ඉරානය සමඟ යුද්ධයකට යෑමට තමන්ට අවශ්‍ය නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය.
“මට යුද්ධයක් ඕනේ නැහැ” යැයි එන්.බී.සී. රූපවාහිනි නාලිකාවේ “මීට් ද ප්‍රෙස්” වැඩසටහනට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
මෙම වැඩසටහන පැවැත්වීමට පෙර ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියකු අනතුරු ඇඟවීමක් ද කර තිබිණි.
ගල්ෆ් කලාපයේ ගැටුමක් ඇති වුවහොත් එය ඇමෙරිකානු හමුදාවලට දැඩි බලපෑමක් කරනු ඇතැයි ද පාලනය කළ නොහැකි අයුරින් මුළු මැදපෙරදිග කලාපයට පැතිර යනු ඇතැයි ද ඉරාන හමුදාවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනතුරු ඇඟවීය.
ඉරානය ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් බිම හෙළීමත්, ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය ලබා දීමත් යන සිදුවීම් නිසා ඇමෙරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින්නේ ඉතා හොඳ මිත්‍රශීලි සම්බන්ධයක් නොවන අතර පසුගිය සතියේ ඇති වූ සිදුවීම් නිසා දෙරට අතර අර්බුදකාරී තත්ත්වය උග්‍ර වී තිබේ.
ඩ්‍රෝන යානය බිම හෙළීමෙන් පසුව ඉරානයට ප්‍රහාර එල්ල කරන්නැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා නියෝග දුන්නේ යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. කෙසේ නමුත් ප්‍රහාර එල්ල කිරීමට පෙර එම සැලසුම් අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කළ බව එම පුවත් වාර්තාවේ දැක්විණි.
“අපි සාකච්ඡාවලට සූදානම්. ඊට පූර්ව කොන්දේසි කිසිවක් නැහැ. මා හොයාගන්න ඕනේ නම් එසේ කරන්නේ කොහොමදැයි ඔවුන් දන්නවා. ඔවුන් සත්‍ය වශයෙන්ම සාකච්ඡාවලට සූදානම් වූ විට අපිට මේ සාකච්ඡාව පටන් ගන්න පුළුවන්. ඒ දවස එනකං මං බලන් ඉන්නවා” යැයි ට්‍රම්ප් මහතා කීවේය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
මෙයා හදන්නේ චණ්ඩි පාට් එක පෙන්නලා බය කරගන්න. හැමදා නියං එකදා වැහි වලාවේ... කිව්වා වගේ ඔත්තු යානාව බිම දාපු එකම තමා කාර්යය.