ඉරානයේ තෙල් අපනයනය නතර කිරීම ඉලක්ක කරගත් යුරෝපා සංගමයේ සම්බාධක ජූලි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වේ. එක්සත් ජනපදයේ ඉල්ලීම මත මෙම සම්බාධක පසුගිය ජනවාරි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුණත්, යුරෝපා සංගමයේ රටවල් ඒ වනවිටත් ඉරානය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම අවසන් වනතෙක් හය මාසයක කාලයක් ලබාදී තිබිණ. මෙතෙක් යුරෝපා සංගමයේ රටවල් තම ඛනිජ තෙල් අවශ්‍යතාවලින් වැඩිම ප‍්‍රමාණයක් ලබාගත්තේ ඉරානයෙන් වුවද සම්බාධක ක‍්‍රියාත්මක වීමත් සමග ඔවුන්ට සෞදි අරාබිය වැනි වෙනත් සැපයුම්කරුවන් කෙරේ යොමුවීමටත්, සමහරවිට වැඩි මිලක් ගෙවීමටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම දැනට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති ස්පාඤ්ඤය හා ග‍්‍රීසිය රටවල් දෙකට ඉරානයෙන් පහසු මිලකට ඉන්ධන ලබාදුන් නමුත් සම්බාධක නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමි වී වැඩි මිලක් ගෙවීමට සිදුවිය හැකිය. ඉරානයට බොරතෙල් අපනයනය අතින් ලොව තුන්වැනි ස්ථානය හිමිවන නිසා එහි බොරතෙල් සැපයුම එක්සත් ජනපදය අපේක්ෂා කරන ආකාරයට සම්පූර්ණයෙන් බිඳ වැටුණහොත් ලෝකයේ තෙල් සැපයුමටද අහිතකර ලෙස බලපායි. කෙසේ වුවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ තමන්ගේ හා ඊශ‍්‍රායෙලයේ ආරක්ෂාවට තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය සම්බාධක ලිහිල් කිරීමට සූදානම් නොවේ. එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලයෙන් සම්මත කරගත් නීතියක් අනුව ඉරානයේ බැංකු සමග ගනුදෙනු කරන බැංකුවලට එක්සත් ජනපද බැංකු සමග ගනුදෙනු කිරීම තහනම් කෙරිණ. ඉන් අදහස් වූයේ ඉරානයේ බැංකු සමග ගනුදෙනු කරන සමාගම්වලට ඇමරිකාව සමග ආනයනය අපනයන කටයුතු කිරීමට සම්බාධක පැනවීමය. ලොව විශාලතම ආර්ථිකය වන එක්සත් ජනපදය සමග මෙම රටවල් සියල්ලම විවිධ ආකාරයේ වානිජ සම්බන්ධතා පවත්වන නිසා එය අහිමිවීමෙන් ඔවුන්ට බලවත් පාඩුවක් සිදුවේ. එම නිසා ඉරානයෙන් බොරතෙල් ලබාගැනීම පහසු මෙන්ම ලාභදායී වුවද බොහෝ රටවල් එක්සත් ජනපදය සමග පවත්වන වාණිජ සම්බන්ධතාවලට අවහිර වනු දැකීමට කැමති නැත. ඉරානයේ ප‍්‍රධාන තෙල් ගැනුම්කරුවන් වන ඉන්දියාව, චීනය, ජපානය හා දකුණු කොරියාව ඉරානයෙන් මිලදී ගන්නා තෙල් ප‍්‍රමාණය අඩු කිරීමට පියවර ගත්තේ ඒ අනුවය. වාර්තාවන ආකාරයට චීනය පසුගිය මාස කීපය තුළ ඉරානයෙන් මිලදී ගන්නා බොරතෙල් ප‍්‍රමාණය සියයට විස්සකින් අඩුකර ඇති අතර ඉන්දියාවද එවැනිම පියවරක් ගැනීමට සූදානම්ය. එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව ක‍්‍රියාත්මක වන මෙම සම්බාධක ඉරානයට මෙන්ම තෙල් මිලදී ගන්නා රටවලටද දැඩි ලෙස බලපායි. මේ රටවල් සියල්ලම ආනයනය හා අපනයනය පහත වැටීමෙන් ආර්ථික හා මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින නිසා තෙල් සැපයුම අඩාලවීමෙන් තත්ත්වය වඩාත් උග‍්‍ර විය හැක. ඉරානයේ ප‍්‍රධානම තෙල් ගැනුම්කරුවන් වන යුරෝ මුදල් ඒකකයට අයත් රටවල් දාහතේම කාර්මික නිෂ්පාදනය පහත වැටී විරැකියාව ඉහළ යමින් පවතී. මෙම වසරේ මුල් කාර්තුව සඳහා නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව යුරෝ කලාපයේ විරැකියාව දශ ලක්ෂ 17.6කි. එය පසුගිය වසරේ මෙම කාලය හා සසඳන විට දශලක්ෂ 1.8කින් ඉහළ යෑමකි. පොදුවේ විරැකියා අනුපාතය සියයට 11.1 