”ලිබියාව නම් ගඩාෆීය - ගඩාෆී නම් ලිබියාවය”යැයි කිව හැකි තත්ත්වයක් මෑතක් වනතෙක්ම තිබිණි. ගඩාෆී නැති ලිබියාවක් ගැන සිතීමටවත් හැකියාවක් මේ වසර මුල වනතෙක් ලෝකයාට තිබුණේ නැත. එසේ වුවද ඒ සියල්ල වෙනස් වූයේ මාස ගණනක කාලය තුළදීය. පෙබරවාරි 17 වැනිදා ලිබියාවේ ආරම්භ වූ ජනතා උද්ඝෝෂණයේ අරමුණ වූයේ ගඩාෆි පාලනය අවසන් කිරීමය. බලයෙන් ඉවත් වන ලෙස කර්නල් මුඅම්මර් අල් ගඩාෆීට බල කරමින් කළ උද්ඝෝෂණ බලය යොදා මර්දනය කිරීමට යාමෙන් සිදුවුයේ එය සිවිල් යුද්ධයක් බවට පත්වීමයි. ඉන්පසුව බටහිර රටවල ගුවන් බලයද ගඩාෆීට එරෙහිව යොදවනු ලැබීය. ගඩාෆීද දිගටම සටන් කළේය. එහි අවසානය වුයේ ඔක්තෝබර් 20දා සිදුවූ ගඩාෆීගේ මරණයයි. ඒ සමග ඔහු උපන් නගරය වන සර්ටේනි බලයද ලිබියානු විප්ලවවාදීන් අතට පත්වීමත් සමග ලිබියාවේ ගඩාෆී පාලන යුගය අවසන් විය.මුඅම්මර් අල් ගඩාෆී ලිබියාවේ පාලන බලය අල්ලා ගත්තේ 1969 සැප්තැම්බර් 1දා සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයක් මගිනි. එවකට ලිබියාව පාලනය කළ ඉඞ්රිඞ් රජු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා තුර්කියට ගොස් සිටියදී මෙම කුමන්ත‍්‍රණය සිදුවිය. ඒ වනවිට ගඩාෆිගේ වයස අවුරුදු 27කි.ලිබියානු විප්ලවය ලෙස පසුව හඳුන්වනු ලැබු මෙම කුමන්ත‍්‍රණයෙන් බලය අල්ලාගත් ගඩාෆී පසුව එරට ඒකාධිපති පාලකයා බවට පත්වීය. ඔහුගේ දේශපාලනය වූයේ අරාබි ජාතිකවාදයයි. ධනවාදයට හා මාක්ස්වාදයට යන දෙකටම විරුද්ධ වූ ගඩාෆී තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේ අරාබි සමාජවාදයක් වශයෙනි. කිසිදු විරුද්ධ පක්ෂයකට, විරුද්ධ මතවාදයකට ඉඩ නොතිබුණද ගඩාෆී ලිබියාව හඳුන්වා දුන්නේ සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන මහජන රජයක් වශයෙනි.ඛනිජ තෙල් සම්පත සහිත රාජ්‍යයක් වූ ලිබියාවේ එම තෙල් කර්මාන්තයේ යෙදී සිටි බටහිර සමාගම්වලින් ලිබියාවට ලැබෙන ප‍්‍රතිලාභ වැඩි කරගැනීමට ගඩාෆී ක‍්‍රියා කළේය. එමගින් ලිබියානු ජනයාට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට ගඩාෆීට හැකියාව ලැබිණි. ගඩාෆී බලයෙන් ඉවත් කරන විට හා මරා දමන විටද ලිබියාව අප‍්‍රිකාවේ හා අරාබි ලෝකයේ ඉහළම මානව සංවර්ධන දර්ශක පෙන්නුම් කළ රාජ්‍යයකි. එරටෙහි ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයද ඉහළ මට්ටමක පැවතුණි. පසුගිය වසරේ ලිබියාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සියයට 10.5කි. ගඩාෆීට එරෙහිව මහජන නැගිටීමක් ආරම්භ වන්නේ එබඳු ආර්ථික සමෘද්ධියක් තිබියදීමය. එහි මූලික පදනම වුයේ දේශපාලන නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ඒකාධිපති බලයට එරෙහිවීමයි.