ යුවරජු ලෙසින් නම් කළද රාහුල්

ඉන්දිරා

ගාන්ධිට පක්ෂ නායකත්වයේ වගකීම දැරීමට හා පක්ෂය මෙහෙයවීමට අවශ්‍ය සියලූ බලතල සිය මවගෙන් ලබා ගැනීමට අපහසු නොවනු ඇත. ඇත්තෙන්ම මීට වසර අටකට පෙර ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසි රජිව් ගාන්ධිගේ පුත් රාහුල්ට මෙතෙක් පක්ෂ නායකත්වය හිමි නොවූයේ වෙනත් බාධක නිසා නොව ඔහු එම තනතුර භාර ගැනීමට අදිමදි කළ නිසාය. දේශපාලන වශයෙන් මුහුකුරා නොගිය ඔහු එවැනි භාරදුර කාර්යයකට පිවිසීමට පෙර මතවාදීව සන්නද්ධවීමත් දේශපාලන පොර පිටියේ ගතිකයන් තේරුම් ගැනීමත් සඳහා කල් බැලීමට අදහස් කළා විය හැකිය. කෙසේ වුවත් රාහුල් ගාන්ධි එම තනතුර භාර ගැනීම කොංග‍්‍රස් පක්ෂයේ සියලූ මට්ටම්වල නායකයින්ගේ හා ආධාරකරුවන්ගේ ඉමහත් ප‍්‍රීති ප‍්‍රමෝදයට හේතුවූ බව මාධ්‍ය වාර්තාවලින් දැක්විණි. තනතුර භාර ගැනීමෙන් පසු කළ පිළිගැනීමේ කතාවට සභාව තුළත් ජන මාධ්‍යයෙනුත් ලැබුණු ප‍්‍රතිචාරය අනුව කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වය ගාන්ධි පරපුරට ස්වභාවිකවම හිමි වන්නක් බව තහවුරු විය.


විනාඩි 45 කට ආසන්න කාලයක් පක්ෂයේ පුරෝගාමී නායකයන් අමතා රාහුල් ගාන්ධි කළ කතාවේ මූලික අරමුණ වූයේ පවතින දේශපාලන සංස්කෘතියෙන් බැහැර කර ඇති තරුණ ජන කොටස් ප‍්‍රධාන දේශපාලන ධාරාවට ඇද ගැනීමත් ඔවුන්ට නිසි පිළිගැනීමක් ලබාදී අවධාරණය කිරීමත්ය. දෙසැම්බර් අග සතියේ නවදිල්ලියේ බස් රථයක තරුණියක් දුෂණයට ලක් කොට මරාන්තික තුවාල සිදු කිරීමෙන් කෝපයට පත් තරුණ තරුණියන් දැඩි ශීතලය නොතකා වීදි බට ආකාරය ඔහු තුළ තවමත් සටහන්ව තිබෙන්නට ඇත. එම විරෝධය පැවැති ආකාරයෙන් හා සෙසු ජනමත විචාරණවලින් පැහැදිලි වන්නේ පවතින දේශපාලනය හා නායකත්වය ගැන තරුණ තරුණියන් තුළ කිසිදු විශ්වාසයක් නැති බවය. ඊට හේතු වන්නේ දේශපාලන බල ව්‍යුහයේ ඉහළ තැන්වල ඇටුවන් බහින ලද දුෂිත නායකත්වයක් තිබීමට අමතරව ක‍්‍රමයේ පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී

රජීව්

ස්වභාවයයි. අල්ලස් හා දුෂණ එහි එක ප‍්‍රකාශනයක් පමණි. නීතිය ක‍්‍රියාත්මක වන්නේද පාලකයන්ට අවශ්‍ය ආකාරයට හා අවශ්‍ය ප‍්‍රමාණයටය. ස්ත‍්‍රී දුෂණ, මිනී මැරුම් හා වෙනත් සමාජ අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයට මෙම ක‍්‍රමය යටතේ මහජන ඡුන්දයෙන් තේරී පත්වීමටත් ඉහළ වරප‍්‍රසාද ලබා ගැනීමටත් බාධාවක් නැත. රාහුල් ගාන්ධි මෙම ක‍්‍රමය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. බලය ලබා ගැනීම දේශපාලකයින්ගේ එකම ආශාව වුවත් බලය

