දිග්ගැස්සෙමින් පවතින ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා කිසිම සැකයක් ඇති නොවන ආකාරයට තම ස්ථාවරය පැහැදිලි කළේය. මෙම සතියේ සඳුදා ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට පෙර ඉරිදා ඇමරිකානු ඊශ‍්‍රායෙල් මහජන කටයුතු පිළිබඳ කමිටුව ඇමතූ ජනාධිපති ඔබාමා ඇමරිකාව සතු සියලූ බලය යොදා ඊශ‍්‍රායෙලය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සහතික වූයේය. සියලූ බලය යන්නට දේශපාලනික, රාජ්‍යතාන්ති‍්‍රක, ආර්ථික හා යුදමය යන සියලූ අංශ ඇතුළත් වන අතර යුදමය වශයෙන් න්‍යෂ්ටික අවි යොදා ගැනීමට ඇති ඉඩකඩ ඔහු බැහැර නොකළේය. මීට පෙර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කිරීම සඳහා සියලූ විකල්ප යොදා ගන්නා බව ජනාධිපති ඔබාමා පැවසුවත් න්‍යෂ්ටික බලය ඇතුළුව සියලූ බලශක්තින් යොදා ගන්නා බවට මෙතරම් පැහැදිලි ප‍්‍රකාශයක් කර තිබුණේ නැත. ඉරිදා පැවැති සාකච්ඡාවට පෙර අත්ලාන්තික් සඟරාව සමග පැවැත්වූ සාකච්ඡාවකදී තමා ඊශ‍්‍රායෙල් රාජ්‍යය හා එහි ආරක්ෂාව සම්බන්ධයෙන් වූ පොරොන්දු සියල්ල ඒ ආකාරයෙන් ම ඉටුකළ බව ද අවධාරණය කළේය. ඉරාකයේ යුද්ධය ප‍්‍රතික්ෂේප කරමින් බලයට පැමිණි ඔබාමා මෙවැනි සහතිකයක් ඊශ‍්‍රායෙලයට හා එක්සත් ජනපදයේ යුදෙව් ප‍්‍රජාවට ලබාදීමට මූලික වශයෙන් හේතුවූ කරුණු දෙකක් දැක්විය හැක. ඉන් පළමුවැන්න ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී යුදෙව් ප‍්‍රජාවගේ සහාය ලබාගැනීමේ අපේක්ෂාවයි. එක්සත් ජනපදයේ යුදෙව් ජන සංඛ්‍යාව ප‍්‍රමාණයෙන් කුඩා වුවද දේශපාලන වශයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුලයි. ආර්ථික බලයක් වන මෙම යුදෙව් ප‍්‍රජාවගේ සහාය නොමැතිව කිසිම ඇමරිකානුවෙකුට ජනාධිපතිවරණයක් ජය ගැනීම හෝ ප‍්‍රසිද්ධ දේශපාලනයේ යෙදීමට නොහැක. ඔබාමා ඉරානය සම්බන්ධයෙන් වැනෙන සුළු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ඊශ‍්‍රායෙල් රාජ්‍යයේ ආරක්ෂාව අනතුරකට පත් කර ඇතැයි රිපබ්ලිකන් පක්ෂය ද චෝදනා කරයි. එම නිසා ඊශ‍්‍රායෙලයට වඩාත් හිතවත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව යුදෙව් ප‍්‍රජාවට සහතිකවීම ඔහුට නැවත වරක් ජනාධිපති තනතුරට තේරී පත්වීමට ඇති ඉඩ ප‍්‍රස්ථා පුළුල් කිරීමකි. දෙවැනිව එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කිරීමට වහා කටයුතු නොකරන්නේ නම් තමන් ඒකපාක්ෂිකව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව ඊශ‍්‍රායෙලය නිතර අවධාරණය කරන නිසා ඔවුන් සැනසීමට වැඩපිළිවෙළක් අවශ්‍ය වීමය. අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ සඳුදා ජනාධිපති ඔබාමා හමුවූ අතර ඊට පෙර සතියේදී ඊශ‍්‍රායෙල් ආරක්ෂක ඇමැති එහුඞ් බරාක් ද ඇමරිකානු සංචාරයක යෙදුණේය. න්‍යෂ්ටික අවි තැනීමේ කි‍්‍රයාමාර්ගයට අවතීර්ණව සිටින ඉරානය පසු නොකළ යුතු රතු ඉරක් දැක්විය යුතු යැයි ඊශ‍්‍රායෙලය අවධාරණය කරයි. ඊශ‍්‍රායෙල් අගමැතිවරයාගේ ඇමරිකානු සංචාරයේ මූලික අරමුණ වූයේ එවැනි සීමාවක් පිළිබඳව එක්සත් ජනපදය සමග එකඟතාවක් ඇති කර ගැනීමය. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අඩාල කිරීමට  ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන ජනාධිපති ඔබාමා මෙම වසරේදී එවැනි කාර්යයකට පිවිසීමට අකමැති වන්නේ වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණය නිසා ය. එක්සත් ජනපදයේ ආරක්ෂක සැපයුම් අංශයේ ව්‍යාපාරිකයන් හා ඔවුන්ට සහාය දෙන ජනමාධ්‍ය ඉරානයට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ගයක් ගැනීම අනුමත කරන නමුත් සාමාන්‍ය ඇමරිකානු ජනතාව තුළ ඇත්තේ ඊට වෙනස් මතයකි. මෑතක පැවැත්වූ ජනමත විමසුම් කීපයකදීම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරානය සමග යුද්ධයකට යෑම අනුමත කරන්නේ සියයට 21 ක් පමණ බව අනාවරණය විය. ජනාධිපතිවරණය පැවැත්වෙන වසරකදී ජනමතය සම්පූර්ණයෙන්ම නොතකා කි‍්‍රයා කිරීම අවදානම් සහිත කි‍්‍රයාවක් නිසා යුද්ධය අඩුම වශයෙන් ලබන දෙසැම්බරය තෙක් හෝ කල් දැමිය යුතුය. තමා ඊශ‍්‍රායෙලයට ලබාදී ඇති පොරොන්දු ඉටු නොකරන බොරුකාරයකු නොවන බව ජනාධිපති ඔබාමා අත්ලාන්තික් සඟරාවට ප‍්‍රකාශ කළේ එම නිසාය. අනෙක් අතට ඉරානය සමග යුද්ධයකට පිවිසුණහොත් එය ඉක්මනින් ජයග‍්‍රාහිව අවසන් කළ හැකි යැයි සහතිකයක් නැත. ඉරාකය මෙන් භූමි ප‍්‍රමාණය හා ජන සංඛ්‍යාව අතින් තුන් ගුණයක් විශාල ඉරානය පහසුවෙන් ජය ගත හැකි යැයි විශ්වාස කිරීම අපහසුය. දිග්ගැස්සෙන යුද්ධයක් එක්සත් ජනපදය තුළ යුද විරෝධි ව්‍යාපාර ඉස්මතුවීමට හේතුවක් විය හැකි නිසා මෙම වසරේදී ඔබාමාට යුද්ධයක් අවශ්‍ය නැත. ඊශ‍්‍රායෙලයද මෙම තත්ත්වය හොඳින් දනී. එක්සත් ජනදය තුළ ඊශ‍්‍රායෙලය සංවේදී මාතෘකාවක් නිසා ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකින්ම ඉහළම පොරොන්දුවක් ලබාගත හැක්කේ මැතිවරණ වසරකදීය. රතු ඉරි ගැන කතා කරන්නේ එම නිසාය. ඊට අමතරව ඉරානය සමග සාකච්ඡා කරන්නේ නම් අඩුම වශයෙන් කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතු බව ඊශ‍්‍රායෙලය අවධාරණය කරයි. එනම් ක්වාම් නගරය ආසන්නයේ භූගතව ඇති න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉවත් කිරීම හා යුරේනියම් බලගැන්වීම නතර කොට බලගන්වා ඇති සියලූ යුරේනියම් තොග රටින් ඉවත් කිරීමය. පැහැදිලිවම දැකිය හැකි ආකාරයට ඉරානය මේ කොන්දේසි දෙකට කිසිසේත් එකඟ නොවනු ඇත. එවිට ඇති විකල්පය වන්නේ යුද්ධයයි. අනෙක් අතට ඉරානයට එරෙහිව යුදමය කි‍්‍රයා මාර්ගයක් ගැනීම හේතු යුක්ති කිරීමට තවත් කි‍්‍රයා මාර්ග ගැනීමට ද ඊශ‍්‍රායෙලය සූදානම්ය. ඉන් එකක් වන්නේ ඉරානයේ ඔත්තු සේවා විසින් ඊශ‍්‍රායෙලයටත් සෙසු රටවලටත් එරෙහිව ත‍්‍රස්තවාදී කි‍්‍රයා මාර්ග ගන්නා බව තහවුරු කිරීමය. එවැනි කි‍්‍රයාවන්ට ඉරානය පොළඹවා ගැනීමේ උත්සාහයක් වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හා සම්බන්ධ විද්‍යාඥයින් ඝාතනය කිරීමය. තෙහෙරාන් නගරයේදීම එවැනි ප‍්‍රහාර දෙකක් එල්ලවිය. ඒ පිළිබඳ වගකීම ඊශ‍්‍රායෙලය භාර නොගත් නමුත් ඒ පිටුපස ඊශ‍්‍රායෙල් ඔත්තු සේවා සිටින බවට සැකයක් නැත. ඉරානයද එවැනි පියවර ගන්නා බවට සාධකයක් ලෙස එක්සත් ජනපදයේ සෞදි තානාපති මරා දැමීමට ගත් උත්සාහයක් ගැන බටහිර ජනමාධ්‍යවල පළවිය. එහෙත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගැනත් ඔවුන්ගේ කි‍්‍රයා මාර්ගය ගැනත් පළවූ තොරතුරු අනුව සෞදි තානාපති ඝාතනය කිරීමේ සැලැස්මක් තිබුණේද යන්න බොහෝ දෙනාගේ සැකයට භාජන විය. අනෙක් සිද්ධිය වූයේ පසුගිය පෙබරවාරි 13 වැනිදා නවදිල්ලියේ හා ජෝර්ජියාවේ ඊශ‍්‍රායෙල් තානාපති නිලධාරින් ඉලක්ක කර ගත් ප‍්‍රහාරයි. නවදිල්ලියේ ප‍්‍රහාරයෙන් ඊශ‍්‍රායෙල් තානාපති කාර්යාලයේ නිලධාරියකුගේ බිරිඳ ගමන් ගත් මෝටර් රථයට හානි සිදුවුවත් ඇයට තුවාල සිදුවී නැත. ජෝර්ජියාවේදී කාරයක අටවා තිබූ බෝම්බය කිසිවෙකුටත් හානියක් නැතිව නිෂ්කී‍්‍රය කිරීමට හැකිවිය. ඊට පසුවද එනම් පෙබරවාරි 14 වැනිදා බැංකොක් නගරයේදී බෝම්බ පිපිරීමක් සිදුවුවද ඉන් හානියක් සිදුව ඇත්තේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයෙකුටය. මේ සිද්ධීන් තුනම එකම ආකාරයට සැලසුම් කොට එකම ආකාරයේ පුපුරණ ද්‍රව්‍ය යොදා ප‍්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්වූ ඊශ‍්‍රායෙලය ඒ පිළිබඳ චෝදනා එල්ල කළේ ඉරානයටය. එහෙත් මෙතෙක් සොයා ගෙන ඇති තොරතුරු අනුව සිද්ධීන් තුන අතර සම්බන්ධයක් ඇතැයි සැක කළ නොහැකි බව බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මෙම සිද්ධීන් ඉරානයට එරෙහිව ප‍්‍රහාරයක් වහාම දියත් කිරීම හේතු යුක්ති කිරීමේ අරමුණෙන් ඊශ‍්‍රායෙලය හෝ ඔවුන් හා සම්බන්ධ කණ්ඩායමක් සිදු කරන ලද බවට බොහෝ අංශවලින් සාධාරණ සැකයක් මතුව ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැනද මතුව ඇත්තේ මෙවැනිම සැක සහිත තත්ත්වයකි. එක්සත් ජනපද ඔත්තු සේවා ආයතනවලින් ලබාගත් තොරතුරු පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ මෑතක පළවූ ලිපියක් අනුව ඉරානය 2007 වසරේදී න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ උත්සාහය අතහැර දමා ඇත. මේ බව 2010 දී එක්සත් ජනපද ඔත්තු සේවා තහවුරු කළ බව එම ලිපියේ සඳහන් වේ. පසුගිය වසරේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පාන්ටා සෙනට් මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින් මෙම අදහස තහවුරු කෙළේය. එහෙත් එක්සත් ජනපදය අරාබිකරයේ තම යුද සූදානම් උත්සන්න කරමින් සිටී. ගුවන් යානා හාරක යුද නැව් දෙකක් ගල්ෆ් කලාපයේ රඳවා ඇති අතර ඊශ‍්‍රායෙලයේත් අරාබි රටවලත් නතර කොට ඇති සිය හමුදා උපරිම සූදානමෙන් පවත්වා ගනී, හදිසි මෙහෙයුමකට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා ගැනීමට සෙනෙට් මණ්ඩලයෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ. වඩාත් ප‍්‍රබල හේතුව වන්නේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ කුමක් වුවත් ඉරානයේ පාලකයන් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඊශ‍්‍රායෙලයට මෙන්ම එක්සත් ජනපදයට පැවතීමය. 1980-88 ඉරාක - ඉරාන යුද සමයේදී එක්සත් ජනපදය අන්තර්ජාතික සම්බාධක නොතකා ඉරාකයට රසායන අවි හා ජෛව විද්‍යාත්මක අවි ලබා දුන්නේ ඒ නිසාය. එවැනි තත්ත්වයක් යටතේ ඉරානයට එරෙහිව යුද මෙහෙයුමක් සිදු කිරීම අනිවාර්ය වුවද එහි ප‍්‍රතිඵලය මෙන්ම එවැන්නක් සිදුවිය හැකි දිනය ගැනද ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි.
සටහන -මහින්ද හත්තක
ඉරාන ජනපති අහමඞ් නෙජාඞ් ඔබාමා සහ නෙතන්යාහු අතර සාකච්ඡා