පසුගිය සතියේ ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් පාලක කොංග‍්‍රස් පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂක ප‍්‍රනාබ් මුඛර්ජි සිය ප‍්‍රතිවාදියා වූ හිටපු කතානායක පී.ඒ. සංග්මා පහසුවෙන්ම පරාජය කෙළේය. ඉන්දියාව පාර්ලිමේන්තුවේ සහ ප‍්‍රාන්ත රාජ්‍ය සභා මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකින් මෙම තෝරා පත්කිරීම සිදුවන නිසා පාලක කොංග‍්‍රස් සභාගයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය ගැන සැකයක් තිබුණේ නැත. පාලක පක්‍ෂයෙන් ජනාධිපති තරගයට ඉදිරිපත් කළ අපේක්‍ෂකයෙකු ප‍්‍රථම වරට පරාජය වූයේ 1969  දීය. ඒ බලයේ සිටි කොංග‍්‍රසයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා විපක්‍ෂ කණ්ඩායමෙන් ඉදිරිපත් කළ වී.වී. ගිරිට පරාජය වීමෙනි.  මෙවර භාරතීය ජනතා පක්‍ෂය ප‍්‍රමුඛ විපක්‍ෂ සන්ධානයෙන් ඉදිරිපත් කළ පී. ඒ සංග්මාද එවැනි ජයග‍්‍රහණයක් අපේක්‍ෂා කළද එවැන්නක් සිදු වූයේ නැත. ඊට එක හේතුවක් වූයේ  ජනාධිපති තරගය සඳහා නාමයෝජනා භාරදෙන තෙක්ම මුදල් ඇමති තනතුර දැරූ මුඛර්ජි කෘතහස්ත දේශපාලකයෙකු වීමය. අනෙක් අතට විපක්‍ෂ සන්ධානයේම ජනතා ඩාල් (එක්සත්)  හා සිව් සේනා වැනි පක්‍ෂවලින්ද මුඛර්ජිට සහාය ලැබීමයි. කොංග‍්‍රස් සන්ධාන රජයේ පළමු පෙළේ නායකයෙකු වන ප‍්‍රනාබ් මුඛර්ජිගේ ජයග‍්‍රහණය ප‍්‍රාන්ත සභා සහ ලෝක් සහා ඡන්ද විමසීම් ගණනාවකින් පසුබා සිටින කොංග‍්‍රස් පක්‍ෂයට 2014 දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට ධෛර්යයකින් හා විශ්වාසයකින් යුතුව මුහුණ දීමට තරම් ප‍්‍රබල සාධකයක් වන්නේද යන්න විමසිය යුතු කරුණකි. නාම මාත‍්‍ර විධායකයෙකු වන ඉන්දියානු ජනාධිපතිවරයාට තීරණාත්මක දේශපාලන භූමිකාවක් හිමි වන්නේ නැත. එහෙත් ලෝක් සභා  මැතිවරණයකින් පසුව කිසිම පක්‍ෂයකට  නිශ්චිත බහුතරයක් ලබාගත නොහැකි වුවහොත් නව රජය පිහිටුවීමට ආරාධනය කරන්නේ  කුමන කණ්ඩායමට ද නැතිනම් කුමන සන්ධානයටද යන්න තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා සතුය. මෑතකදී ඇතිවූ සම්ප‍්‍රදායක් අනුව ලෝක් සභාව නියෝජනය කරන පක්‍ෂවලින් සහාය  පළ කෙරෙන ලිපි මගින් ලෝක් සභාවේ බහුතරයක් තමන් සතුව ඇතැයි තහවුරු කරන නායකයාට රජයක් පිහිටුවීමට ආරාධනය කළ යුතුය. එවැනි තත්ත්වයක් නව ජනාධිපති ප‍්‍රනාබ් මුබර්ජි සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත්  වන්නේ ඔහු  මෑතක් වනතුරුම කි‍්‍රයාකාරී දේශපාලනයේ යෙදී සිටීම නිසාය. තනතුරෙන් ඉවත්ව යන පතෙල් මහත්මිය කොංග‍්‍රස් පාක්‍ෂිකයෙක් වුවත්  කලක් තිස්සේ කි‍්‍රයාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියාය. ඊට පෙර සිටි ජනාධිපති අබ්දුල් කලාම් කිසි විටෙකත් කි‍්‍රයාකාරි දේශපාලනයේ යෙදී සිටි බවක් වාර්තා වන්නේ නැත. කෙසේ වුවත් කලින් සඳහන් කළ ආකාරයට වැදගත් වන්නේ 2014 දී පැවැත්විය යුතු මහා මැතිවරණයට සාපේක්‍ෂකව මෙම ජයග‍්‍රහණය කොංග‍්‍රස් සන්ධානයට විශේෂ වාසියක් අත් වන්නේද යන්නයි. දැනට මතුවෙමින් පවතින තත්ත්වය යටතේ මෙම ජයග‍්‍රහණයෙන් කොංග‍්‍රස් පක්‍ෂය