යොදා ගත යුත්තේ අනෙක් අය එනම් සාමාන්‍ය ජනතාව බලගැන්වීමටය. එමෙන්ම ඔහු බලය වස කෝප්පයකට සමාන කළේය. මෙම තනතුර භාර ගැනීමට පෙර දින රාත‍්‍රියේ තම කාමරයට පැමිණි මව සෝනියා ගාන්ධි හඬා වැළපුණේ ඒ නිසා යැයි ඔහු කීවේය. එසේ වූවත් තමා මෙම තනතුර භාර ගත්තේ ඉන්දියාවේ ජනතාව තම ජීවිතය වන නිසා යැයිද ඔහු අවධාරණය කළේය.


උසස් පරමාදර්ශී ප‍්‍රතිපත්ති ගණනාවක් කොංග‍්‍රස් පක්ෂයේ ක‍්‍රියාකාරිත්වයට ඇතුළත් කර ගැනීමටද ඔහු සපථ කළේ ඔල්වරසන් මධ්‍යයේය. තනතුරට වඩා දැනුමට මුල්තැන දෙන පක්ෂයක් හා සමාජයක් ගොඩ නැගීම ඔහුගේ බලාපොරොත්තුවයි. වඩාත් වැදගත් වන්නේ ඔහු මේ උතුම් පරමාර්ථ කොංග‍්‍රස් පක්ෂයේ මාර්ගෝපදේශ බවට පත් කරන්නේ කෙසේද යන්නයි. සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට 1985 දී කොංග‍්‍රස් පක්ෂයේ ශත සංවත්සර උත්සවය අමතා කථා කළ රාහුල් ගේ පියා රජිව් ගාන්ධි ද ඉන්දියාවට නිදහස දිනා දුන් කොංග‍්‍රස් පක්ෂය තුළින් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු බව අවධාරණය කළේය. එහෙත් වැඩි කලක් ගතවීමට පෙර ඔහුට විරුද්ධව බෝෂෝර් සිද්ධිය නමින් දුෂණ චෝදනා එල්ල වූ අතර ඒ ගැන මෙතෙක් නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමක් සිදු වූයේ නැත. ඔහු ඝාතනයට ලක්වීමෙන් පසු පක්ෂයේ නායකත්වයට හා අගමැති තනතුරට පත් නරසිංම්හ රාවෝ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිරගත කොට සිටියේය. කෙසේ වුවත් රාහුල් ගාන්ධිගේ

රාහුල්

පැතුම වන්නේ වඩාත් කාර්යක්ෂම විනිවිද භාවයෙන් යුත් වගකීම් සහිත පාලන ක‍්‍රමයක් ඇති කිරීමය. තරුණ ජන කොටස්වල සහාය දිනා ගැනීමට හා ඔවුන් දේශපාලනයේ හවුල් කරුවන් කර ගැනීමට එය අත්‍යාවශ්‍යය.


සමුළුව ඇමතූ අගමැති මන්මෝහන් සිංග් ලෝක් සභාවේ ඉදිරි සැසියේදී දුෂණ වැලැක්වීම හා දුෂිතයින්ට දඬුවම් ලබා දීම සඳහා ඉදිරිපත්ව ඇති ලෝක් පාල් පනත සම්මත කිරීමට පොරොන්දු වූයේය. රාහුල් ගාන්ධි උතුම් පරමාර්ථ ලෙස දැක්වූ යහ පාලනයක් ඇති කිරීමට නම්

