අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවතම සාමාජිකයෝ  සිටිනුයේ කුහුඹුවෝය.

මෙම කුහුඹුවන් නාසා ආයතනයම අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබූවන්ය.වාර්තා වන අන්දමට කුහුඹු ජනපද 8 ක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නාසා ආයතනය සැරසෙයි.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වය රහිත පරිසරයේ කුහුඹුවන් කෙසේ හැසිරෙනු ඇත්දැයි නිරීක්ෂණය කිරීම නාසා විද්‍යාඥයින්ගේ අරමුණයි.එම නිරීක්ෂණයන් ආධාර කරගෙන රොබෝවරු නිපදවීමට ඔවුන් බලාපොරොත්තු වන බව සදහන්ය.

කුහුඹුවෝ සමූහ වශයෙන් ක්‍රියාකාරී වෙති. තවද එක් එක් කුහුඹුවාට නිශ්චිත වූ වගකීමක් ඇතැයි කුහුඹු ජනපද නිරීක්ෂණය කිරීමෙන් නිගමනයකට එළැඹීමට විද්‍යාඥයින්ට හැකිව තිබේ. කුහුඹු ජනපදයක්   මුලදී කුඩා වපසරියක ක්‍රියාකාරී වෙයි.   පසුව  ක්‍රමයෙන් ජනපදයේ වපසරිය වැඩි කර ගන්නා අන්දම විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත.කුහුඹුවන් ඔවුන්ගේ හිස් මත පිහිටා ඇති ‘ඇන්ටනා‘ හෙවත් ස්පර්ශක මගින් එකිනෙකා හා ‘කතා‘ කිරීමද විද්‍යාඥයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.

නමුත් ගුරුත්වය අඩු පරිසරයකදී කුහුඹුවන්ට නව පරිසරයට අනුවර්තනය වීමට සිදුවනු ඇත.එහිදී කුහුඹුවන්ට තම තමන්ගේ රාජකාරි වල යෙදීමට නව උපක්‍රම භාවිතා කිරීමට සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. කුහුඹුවන් ඉක්මනින්ම විවිධ පරිසර තත්ත්වයන්ට අනුගත වන සත්ත්වයින් විශේෂයක් වේ.

මේ සියල්ල නිරීක්ෂණය කොට කුහුඹුවන් හා ක්‍රියාකාරීත්වයෙන් සමාන රොබෝවරු තැනීම විද්‍යාඥයින්ගේ අපේක්ෂාවයි.එම රොබෝවරු ආධාරයෙන් ගොඩනැගිල්ලක් තැනීම වැනි භාරධූර වැඩකටයුතුද සපුරා ගත හැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

තනි තනිව ක්‍රියාකාරී වනවාට වඩා එක්ව ක්‍රියාකිරීමෙන් වැඩකටයුතු කාර්යක්ෂමව නිම කර ගත හැකිවීම කුහුඹුවන්ගෙන් තමන් උගත් ලොකුම පාඩම බව විද්‍යාඥයෝ කියයි.