ඉන්දියාවේ ජනාධිපති ධුරය ගෞරවාන්විත නාමමාත‍්‍ර තනතුරකි. වසර පහෙන් පහට ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපතිවරියක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ඡුන්ද විමසීම මහත් ආන්දෝලනයකට තුඩු දෙන කරුණක් නොවේ. එහෙත් ලෝක් සභාවේ හා ප‍්‍රාන්ත රාජ්‍ය සභා මන්ත‍්‍රීවරුන්ගේ  ඡුන්දයෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ශක්තිය හා ජනප‍්‍රියතාව උරගා බැලීමක් වන නිසා විශේෂ උනන්දුවක් දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. වත්මන් ජනාධිපතිනිය ප‍්‍රතිභා මහත්මියගේ නිල කාලය අවසන් වීමෙන් ජුලි 19 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසුම මෙවර විශේෂයෙන් වැදගත් වන්නේ 2014 වසරේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර ප‍්‍රධාන දේශපාලන කඳවුරු දෙක වන පාලක එක්සත් ප‍්‍රගතිශීලී සන්ධානයේ හා ප‍්‍රධාන විපක්ෂය වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයේ ජනප‍්‍රියතාව විමසා බැලීමේ අවස්ථාවක් වන නිසාය. මෑතකදී පැවැත්වූ ප‍්‍රාන්ත සභා හා ලෝක් සභා ආසන කීපයක් සඳහා පැවති ඡුන්ද වීමසීම්වලින් පසුබෑමට ලක්වූ සහ බරපතළ දූෂණ හා වංචා පිළිබඳ චෝදනා එල්ල වී ඇති ජාතික ප‍්‍රගතිශීලි සන්ධානයේ මන්මෝහන් සිංග් රජයට මෙය සිය ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාවකි. පසුබෑම් ගණනාවකට මුහුණ දී සිටින භාරතීය ජනතා පක්ෂයටද තම නියෝජිතයා ජනාධිපති ලෙස පත්කර ගැනීමට හැකි වුවහොත් විශාල පිම්මකි. ඇත්තෙන්ම ජනාධිපති තනතුර සඳහා තරග වැදීමට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වඩාත් අසීරුවූයේ පාලක සභාගයේ කොංග‍්‍රස් පක්ෂයටය. මධ්‍යම රජයේ හා ප‍්‍රාන්ත රාජ්‍යවල සහයෝගය දිනා ගැනීමට හැකි පුද්ගලයෙකු නම් කිරීම අපහසු වූ හෙයින් අගමැති මන් මෝහන් සිංග් ඊට යෝජනා කළ යුතු බවට අදහසක්ද පැතිරෙමින් තිබිණ. එහෙත් අගමැති මන්මෝහන් සිංග්ට විරුද්ධව එල්ල වී ඇති දූෂණ චෝදනා සහ අගමැති තනතුරට වඩාත් ගැලපෙන පුද්ගලගයකු නම් කිරීමට කොංග‍්‍රසයට හැකියාවක් නොතිබීම නිසා එම අදහස පැලපදියම් වූයේ නැත. මේ අතර ජනාධිපති තනතුරට ජන්ද වීමසීමක් නොපවත්වා පොදු එකඟතාවක් මත අපේකෂකයකු නම් කළ යුතු බවට අදහසක්ද පැතිරෙමින් තිබුණද ඊට සහාය පළවූයේ කොමියුනිස්ට් පක්ෂවලින් පමණි. ඉන්පසු ලෝක් සභාවේ කතානායකවරයකු වූ පී.