ප‍්‍රබල ලෝක් පාල් පනතක් අවශ්‍ය බවට සැකයක් නැත. එහෙත් එම පනත කෙටුම් පත් කිරීමේදී සිවිල් සමාජ සංවිධාන සමග කටයුතු කළ ආකාරය සිහිපත් කරන්නේ නම් ප‍්‍රබල ලෝක් පාල් පනතක් සම්මත කර ගැනීමට මන්මෝහන් සිංග් රජයට හා ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට කැපවීමක් හා සැබෑ අවශ්‍යතාවක් පවතින්නේද යන්න අපැහැදැලිය. එමෙන්ම නීතිය එකසේ ක‍්‍රියාත්මක කිරීමත් නීතියට ගරු කිරීමත් යහ පාලනයේ මූලික ලක්ෂණ ලෙස රාහුල් ගාන්ධි සිය කතාවේදී අවධාරණය කළද කොංග‍්‍රස් පක්ෂයේ පාලනය යටතේ පවතින යථාර්ථය ඊට හාත් පසින්ම වෙනස්ය. රාහුල්ගේ සොහොයුරියගේ සැමියා වන රොබට් වර්දා

ගේ ගනු දෙනු ගැන දුෂණ විරෝධීන් මතු කළ ප‍්‍රශ්න මෙතෙක් නිසි විමර්ශනයකට ලක්වූයේ නැත. සමහර විචාරකයින් පවසන ආකාරයට හදිසියේ ප‍්‍රකෝටි පතියෙකු බවට පත් රොබට් වර්දාගේ ව්‍යාපාරික ගනු දෙනු වලට රටේ නීතිය අදාළ වන බවත් දක්නට නැත. ඔහු සිය ව්‍යාපාරික කටයුතු සඳහා දේශපාලන බලමහිමය යොදා ගෙන ඇතැයි කෙජ්රිමාල් ඇතුළු දුෂණ විරෝධීහු චෝදනා නගති. එවැනි පසුබිමක් තුළ රාහුල් ගාන්ධිට සිය පැතුම් සපුරා ගැනීමට කොංග‍්‍රස් පක්ෂය තුළම දුෂ්කර වූත් දීර්ඝ වූත් අරගලයක් කිරීමට සිදු වනු ඇත. එය පහසු කටයුත්තක් නොවේ.

නේරු


එහෙත් පැහැදිලි සත්‍යය වන්නේ 2014 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක් සභා ඡුන්ද විමසීමට පෙර කොංග‍්‍රස් පක්ෂයේ නේරු ගාන්ධි උරුමය තහවුරු කිරීම හා අලූත් මුහුණුවරක් ආරෝපණය කිරීමය. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා වන්නේ රාහුල් ගාන්ධි වුවත් ඔහුට එම කාර්ය භාරයට සාර්ථක ව මුහුණ දීමට හැකි වන්නේද යන්න මෙතෙක් උරගා බලා නැත. නේරු ගාන්ධි පරපුරේ තවත් පුරපුරක් වීම නිසාම ඔහුට ජනතාව විශේෂයෙන් තරුණ පරපුර ආකර්ෂණීය කර ගත හැකිද යන්න සැකයකි. නේරු ගාන්ධි පරපුරේ දේශපාලන උරුමය වූ උත්තර් ප‍්‍රදේශ් හි පැවැති මැතිවරණ සටන් සැලකිල්ලට ගන්නේ නම් ඔහුගේ නායකත්වය එහි පිළිගැනීමට ලක්ව ඇති බවක් නොපෙනේ. මලයාම් සිංග් ගේ නායකත්වයෙන් යුත් සමාජවාදි පක්ෂය 2012 පැවැති ප‍්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත් කර ගත් අතර රාහුල් ගාන්ධි මෙහෙයවූ කොංග‍්‍රසයට හිමි වූයේ තුන්වැනි ස්ථානයයි. ඊට අමතරව පසුගිය කාල පරිච්ඡේදයේ

පැවැත්වූ අනෙකුත් ප‍්‍රාන්ත සභා ඡන්ද විමසීම්වලින්ද කොංග‍්‍රස් පක්ෂයට ප‍්‍රබල ජන සහයෝගයක් පවතින බවක් දැකිය නොහැකිය. මීට මාස කීපයකට පෙර ගුජරාටයේ ප‍්‍රාන්ත රාජ්‍ය ඡන්ද විමසීමේදී භාරතීය ජනතා පක්ෂය පිටපිටම තෙවැනි වරටත් පාලන බලය හිමි කර ගත්තේ කොංග‍්‍රස් පක්ෂයේ දේශපාලන බංකොලොත් භාවය ප‍්‍රදර්ශණය කරමිනි.


ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය හා අපනයන පහත වැටීම දිදුලන ආර්ථික ගැටලූ සහගත තත්ත්වයකට පත් කරවයි. ආර්ථිකයේ ගාමක බලවේගය වූ දැවැන්ත සමාගම් තම වර්ධන ඉලක්ක වෙනස් කරමින් සිටින අතර ලාභ මට්ටම පවත්වා ගැනීමට සේවකයින් ඉවත් කිරීම හා පහසුකම් කපා හැරීම වැනි ප‍්‍රතිපත්ති වලට යොමු වෙමින් සිටී. ආර්ථික සමෘද්ධියේ පල ප‍්‍රයෝජන අහිමි වූ ජන කොටස් වලට ලබා දෙන සහනාධාර දුෂිත පාලන ක‍්‍රමය යටතේ ඔවුන්ට නිසි ආකාරයට නොලැබෙන බවට නිතර චෝදනා නැගේ. රාහුල් ගාන්ධි සිය කතාවේදී සඳහන් කළ ආකාරයට සමහර ක්‍ෂේත‍්‍ර වල අඩු ආදායම්ලාභීන්ට හිමි සහනාධාර වලින් සියයට 90 ක් ම වෙනත් දුෂිතයින් අතට පත්වේ. මේ නිසා සහනාධාර සෘජුවම මුදල් වශයෙන් බැංකු ක‍්‍රමය

සෝනියා

හරහා ලබා දීමට පියවර ගෙන ඇති නමුත් එහි කාර්යක්ෂමතාවය මෙතෙක් විමර්ශනය කර නොමැත.

 

මෙවැනි පසුබිමක් යටතේ තවත් වසර එක හමාරකින් එළැඹෙන ලෝක් සභා මැතිවරණයට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග‍්‍රස් පක්ෂයට සාර්ථකව මුහුණ දීමට නම් උතුම් පරමාර්ථ ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාණවත් නොවේ. 1985 සිය පියා රජිව් ගාන්ධි අපේක්ෂා කළ පරමාදර්ශී බව සාක්ෂාත් කර ගැනීමට නොහැකිවූ සාධක කොංග‍්‍රස් පක්ෂය තුළත් පාලන ව්‍යුහයේත් තවමත් ඒ ලෙසම පවතී. එදා මෙදා තුර ඉන්දියානු ආර්ථිකයේ දැවැන්ත සංවර්ධනයක් වූ ආකාරයටම වංචා හා දුෂණ සමාජයේ සෑම ස්ථරයකම කැපී පෙනෙන ලක්ෂණයකි. නිදසුනක් වශයෙන් දෙසැම්බර් 16 වැනිදා දිල්ලි නගර මධ්‍යයේ සිදුවූ ස්ත‍්‍රී දුෂණයට ජනමාධ්‍ය තුළින් ඉමහත් ප‍්‍රචාරයක් ලැබුණද එවැනි සිද්ධීන් වැළැක්වීමට එය කිසිම බලපෑමක් ඇති කළේ නැත. ඉන් පසුව දිනපතාම පාහේ එවැනි සිද්ධීන් රටේ විවිධ තැන්වලින් වාර්තා විය. එය ඉන්දියානු ජන සමාජයේ සංවේදී බව පිරිහීයෑමක් හෝ සමාජ සංස්ථා බිඳ වැටීමක් විය හැකිය. ගුජරාටයේ මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි ගේ අනු දැනුම යටතේ සිදුවූ මුස්ලිම් ජන සංහාරය විවේචනයට ලක් වුවද එය ඔහු නැවත නැවතත් බලයට පත් වීම වැළැක්වීමට හේතු වූයේ නැත. එම නිසා 2014 දී පැවැත්වෙන ලෝක් සභා ඡන්ද විමසීම ජය ගැනීමට රාහුල් ගාන්ධිට උතුම් අපේක්ෂාවන්ට අමතරව දේශපාලන උපා මාර්ග හැදෑරීමටද සිදු වනු ඇත.

 

සටහන - මහින්ද හත්තක

මන්මෝහන්