අභ්‍යන්තරව හෝ ජාතික වශයෙන් මුහුණදී ඇති කිසිම ගැටලූවකට සාධනීය බලපෑමක් වන්නේ නැත. ජනාධිපතිවරණයේදී තම ඡන්දය දීමෙන් අනතුරුව ජනමාධ්‍යකරුවන් ඇමතූ මන්මෝහන් සිංග් ගේ කැබිනෙට්ටුවේ ප‍්‍රධාන පෙළේ ඇමතිවරයකු වූ ෂරාද් පවාර් බොහෝ නායකත්ව ඇති ජාතික කොංග‍්‍රසය තව දුරටත් සන්ධානය තුළ රැඳී සිටීමට අදහස් නොකරන  බව පැවසුවේය. සභාගය තුළ තීරණ ගැනීමේදී කොංග‍්‍රස් නායකත්වය සෙසු පක්‍ෂ නොසලකා කි‍්‍රයාත්මක වන බව පැවසූ ෂරාද් පවාර් ඇමති  තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති මන්මෝහන් සිංග්ට භාරදුන් බවද හෙළි කෙළේය. මින් ඉදිරියට ලෝක් සභාව විසුරුවා හරින තෙක් ජාතික කොංග‍්‍රසය මන්මෝහන් සිංග්ගේ රජයට බැහැරින් සිට ආධාර කරනු ඇත. මහාරාෂ්ටයේ කොංග‍්‍රස් රජය බලය පවත්වා ගෙන යන්නේ ෂරාද් පවාර්ගේ ජාතික කොංග‍්‍රස් පක්‍ෂයේ සහාය ඇතිව නිසා මෙම ප‍්‍රකාශය  ප‍්‍රාන්ත රජයේ ස්ථාවරත්වයටද බලපායි. කොංග‍්‍රස් සන්ධානයේ තවත් ප‍්‍රබල කණ්ඩායමක් වන මමතා බැනර්ජිගේ නායකත්වයෙන් යුතු තෘණමුල් කොංග‍්‍රසයද  ඊළඟ මහ  මැතිවරණයේදී ස්වාධීනව තරග කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර ඇත. ජනාධිපති තනතුරට මුඛර්ජි ගේ නාම යෝජනා  කිරීමට විරුද්ධවූ බටහිර බෙංගාල මහ  ඇමතිනි මමතා බැනර්ජි ඔහුට සිය සහාය පළ කළේ අවසාන මොහොතේය. ප‍්‍රනාබ් මුඛර්ජිගේ ජයග‍්‍රහණය නොවැළැක්විය හැකිවීමද මෙවැනි තීරණයක් ගැනීමට හේතුවූ බව සමහර නිරීක්ෂකයෝ පවසති. එහෙත් 2014 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තෘණ මුල් කොංග‍්‍රසය තනිවම සටන් වදින බව ඇය අවස්ථා කීපයකදීම කීවාය. පසුගිය ප‍්‍රාන්ත සභා ඡන්ද විමසීමේදී දශක තුනකට වැඩි කාලයක් එකදිගට පාලන බලයේ සිටි වාමාංශික පෙරමුණ පරදවා විශිෂ්ට ජයග‍්‍රහණයක් අත් කර ගත් මමතා බැනර්ජි මහත්මියට කොංග‍්‍රස් පක්ෂ බටහිර බෙංගාලයේදී අභියෝගයක් නොවේ. පාලක කොංග‍්‍රසයට මුහුණ දීමට සිදුවන අනෙක් අභියෝගය වන්නේ ආන්ද්‍ර ප‍්‍රදේශ්හි නව දේශපාලන පෙළගැස්මයි. කොංග‍්‍රස් පක්ෂය යටතේ පසුගිය ප‍්‍රාන්ත සභා ඡන්ද විමසීමට මුහුණ දුන් අභාවප‍්‍රාප්ත වයි.එස්. රාජසේකර රෙඞ්ඩි විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ඔහුගේ හදිසි අභාවයෙන් පසු සිය පුත් ජගන් මෝහන් රෙඞ්ඩි මහ ඇමැති තනතුර අපේක්ෂා කළද නවදිල්ලියේ කොංග‍්‍රස් නායකත්වය ඊට සවන් දුන්නේ නැත. ප‍්‍රතිඵලය වූයේ ආන්ද්‍ර ප‍්‍රදේශ් කොංග‍්‍රසය දෙකඩ වීමය. වයි.එස්.ආර්. කොංග‍්‍රස් නමින් හැඳින්වෙන එම කණ්ඩායම පසුගියදා ප‍්‍රාන්ත සභා ආසන 18 ක් සඳහා පැවැති අතුරු මැතිවරණයේදී ආසන 16 ක්ම පහසුවෙන් දිනා ගත්තේය. රෙඞ්ඩි හා කොංග‍්‍රස් නායකත්වය අතර පවතින මෙම ගැටුම නිරාකරණය නොවන්නේ නම් කොංග‍්‍රස් පක්ෂයට ඉදිරියේදී ආන්ද්‍ර ප‍්‍රදේශ් දේශපාලනය පහසු නොවනු ඇත. දැනට පවතින දේශපාලන පෙළ ගැස්ම අනුව එවැන්නක් සිදු වේයැයි අපේක්ෂා කළ නොහැකි නිසා මහ මැතිවරණයකදී කොංග‍්‍රස් සන්ධානයට ආන්ද්‍ර ප‍්‍රදේශ ගැන වැඩි බලාපොරොත්තුවක් රැඳවිය නොහැක. වැදගත් වන්නේ කොංග‍්‍රස් සන්ධානයේ දැකිය හැකි මෙම පසුබෑම භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට වාසි සහගත තත්ත්වයක් නොවීමය. ජනාධිපති තරගයේදී භාරතීය ජනතා පක්ෂය සංග්මාට සහාය දැක්වීමට ගත් තීරණය ප‍්‍රතික්ෂේප කළ සිව් සේනා සභාගය දුන්නේ පාලක කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රනාබ් මුඛර්ජිටය. භාරතීය ජනතා පක්ෂය බලයේ සිටින කර්ණාටකයේ සහායද ඔවුන්ට අහිමි විය. කර්ණාටකයේ ඡන්දවලින් ප‍්‍රනාබ් මුඛර්ජිට 117 ක් හිමි වූ අතර සංග්මාට හිමිවූයේ 103 ක් පමණි. ඊට මූලික හේතුව වූයේ කර්ණාටක භාරතීය ජනතා පක්ෂය තුල හට ගෙන ඇති අභ්‍යන්තර ආරවුල්ය. දුෂණ වංචා හා අකටයුතුකම් පිළිබඳව කර්ණාටක භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයට නැගී ඇති චෝදනා ගැන නවදිල්ලියේ පක්ෂ නායකත්වය නිසි පියවරක් නොගැනීම නිසා කර්ණාටකයේ පක්ෂ කණ්ඩායම දෙකඩ වීමට ආසන්නය. භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයාට වඩා කොංග‍්‍රස් අපේක්ෂකයාට ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ මෙම බෙදීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙවැනිම තත්ත්වයක් භාරතීය ජනතා පක්ෂය ජේ.ඇම්.ඇම්. සමග සභාග රජයක් පිහිටුවා ගෙන සිටින උත්තරාඛාන්ද් ප‍්‍රාන්තයෙන්ද වාර්තා විය. එහිදීද ජේ.ඇම්.ඇම්. කණ්ඩායම සහාය ලබා දී ඇත්තේ කොංග‍්‍රස් පක්ෂයේ අපේක්ෂකයාවූ මුඛර්ජිටය. මෙවැනි පසුබිමක කොංග‍්‍රස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප‍්‍රනාබ් මුඛර්ජි ජනාධිපති තනතුරට පත්වීම පාලක කොංග‍්‍රස් පක්ෂයේ හෝ එම සන්ධානයේ ශක්තියට හා ජනප‍්‍රියතාවට හේතුවක් නොවේ. ජාතික කොංග‍්‍රස් නායක ෂරාද් පවාර් සඳහන් කරන ආකාරයට කොංග‍්‍රස් පක්ෂය තීරණ ගැනීමේදී සභාගයේ සෙසු පක්ෂ නොතකා ක‍්‍රියා කිරීම එම රජයේ පැවැත්මට තීරණාත්මකව බලපානු ඇත. කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබල නායකයෙකු වූ ෂරාද් පවාර් කොංග‍්‍රස් පක්ෂයෙන් ඉල්ලා අස් වූයේ පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨ නායකයින් නොසලකා ඉන්දිරා ගාන්ධි පක්ෂ නායකත්වයට පත් කිරීම නිසාය. මෙවරද පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨ නායකයන් නොසලකා රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයට පත් කළ හොත් කොංග‍්‍රස් පක්ෂය තවත් අර්බුදයකටත් බෙදීමටත් තුඩුදිය හැක. එසේ වුවහොත් 2014 මහා මැතිවරණයට කොංග‍්‍රස් පක්ෂය ඉදිරිපත් වන්නේ අභ්‍යන්තර ගැටලූ රාශියක් මධ්‍යයේය. ඉන් විශේෂ වාසියක් ලබාගැනීමට භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට නොහැකි වීමෙන් ලෝක් සභාවේ නිශ්චිත බහුතරයක් කිසිම සන්ධානයකට හිමිකර ගැනීමට අසීරු විය හැකිය. එවිට ජනාධිපති මුඛර්ජි සතු භූමිකාව නැවතත් තීරණාත්මක වනු ඇත. සටහන - මහින්ද හත්තක ප‍්‍රනාබ් මුඛර්ජි දිවුරුම්දීමට පැමිණි අවස්ථාව සෝනියා ගාන්ධි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කරමින් කොංග‍්‍රස් පක්ෂ ආධාරකරුවෙක් මන්මෝහන් සිංග් ලෙස සැරසී හිටපු ජනාධිපති පතෙල් මහත්මියගෙන් නව ජනාධිපතිට සුබ පැතුම් මන්මෝහන් සිංග් නව ජනපතිට සුබ පැතීමට පැමිණ