IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවේ පාපන්දු පිටියේත් ජන අරගල

ඊජිප්තුවේ ප‍්‍රධාන නගරවලින් එකක් වූ පෝර්ට් සේඞ්හි පැවැති පාපන්දු තරගයකින් පසුව හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 74ක් මියයෑම හමුදා පාලක ෆීල්ඞ් මාර්ෂල් හුසේන් ටන්ටවි හැඳින්වූයේ පාපන්දු ලෝලීන් අතර සාමාන්‍යයෙන් ඇති වන ගැටුමක් සේය. එහෙත් මෙම ගැටුම පාපන්දු පිටියට සීමා වූයේ නැත. ඉන් පසුව කයිරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා, සූවස් හා නයිල් ගඟබඩ නගර ගණනාවකට මෙම කලබලකාරී තත්ත්වය පැතිර ගිය අතර, පිරිස් පාලනයට කඳුළු ගෑස් හා ජීව උණ්ඩ යොදා එල්ල කළ ප‍්‍රහාරවලින් තවත් හය දෙනෙක් මිය ගියහ. රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එල්ල කර ගත් මෙම උද්ඝෝෂණ දින හයක් තිස්සේම පැවැතීමෙන් එය හුදෙක් පාපන්දු පිටියේ හටගත් ගැටුමක් පමණක් නොව, හමුදා පාලනයට එරෙහිව කැකෑරෙමින් පවතින ජනතාවගේ විශේෂයෙන්ම තරුණ කොටස්වල විරෝධයක් බව පැහැදිලිය. හොස්නි මුබාරක් පාලනයෙන් පළවා හැර වසරක් ගත වීමට ආසන්නයේ සිදු වන මෙම ගැටුම්වලින් තහවුරු වන අනෙක් කරුණ වන්නේ නිදහස් මැතිවරණ පැවැත්වුවද තවමත් පැරණි මර්දනකාරී රාජ්‍ය තන්ත‍්‍රය ක‍්‍රියාත්මක වන්නේය යන්නයි. ඊජිප්තුවේ ප‍්‍රධාන නගර සියල්ලේම පාහේ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරවලට තුඩුදුන් මෙම කලබලකාරී තත්ත්වයට ආසන්නම හේතුව වන්නේ පෝර්ට් සෙඞ් නගරයේ අල් මස්උ හා කයිරෝ නගරයේ ජනප‍්‍රිය එමෙන්ම ප‍්‍රබල කණ්ඩායමක් වන අල් අස්ලි අල්ට‍්‍රා අතර පැවැති පාපන්දු තරගයෙන් අල් මස්රි කණ්ඩායම ජය ගැනීමත් සමග පිටියට කඩාවැදුණු ආධාරකරුවන් අතර හටගත් ගැටුමය. බොහෝ වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම තරගයට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී නැත. එමෙන්ම තරගය අවසන් වීමෙන් පසුව ක‍්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීම වැළැක්වීමට කිසිදු උත්සාහයක් ද නොතිබිණ. කලබලයට පත් ක‍්‍රීඩා ලෝලීන්ට ක‍්‍රීඩාගාරයෙන් පිටතට යෑමට නොහැකි වන ආකාරයට දොරවල් වසා තිබීමෙන් තත්ත්වය වඩාත් උග‍්‍ර විය. අවසාන ප‍්‍රතිඵලය වූයේ පුද්ගලයින් 74 දෙනකු මියයෑම සහ තවත් දහස් ගණනක් තුවාල ලැබීමය. කයිරෝ නගරයේ අල් අස්ලි පාපන්දු සමාජය සාමාන්‍ය ක‍්‍රීඩා සමාජයක් නොවේ. පසුගිය වසරේ හොස්කි මුබාරක්ට එරෙහිව ජනතා උද්ඝෝෂණය ආරම්භ වූ විට ඔවුහු ඊට ක‍්‍රියාකාරීව සහභාගි වූහ. මුබාරක්ගේ අනුග‍්‍රහය ලත් මැරවර කණ්ඩායම් උද්ඝෝෂණකයින්ට පහර දීමට ඉදිරිපත් වූ විට උද්ඝෝෂකයින්ට රැකවරණය හා ආධාර සැපයීමට මෙම ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයෝ පියවර ගත්හ. එම නිසා ඔව්හු සැබැවින්ම හමුදා පාලනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ ද නායකත්වය ගත්හ. අනෙක් අතට අල් මස්රි සමාජයේ සාමාජිකයින් හමුදා පාලකයින්ට හිතවත් කණ්ඩායමක් ලෙස හැඳින්වේ. පාපන්දු තරගය පැවැත්වෙන විට ඔවුන් හමුදා පාලක ටන්ටවිගේ ඡායාරූප රැගත් කොඩි ප‍්‍රදර්ශනය කළ බව ද වාර්තා වේ. පාපන්දු පිටියේ හටගත් ගැටුම හමුදා පාලකයින්ට එරෙහි තවත් රැල්ලක් සේ රට පුරා ව්‍යාප්ත වූයේ එහි පිටුපස මෙවැනි දේශපාලන සාධකයක් පැවතීම නිසාය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දින 18ක් තිස්සේ පැවැති ජනතා උද්ඝෝෂණ නිසා හොස්නි මුබාරක්ට පාලනයෙන් ඉවත් වීමට සිදුවුවද, ඔහු ගොඩනැගූ මර්දනකාරී පාලන තන්ත‍්‍රය කිසි ලෙසකින් වෙනස් කෙළේ නැත. මීට පෙර පැවැති උද්ඝෝෂණවලදී ද ඉස්මතු වූ මූලික ඉල්ලීම වූයේ මෙම මර්දනකාරී හමුදා තන්ත‍්‍රය වෙනස් කොට සිවිල් පරිපාලනයට යටත් කළ යුතුය යන්නයි. පසුගිය සතියේ කයිරෝ නගරයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට කඩා වැදීමට උත්සාහ කළ තරුණ පිරිස්වල ඉල්ලීම වූයේ ද එයයි. ආරක්ෂක හමුදා ප‍්‍රතිශෝධනයකට ලක් කිරීම තවත් ප‍්‍රමාද කෙරෙන්නේ නම් එය ජාතික අපරාධයක් වන බව ඊජිප්තුවේ කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන මොහොමඞ් එල් බරාස් ද පසුගිය සතියේ ප‍්‍රකාශ කෙළේය. උද්ඝෝෂකයින්ගේ අනෙක් ඉල්ලීම වූයේ මෙම වසරේ අග භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්වා සිවිල් පරිපාලනයක් ස්ථාපිත කළ යුතුය යන්නයි. මෙම ඉල්ලීමට පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ජය ගත් මුස්ලිම් සහෝදරත්වයට ද සහාය දක්වන නිසා හමුදා පාලකයින්ට එය පහසුවෙන් යටපත් කිරීමට නොහැකි වනු ඇත. එහෙත් මධ්‍යස්ථ මතධාරියකු වශයෙන් හැඳින්වෙන එල් බරාස් ද සඳහන් කරන ආකාරයට ඡන්ද විමසීම් පැවැත්වීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් බිහිවන්නේ නැත. ඒ සඳහා මූලික වන්නේ ජනතා ඉල්ලීම්වලට සංවේදී වන පාලන ව්‍යුහයකි. එය තව තවත් කල් දැමීමෙන් සිදුවන්නේ සුළු සිද්ධියකින් පවා ප‍්‍රකෝපකාරී තත්ත්ව උත්සන්න වීමයි. පෝර්ට් සේඞ් නගරයේ පාපන්දු පිටියේ හටගත් සිද්ධිය රට පුරා ව්‍යාප්ත වූ විරෝධතා ව්‍යාපාරයක් වූයේ එම නිසාය. ඊජිප්තුවේ හමුදා පාලකයින් මෙන්ම නව දේශපාලන නායකත්වය ද මෙම තත්ත්වය තේරුම් නොගත හොත් ඊජිප්තුවට සාමය උදා කිරීම තවත් මිරිඟුවක් විය හැකිය.

සටහන: මහින්ද හත්තක
කයිරෝ ස්ප‍්‍රින්ග් චතුරශ‍්‍රයට රැස්වූ උද්ඝෝශකයන් පිටියට කඩාවැදුණු ආධාරකරුන් ගල් ප‍්‍රහාර එල්ල කරමින් හැසිරෙණු අයුරු පොර්ට් සේඞ්හි පැවැති පාපන්දු තරගයෙන් පසු හටගත් ගැටුමේ අවස්ථාවක් හමුදාවෙන් පත්කළ අගමැති ගන්සූරි



අදහස් (0)

ඊජිප්තුවේ පාපන්දු පිටියේත් ජන අරගල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10966 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site