මීට වසරකට පෙර, සෝමාලි මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහා ගෙන ඉතාලි භාණ්ඩ ප‍්‍රවාහන නැවක සිටි ආරක්ෂක අංශ නිලධාරීන් කළ වෙඩි තැබීමකින් දකුණු ඉන්දියාවේ කෙරළ ප‍්‍රන්තයේ ධීවරයන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය මේ වන විට රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් දුර දිග ගොස් ඇත.
එම සිද්ධිය අවස්ථාවේ ඊට සම්බන්ධ ඉතාලි ජාතික ආරක්ෂක නිලධාරීහු දෙදෙනා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. ඉන්පසු සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයක් ද ආරම්භ කෙරුණි.
ආපසු ඉන්දියාවට පැමිණිමේ පොරොන්දුව මත ඉකුත් වසර අවසානයේ දී එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට යළි ඉතාලියේ ඔවුන්ගේ පවුල් වෙත යෑමට ඉන්දීය අධිකරණයෙන් අවසර ලැබුණි. අධිකරණය එම අවසරය දුන්නේ ද එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. 
ඔවුන්ට මාසයක කාලයක් ලැබි තිබුණි. එම කාල සීමාව මේ වන විට ඉකුත් වී ඇති අතර, නිලධාරීන් දෙදෙනා ආපසු ඉන්දියාවට පැමිණීම ප‍්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව ඉන්දියාවත් ඉතාලියත් අතර  වූ රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදය දුරදිග ගියේය. ඉන්දීය රජය පෙරේදා (12) එරට සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි කැඳවා ඔහුට විරෝධය පළ කර සිටියේය.
එම ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා යළි ඉන්දියාවට පැමිණෙන්නේ නැති නම් ඒ ගැන අන්තර් ජාතික අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමට ඉන්දියාව සූදානම් වේ. ඒ අනුව ඉන්දියාවත් ඉතාලියත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමේ අවදානමක්ද හට ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති