දකුණු කොරියාවටත්, ඇමෙරිකාවටත් පහරදෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, පෙරේදා (18) කෙටි දුර මිසයිල තුනක් අත්හදා බැලූවේය.
උතුරු කොරියාවේ කි‍්‍රයාකාරකම් ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින දකුණු කොරියාව ප‍්‍රකාශ කළේ උතුරු කොරියානු රජය පෙරේදා උදෑසන මිසයිල දෙකක් අත්හදා බැලූ බවත් තෙවැනි මිසයිලය එදින සවස අත්හදා බැලූ බවත්ය.
උතුරු කොරියාව, එම මිසයිල අත්හදා බැලීම් කළේ යුද අභ්‍යාසයක් පවත්වමිනි.
උතුරු කොරියාව ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට පහර දෙන බවට අනතුරු ඇඟවීම් කළේ ඉකුත් මාර්තු මස 30 වැනිදා සිටය. 
ඊට හේතු වූයේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී කොරියානු අර්ධ ද්වීපයේ කහ මුහුදේ පැවැත්වීමට සූදානම් වූ මහා පරිමාණයේ යුද අභ්‍යාසයකි.
උතුරු කොරියානුවන් ප‍්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති එම යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ඉකුත් 30 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව උතුරු කොරියාව, ඇමෙරිකාව සහ අසල්වැසි දකුණු කොරියව දෙසට හරහා තිබූ මිසයිල යළි ඔවුන්ගේ හමුදා කඳවුරු තුළට ගෙන යෑමට ඉකුත් 6 වැනිදා කටයුතු කළේය. ජගත් යුද විශ්ලේෂකයන් කියා සිටියේ ඒ සමඟ උතුරු කොරියාවෙන් එල්ල වූ යුද තර්ජන නිමාවට පත්වුණු බවය.