පෙබරවාරි 17 වැනිදා ලිබියාවේ ජනතා නැගිටීම ආරම්භ වන්නේ එරටට දෙපසිනි පිහිටි රටවල් දෙකෙහි එනම් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ නායකයන් මහජන නැගිටීම් ඉදිරියේ බලයෙන් ඉවත්වූ තත්ත්වයක් තුළදීය. බොහෝ දෙනා කල්පනා කළේ ටියුනීසියාවේ හෝ ඊජිප්තුවේ හෝ සිදුවූදේම ලිබියාවේ සිදුවීමට ඉඩක් නැති බවයි. එසේ වුවද සිදු නොවනු ඇතැයි සිතු දේ සිදුවීය. මහජනයා දස දහස් ගණනින්විද බැස ප‍්‍රකාශ කෙළේ ගඩාෆී බලයෙන් ඉවත්විය යුතු බවයි.මෙය මහජන නැගිටීමක් බව ගඩාෆී පිළිගන්නේ නැත. මෙය අල්කයිඩා කුමන්ත‍්‍රණයක් බව ඔහු කියා සිටියේය. ඔහු කීවේ පිස්සු මිනිසුන් ටිකක් තම බලයට අභියෝග කළද මහජනයා තවමත් තමන්ට ආදරය කරන බවයි.කෙසේ වෙතත් ගඩාෆී උද්ඝෝෂණ මර්දනය කිරීමට දරුණු ලෙස පියවර ගත්තේය. තම ලිබියානු හමුදා ලිබියානු වැසියන්ට වෙඩි තැබීම ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි සිතු ඔහු කල් තබාම අසල්වැසි රාජ්‍යයන්ගෙන් කුලී හමුදා ගෙන්වා ගත්තේය. එම හමුදා ලවා උද්ඝෝෂකයන්ට වෙඩි තබා උද්ඝෝෂණය මර්දනය කිරීමට ගඩාෆි උත්සාහ කෙළේය. ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ගඩාෆිට එරෙහි ප‍්‍රහාරයට එක්වන්නේ මේ අවස්ථාවේදීය. ලිබියානු අහස පියාසර තහනම් කලාපයක් ලෙස නම් කිරීමට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත වන්නේ විරෝධතාවයකින්ද තොරවය. ලිබියාවේ මිතුරන් ලෙස සිටි රුසියාවේ හා චීනයේ ආරක්ෂාවද ගඩාෆීට හිමි වන්නේ නැත. එම රටවල් කෙළේ බටහිර මැදිහත්වීම විවේචනය කිරීම පමණකි. මේ වනවිට ගඩාෆී විරෝධීකැරලිකරුවෝ බෝගාඞ් නුවර තාවකාලික ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටියෝය. නේටෝව එම ආණ්ඩුවට හා කැරැලිකරුවන්ට පක්ෂව ක‍්‍රියා කළේය. නේටෝවෙන් ගඩාෆී හමුදාවට එල්ල වූ ගුවන් හමුදා ප‍්‍රහාර මධ්‍යයේ කැරලිකාර හමුදා නගරයෙහි නගරය මුදා ගනිමින් ඉදිරියට ගියේය. එහි තීරණාත්මක සන්ධිස්ථානය වුයේ පසුගිය අගෝස්තු මාසයේදී ටිපොල් අගනුවර කැරලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබීමයි.තමා කිසි දිනෙක ලිබියාව අතහැර නොයන බවත් තම රට තුළම වීරයකුසේ මිය යන බවත් ගඩාෆී දිගටම ප‍්‍රකාශ කළේය. ඒ කී ආකාරයටම ගඩාෆී දිගටම සටන් කළේය. තම උපන් නගරයවන සර්ටේ හා තමන්ට හිතවත් ගෝත‍්‍රිකයන් සිටින බතී වලීනගරවල සිට ගඩාෆී හිතවාදී හමුදා  දිගින් දිගටම ප‍්‍රහාරයේ යෙදී සිටියේය.ගඩාෆීගේ උපන් නගරය සර්ටේහි ජනයා ගඩාෆීට දිගටම පක්ෂව සිටි බව බටහිර ජනමාධ්‍ය පවා ප‍්‍රකාශ කළේය. එම තත්ත්වය තුළ සර්ටේ නගරය සඳහා සටන ලිබියානු කැරලිකරුවන්ට පහසු වූයේ නැත. මාස දෙකක පමණ කාලයක් සර්ටේ වටකර ප‍්‍රහාරයේ යෙදීමට කැරලි හමුදාවන්ට සිදුවිණි.ඔක්තෝබර් 20දා වනවිට ගඩාෆිගේ හමුදාවල බලය බොහෝදුරට පිරිහී තිබිණි. ඒ අතර සර්ටේ නගරයෙන් ඉවතට හමුදා රථ ගණනාවකින් පළායාමට දැරූ උත්සාහයක් ගැනද වාර්තා වීය. එය ගඩාෆී වෙනත් නගරයක් වෙත පළායාමට දැරූ අවසන් උත්සාහයක් යැයි විශ්වාස කෙරෙයි. එවිට නේටෝ ගුවන් ප‍්‍රහාරයක් එල්ල වීමේ ගුවනින් සහ ගොඩබිමින් එල්ල වන ප‍්‍රහාර හමුවේ ගඩාෆීගේ හමුදා ඛණ්ඩයට සිදුවුයේ යළිත් සර්ටේහි වෙත පසු බැසීමටයි.ගඩාෆීගේ ජීවිතය අහිමිවන දරුණුම සටන සිදුවුයේ මෙහිදීය. ගඩාෆීගේ හමුදාව හඹා යමින් ප‍්‍රහාර එල්ල කළ කැරලිකාර හමුදාවට ගඩාෆී හමුවුයේ බෝක්කුවක් වැනි කුහරයක් තුළ සැඟවී සිටියදීය. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ යැයි එහි සටහන් කොට තැබූ බවද වාර්තා විය.කැරලිකාර හමුදාවන්ට හමුවන විට ගඩාෆීත් දෙකකුල්වලට වෙඩි වැදී තිබූ බවද වාර්තා වීය. එමෙන්ම ”වෙඩි තබන්න එපා” යයි කියමින් ගඩාෆී යටත්වීමට උත්සාහ දැරූ බවද ජනමාධ්‍ය වාර්තා කෙළේය. එසේ වුවද ඔහුගේ හිසට සහ සිරුරට වෙඩි ගණනාවක් එල්ල වූ බවත් ඉන්පසුව ඔහුට කැරලිකරුවන් අතින් පයින් පහරදුන් බවත් ජනමාධ්‍ය වාර්තා කෙළේය. ගඩාෆි මියගිය බව ලිබියාවේ තාවකාලික ආණ්ඩුවද නිවේදනය කළේය. ඒ සමගම ඔවුන් කීවේ ලිබියාව නිදහස් කරගැනීම නිවේදනය කිරීමට අවස්ථාව උදාවී ඇති බවයි.දැන් ලිබියාවේ ගඩාෆී යුගය අවසන්ය. ඔහු ගැන ඉතිහාසයේ කෙලෙස සටහන් වෙයිද යන්න විග‍්‍රහ කිරීමට මෙය අවස්ථාව නොවේ. එමෙන්ම ගඩාෆීට එරෙහිව එක්සත් වූ විවිධ වර්ගයේ බලවේග ලිබියාවේ අනාගතය සම්බ්නධයෙන් කරන්නේ කුමක්ද? යන ප‍්‍රශ්නයද විසඳී නැත.ගඩාෆී නැති ලිබියාවට විසඳාගැනීමට තවත් බොහෝ ප‍්‍රශ්න ඇති බව පමණක් කියමින් අපි මෙම සටහන අවසන් කරමු.
සී.ජේ. අමරතුංග
ගඩාෆි උපන් නගරය විනාශ වී ගඩාෆි අල්ලාගත් සටන්කරුවෝ ගඩාෆිගේ රත්තරං ගෑ පිස්තෝලය අල්ලාගත් පසු අල්ලාගත් පසු අල්ලාගත් පසු ගඩාපි සැඟවී සිටි මහ පාරේ බෝක්කුව ගඩාෆි