හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි, ඔහුගේ උපන් ගමවන සර්ට් නුවරදී ලිබියාවේ අන්තර්වාර මණ්ඩලයේ සටන්කරුවන් විසින් ඊයේ මරා දමනු ලැබීය. මරණයට පත්වන විට ඔහු 69 වියේ පසුවිය. ගඩාෆි පලා යෑමට උත්සාහ දරද්දී හිසට වෙඩි තබා මරාදමන ලදැයි  අන්තර්වාර පාලන මණ්ඩලයේ නිලධාරියකු වන අබ්දෙල් මජීඞ් රොයිටර් ප‍්‍රවෘත්ති සේවයට පැවසීය. අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ බරපතළ තුවාලවලින් ගඩාෆි මියගිය බව අන්තර්වාර පාලන මණ්ඩලයේ හමුදා ප‍්‍රධානී අබ්දුල් හකීම් බෙල්හාජ්-අල්ජසීරා රූපවාහිනියට ඊයේ සවස ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය. ඔහුගේ සිරුර රහසිගත ස්ථානයකට රැගෙන යන බවද බෙල්හාජ් කීය.”ගඩාෆිගේ සිරුර අපේ හමුදා ඒකකයේ මෝටර් රියක තිබෙනවා. ආරක්ෂක හේතු මත එය රහසිගත ස්ථානයකට රැගෙන යනවා’’ යැයිද ඔහු කියා සිටියේය. ගඩාෆිගේ ආරක්‍ෂක ඇමැති අබුබකර් යුනිස් ද සර්ට් නුවර අවසන් සටනේ දී මියගිය බවත් ඔහුගේ සිරුර හඳුනාගත් බවත් ප‍්‍රංශ පුවත් සේවය කියයි. ගඩාෆිගේ මරණය පිළිබඳ පුවත අන්තර්වාර පාලන මණ්ඩලයේ ප‍්‍රවෘත්ති අමාත්‍යවරයා විසින්ද ඊයේ සවස  තහවුරු කරන ලදී. කෙසේ වෙතත් කලින් ලැබුණු ප‍්‍රවෘත්තිවලින් පැවසුණේ ගඩාෆි අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔහු බරපතල තුවාළ ලබා සිටින බවත්ය. ‘‘ඔහු අල්ලා ගත්තා. කකුල් දෙකම තුවාලයි. ගිලන් රියකින් රෝහලට ගෙනගියා”යැයි අන්තර් පාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රොයිටර් ප‍්‍රවෘත්ති සේවයට පවසා තිබිණි. සටන් බිමට ගිය බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ ගේබි‍්‍රයල් ගේට් හවුස් කියනුයේ ගඩාෆි අල්ලා ගත් සෙබළා සමග ඔහු කතා කළ බවයි. ‘‘ගඩාෆි වළක සැඟවී සිටියා’’ යැයි ඔහු කීවේය. ගඩාෆිගේ අවසාන බලකොටුව වශයෙන් ඉතිරි වී තිබූ සර්ට් නුවරද අන්තර්වාර පාලන මණ්ඩලයේ සටන්කරුවන් විසින් ඊයේ අල්ලා ගන්නා ලදී. ‘‘සර්ට් නුවර මුදා ගත්තා. ගඩාෆිගේ හමුදාවත් ඉවරයි” යනුවෙන් සර්ට් නුවර නැගෙනහිර ආඥාපති කර්නල් යුනුස් අල් අබ්දලි පැවසීය. ‘‘ගඩාෆිගේ හමුදා දැන් පැන යනවා. අපි ඔවුන් පසු පස පන්නනවා” යැයිද ඔහු කීය. ගඩාෆි අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමග සටන්කරුවෝ වීදි බැස රතු කළු හා කොළ ලිබියා කොඩිය ඔසොවමින් අහසට වෙඩි තබමින් ජය පැන් බීහ. සටන්කරුවන් ගඩාෆි සොයා ගන්නා විට ඔහු කාකි නිල ඇඳුමක් ඇඳ තලප්පාවක් පැළඳ සිටි බව පැවසේ. ‘‘ගඩාෆිට හොඳටම තුවාලයි. තාම හුස්ම ගන්නවා’’ යැයි එම සිද්ධිය සියැසින් දුටුවෙක් ඒ.එස්.පී. ප‍්‍රංශ පුවත් සේවයට කියා ඇත. ගඩාෆි අල්ලා ගැනීමට ගිය සෙබළුකු බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි සේවයට පැවසුවේ කැරැලි හමුදා ඔහු සැඟවී සිටි වළක් දෙසට ළඟාවන විට ”වෙඩි තියන්න එපා” යනුවෙන් ඔහු කෑ ගැසූ බවයි. ඛනිජ තෙල්වලින් පොහොසත් ලිබියාව ගඩාෆිගේ පාලනයෙන් ගිලිහී ගියේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. 1969දී ලිබියාවේ බලයට පත්වූ ගඩාෆි 2011 වනතෙක් එරට පාලකයා ලෙස 41 වසරක් කටයුතු කළේය. 2011 පෙබරවාරි 17 වැනිදා ලිබියානු පාලනයට එරෙහිව හටගත් දේශපාලන විරෝධතා සමග ගඩාෆි හමුදා සහ විරෝධතාකරුවන් අතර නිරතුරු ගැටුම් ඇතිවිය. පෙබරවාරි මස අවසන් භාගයේදී රටේ  කැරලි උග‍්‍ර අතට හැරුණු අතර නැගෙනහිර ලිබියාවේ බලය ගඩාෆි පාලනයෙන් ගිලිහීම ඇරඹුණි. අනතුරුව ලිබියාවේ ප‍්‍රධාන නගර කැරලිකරුවන් විසින් අල්ලාගත් අතර ටි‍්‍රපොලි අල්ලා ගැනීම කැරලිකරුවන්ගේ සංග‍්‍රාම ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. අනතුරුව ඔවුන්ගේ අභිප‍්‍රාය වූයේ ගඩාෆි සැඟවී සිටි සර්ට් නගරය අල්ලා ගැනීමයි. සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගඩාෆි අත්අඩංගුවටගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය මගින් පසුගිය ජූනි 27 වැනිදා වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි. තුවාල ලබා සිටින මුවම්මර් ගඩාෆි දැක්වෙන මෙම ඡායාරූපය වීඩියෝ පටයකින් ලබාගත් එකකැයි රොයිටර් ප‍්‍රවෘත්ති සේවය කියයි. ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා හමුවී.. ගඩාෆි උපන් ගම වන ‘සර්ට්’ හි නිවෙස කැරලි කරුවන් අතින් විනාශ වී... ගඩාෆි උපන් ගම වන ‘සර්ට්’ හි නිවෙස කැරලි කරුවන් අතින් විනාශ වී... ගඩාෆි උපන් ගම වන ‘සර්ට්’ හි නිවෙස කැරලි කරුවන් අතින් විනාශ වී... ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක් සමඟ සතුටු සාමිචියක රාජ්‍ය නායකයන් හමුවකදී... දියණියක සමඟ පලස්තීන නායක යසර් අර්ෆත්  ගුවන් අනතුරකින් තුවාල ලැබූ අවස්ථාවේ ඔහු බැලීමට රෝහලට ගොස් හමුදා ආචාර පෙළපාළියකදී..