වැනි ඉහළ මට්ටමක පවතින අතර රැකියා වෙළඳපොළට අලූතින් එක්වන තරුණ තරුණියන් අතර මෙම අනුපාතය ඉතාමත් ඉහළය. ගැඹුරු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ස්පාඤ්ඤයේ තරුණ ජනතාව අතර විරැකියා අනුපාතය සියයට 52.11කි. එනම් රැුකියා වෙළෙඳපොළට අලූතින් එකතුවන අයගෙන් හරි අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයකට රැකියා ලැබෙන්නේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්ධන සඳහා වැඩි මිලක් ගෙවීමටත් විකල්ප සැපයුම් මාර්ග සොයාගැනීමටත් සිදුවීම එම සමාගම්වලට අතිරේක වියදමකි. අනෙක් අතට ලාභදායී අවස්ථා අහිමිවීමකි. මේ නිසා ඉන්දියාව හා ජපානය වැනි රටවල් සම්බාධක ක‍්‍රියාත්මක කිරීමේදී තමන්ට සහනයක් ලබාදෙන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියහ. න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරකවලින් ලබාගන්නා බලශක්තිය සීමා කරමින් සිටින ජපානය හා දශක ගණනාවකට පසු ආර්ථිකයේ පසුබෑමක් වාර්තා වන ඉන්දියාව සම්බාධක කි‍්‍රයාත්මක කිරීමේදී සහනයක් ඉල්ලා සිටීම එක්සත් ජනපදයට නොතකා සිටිය නොහැකි විය. ඒ අනුව සම්බාධක ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරානයෙන් ලබාගන්නා තෙල් ප‍්‍රමාණය අඩු කිරීමේ ප‍්‍රවණතාවයක් දැක්වූ රටවලට තවත් මාස හයක සහනයක් ලබාදීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ අනුව ඉන්දියාව, ජපානය හා දකුණු කොරියාව වැනි රටවල් 20කට (ශ්‍රී ලංකාවද සහනය ලැබූ රටවලින් එකකි) සහනයක් ලැබිණ. විශේෂයෙන් වැදගත් වන්නේ එක්සත් ජනපදය සමග සමීපතම ආර්ථික සබඳතා පවත්වන චීනයට එම අවස්ථාව අහිමිවීමයි. පසුව චීනයටද මෙම සහනය ලබාදුන් නමුත් එය කෙතරම් කල් බලපවත්නේද යන්න පැහැදිලි නැත. ඉරාන තෙල් අපනයනය සඳහා මෙවැනි සහන කාලයක් ලබාදුන් නමුත් තෙල් ප‍්‍රවාහනය කරන ටෑන්කර් සඳහා රක්ෂණ ආවරණ ලබා නොදීමට ප‍්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් එකතුවක් තීරණය කිරීම නිසා තත්ත්වය තවමත් බැ?රුම්ය. මෙවැනි රක්ෂණ ආවරණ ලබාගැනීම සඳහා ඉරානය දකුණු කොරියාවේ රක්ෂණ සමාගම් සමග සාකච්ඡා පවත්වන නමුත් එහි බලපෑම කොතක්ද යන්න කිව නොහැක. කෙසේ වුවත් රක්ෂණ ආවරණයක් නොමැතිව තෙල් ප‍්‍රවාහනය සිදු නොවන නිසා එය අනියම් ආකාරයෙන් එක්සත් ජනපද සම්බාධක ක‍්‍රියාත්මකවීමක් විය හැකිය. තෙල් අපනයනය ඉරානයේ විදේශ වෙළෙඳාමෙන් සියයට 80ක් හා ජාතික නිෂ්පාදිතයෙන් හරි අඩක් වන නිසා කුමන ආකාරයකින් හෝ අපනයනය බිඳ වැටීම ඉරාන ආර්ථිකයට බරපතළ පහරක් වන බව නිසැකය. මෙම අඩුව පිරිමසා ගත හැකි එක් උපාය මාර්ගයක් වන්නේ ඉරානය සතුව ඇති ඩොලර් බිලියන 150ක විදේශ මුදල් සංචිතය භාවිතයට ගැනීමයි. එහෙත් එය දීර්ඝකාලීන විසඳුමක් නොවේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව මතුවී ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා පී. 541 යනුවෙන් හැඳින්වෙන ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් හා ජර්මනිය, ඉරානය සමග පසුගිය අපේ‍්‍රල් මාසයේදී ආරම්භ වූ සාකච්ඡා පල දැරුවේ නැත. සාකච්ඡාමය විසඳුමක් සඳහා එක්සත් ජනපදයෙන් කළ ඉල්ලීම වූයේ ඉරානය යුරේනියම් බලගැන්වීම වහාම නවත්වා දැනට සියයට 20 දක්වා බලගන්වා ඇති යුරේනියම් තොග රටින් පිට කළ යුතුය යන්නයි. ඊට එකඟ වන්නේ නම් ඉරානයට ලැබෙන සහනය වන්නේ අතිරේක සම්බාධක නොපැනවීම හා වාණිජ ගුවන්යානාවලට හා