උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව දකුණු කොරියාවේ නව ජනපතිනී පාක් ග්වෙන් හේ ඊයේ (1) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
දකුණු කොරියාවටත් එරට මිතුරා වන ඇමෙරිකාවටත් පහර දීමට තම මිසයිල ස්ථානගත කර ඇති බව උතුරු කොරියාව අනතුරු ඇඟවූයේ මීට දින කිහිපයකට පෙර සිටිය.
උතුරු කොරියාව එම අනතුරු ඇඟවීම් කළේ පහර දෙන අයුරු ගැන වීඩියෝ දසුන් පෙළක් ද මාධ්‍ය වෙත නිකුත් කරමින්ය.
දකුණු කොරියා ජනපතිනී වැඩි දුරටත් කියා සිටියේ මේ වනවිටත් උතුරෙන් ප‍්‍රහාරයක් ආවොත් ඒ බව කල් තියා දැන ගැනීමට රේඩාර් ස්ථානගත කර ඇති බවත්, උතුරු කොරියාවේ රේඩාර්වලට හසුනොවී පහර දීමට හැකි ප‍්‍රහාරක යානා ඇමෙරිකාවෙන් තමන්ට ලැබී ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ ඇමෙරිකාව, දකුණු කොරියාව සහ උතුරු කොරියාව යුද්ධයකට පැටලූණහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවය.
ඇමෙරිකාවට අයත් හවායි දූපතේ හමුදා කඳවුරුවලට පහර දීමේ අරමුණින් තම අවි ආයුධ ස්ථාන ගත කර ඇති බවට උතුරු කොරියාව කරන එම අනතුරු ඇඟවීම් සුළුකොට නොතකන බව ඇමෙරිකාවත් චීනයත් පවසයි.