ඝාතනය කෙරුණු ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ රජයට, ඉරානය හොර රහසේ රසායනික අවි තොගයක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ ගැන වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට ඇමෙරිකා රජය කටයුතු කරන බවත් ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි. ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත ඒ බව අනාවරණය කළේ සී.අයි.ඒ. බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින්ය. ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් පවසා ඇත්තේ මධ්‍යම ලිබියාවේ ස්ථාන දෙකකදී විෂ වායු පිරවූ අවි තොගයක් සොයා ගැනීමට ලිබියානු කැරැුලිකාර පාර්ශ්වය සමත්වී ඇති බවය. එම අවි තොගය ඉරාන රජයෙන් ගඩාෆි ලැබී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින නමුත් එය තවමත් සනාථ වී නැතැයි ඇමෙරිකා බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. ඇමෙරිකාව ලිබියාවේ වත්මන් රජයත් සමඟ එක්වී ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද වාර්තා වෙයි. ඉරානය, එම අවි ගඩාෆි රජයට ලබා දී ඇත්තේ මීට වසරකට පමණ කාලයකදී යැයි ද ඇමෙරිකා බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. ඒ බව ඔප්පු වුවහොත් විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන බවට චෝදනා එල්ල වී සිටින ඉරානයට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගෙන් එල්ල වන පීඩනය තවත් වැඩි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.