තෙල් පිරිපහදුවලට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට ඉඩ සැලසීමය. බොහෝ නිරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම සහන ඉරානයට තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ අතහැර දැමීමට තරම් වූ දිරි ගැන්වීම් නොවේ. එම නිසා බලාපොරොත්තු වූ ආකාරයටම අපේ‍්‍රල් මාසයේ ඉස්තාම්බුල් නගරයෙන් ආරම්භ වූ සාකච්ඡා අසාර්ථක විය. මෙවැනි පසුබිමක් යටතේ ඉරානයට තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ අතහැර දැමීමට තරම් දිරි ගැන්වීමක් එක්සත් ජනපදයෙන් අපේක්ෂා කළ නොහැකි වන නිසා මෙම අර්බුදයට විසඳුම් සොයාගත හැක්කේ කෙසේද යන්න බරපතළ ගැටලූවකි. එක්සත් ජනපදය පසුගිය කාලාන්තරයක් මුළුල්ලේම ක‍්‍රියාත්මක වූයේ බල ශක්තිය පිළිබඳ තම ලෝක ආධිපත්‍යය තහවුරු කර ගැනීමටය. ඒ සඳහා දැනට ඔවුන්ගේ ග‍්‍රහණයට හසුකර ගැනීමට ඇති රට වන්නේ ඉරානයයි. දැනට සොයාගෙන ඇති විශාලතම තෙල් නිධි පවතින සෞදි අරාබිය හා ඉරාකය එක්සත් ජනපදයේ අවශ්‍යතාවය අනුව ක‍්‍රියාත්මක වන නිසා ඉතිරිව ඇත්තේ ඉරානය ඊට එක්කර ගැනීම පමණි. ආගමික නායකත්වයක් යටතේ පවතින ඉරානයේ පාලන ක‍්‍රමයේ වෙනසක් සිදු කරන්නේ නැතිව අවනතභාවය දිනාගත නොහැකිය. ඉරානයට එරෙහිව ක‍්‍රියාත්මක වීමට එක්සත් ජනපදයට ඇති අවශ්‍යතාවය වඩාත් ප‍්‍රබලවීමට තවත් හේතුවක් වන්නේ ඉරානයේ පවතින ඊශ‍්‍රායෙල් විරෝධයයි. එක්සත් ජනපදයේ දේශපාලන හා මූල්‍යමය සහාය යටතේ පවතින ඊශ‍්‍රායෙලය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය හැමවිටම සූදානම්ය. එම නිසා හමුදාමය මැදිහත්වීමකින් හෝ ඉරානයේ පාලනය වෙනස් කිරීමට එක්සත් ජනපදය පසුබට නොවන බව ප‍්‍රකාශ කර ඇති අතර ඊට අවශ්‍ය සූදානමද පවත්වා ගනී. ඊශ‍්‍රායෙලය ඒකපාර්ශ්විකව හමුදා ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වුවද එක්සත් ජනපදය එය වළක්වා ඇත්තේ සුදුසු අවස්ථාවක් එළඹෙන තෙක් බව පැහැදිලිය. අනෙක් අතට ඉරානයද එවැනි ප‍්‍රහාරයක් සඳහා නිතරම සූදානමෙන් සිටින බව පවසයි. සියලූ ආකාරයේ සම්බාධක පැනවීමෙන් හෝ ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අතහැර දැමීමටත්, එක්සත් ජනපදය අපේක්ෂා කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගයකට පිවිසීමත් නොසිදුවන නිසා එකම විකල්පය වන්නේ හමුදාමය ක‍්‍රියාමාර්ගයි. එහෙත් එය පහසු කටයුත්තක් නොවන බව ඉරාකයෙන් හා ඇෆ්ගනිස්ථානයෙන් පැහැදිලිය. ඊට අමතරව ඉරාකය සම්බන්ධයෙන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ චීනය හා රුසියාව ඉරානය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයෙන් කෙරෙන මැදිහත්වීමකට ඉඩ නොදෙනු ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන් මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වයන් යටතේ චීනය හා රුසියාව වඩාත් දැඩි ස්ථාවරයකට සූදානම් වනු ඇතැයි සිතිය හැකි අතර ඒ නිසාම එක්සත් ජනපද සැලසුම් වඩාත් ප‍්‍රචණ්ඩවීමටත් පුළුල්වීමටත් ඉඩ ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ යුරෝපා සංගමයේ සම්බාධක ක‍්‍රියාත්මක වීම ගැටුම්කාරී තත්ත්වය වඩාත් උත්සන්නවීමේ පෙර නිමිත්තක් විය හැකිය.
සටහන  - මහින්ද හත්තක
රැකියා විරහිත පිරිස්වල උද්ඝෝෂණයක්  මිසයිල අත්හදා බැලීමක් ඉරාන ජනපති අහමඩ් නෙජාඩ් ඉරානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඇමරිකානු යුද නෞකා පර්සියානු බොක්ක දෙසට