ඒ. සංග්මාගේ නමද ජනාධිපති තනතුර සඳහා ඉදිරිපිත් විය. පාලක සභාගයේ ජාතික කොංග‍්‍රස් පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු මෙන්ම ගෝත‍්‍රික නායකයෙකුද වන සංග්මා යෝජනා කිරීම වඩාත් සුදුසුයැයි මතයක් ප‍්‍රචලිත වුවද ඊට කොංග‍්‍රස් පක්ෂයේ සහාය පළ වුයේ නැත. පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසට භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන ලාල් අද්වානි සහ එහි පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකා සුෂ්මා ස්වරාජ් විරුද්ධ වූහ. ඔවුන්ගේ තර්කය වූයේ 2014දී එළඹෙන පාර්ලිමේන්තු ජන්ද විමසීමට සාර්ථකව මුහුණ දීමට නම් ජනාධිපති තනතුර සඳහා ප‍්‍රබල ආපේක්ෂකයකු ඉදිරිපත් කොට ඔහුගේ ජයග‍්‍රහණය උදෙසා දැඩි කැපවීමෙන් වැඩ කළ යුතුය යන්නයි. එහෙත් ගැටලූව වූයේ ප‍්‍රබල අපේක්ෂකයකු තෝරා ගැනීමය. පාක්ෂික බැඳීම් ඉක්මවා යන ජනප‍්‍රිය හා ආකර්ෂණීය නායකයෙකු සොයා ගැනීමට භාරතීය ජනතා පක්ෂයට පහසුවූයේ නැත. එමනිසා ඔවුහු තම පාලක කොංග‍්‍රස් පක්ෂයේ සහාය නොලබන සංග්මාට සහාය දැක්වීම වඩාත් උචිත ක‍්‍රියාමාර්ගය බව හඳුනා ගත්හ. ගෝත‍්‍රික නායකයෙකු මීට පෙර ජනාධිපති ධුරයට පත්ව නැති නිසා සංග්මාට සහාය දැක්වීම හොඳ පියවරක් සේ පෙනුනද ඔවුන්ගේ සභාගයේ අනෙක් පක්ෂවල සහාය දිනා ගැනීම පහසුවූයේ නැත. භාරතීය ජනතා පක්ෂය සමග ලේ උරුමකමක් ඇති ෂිව් සේනා පක්ෂයද සංග්මාගේ නාම යෝජනාවට කැමැත්තක් දැක්වූයේ නැත. සංග්මාට සහාය පළවූයේ ඔඩිසා මහ ඇමැති නවීන් පැට්නකයික්ගෙන් හා තමිල්නාඩු මහ අමැතිනී ජයලලිතාගෙන් පමණි. කොංග‍්‍රස් සභාග රජයේ පාර්ශ්වකරුවකු වන තෘණමුල් කොංග‍්‍රස් නායිකා බටහිර බෙංගාල මහ ඇමැතිනි මමතා බෙන්ර්ජි කලින්ම ජනාධිපතිවරයකුව සිටි අබ්දුල් කලාම් මහතාගේ නම යෝජනා කිරීමට ඉදිරිපත් වූවාය. එහෙත් පාලක කොංග‍්‍රසය දැනට මුදල් ඇමැති තනතුර දරන ප‍්‍රනාබ් මුකර්ජි ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම දේශපාලන වාතාවරණයේ කැපී පෙනෙන වෙනසක් සටහන් කරවීය. පක්ෂයේ පාර්ලිමේන්තු ධුරාවලියේ ආචාර්ය මන්මෝහන් සිංග්ට පමණක් දෙවැනි වූ ප‍්‍රනාබ් මුකර්ජි, මන්මෝහන් සිංග් ගෙන් පසුව අගමැති තනතුරට පත් කෙරෙනු ඇතැයිද බලාපොරොත්තුවක් තිබිණ. ගාන්ධි පවුලේ සාමාජිකයෙකු කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවන රජයක ප‍්‍රධාන තනතුරු සඳහා ඉදිරිපත් නොවන්නේ නම් වඩාත් ගැලපෙන වයෝවෘද්ධ නායකයා වන්නේ ප‍්‍රනාබ් මුකර්ජි බවට සැකයක් නැත. එවැනි පසුබිමක් තුළ නාමමාත‍්‍ර තනතුරක් වන ජනාධිපතිවරණයට මුකර්ජිගේ නම යෝජනා වූයේ ඇයිද යන්න අපැහැදිලිය. ඒ කෙසේ වුවත් මුකර්ජිගේ නම යෝජනාවීමත් සමග ඉන්දියානු දේශපාලන ක්ෂේත‍්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති වූ බව පෙනේ. මහා දූෂණ හා වංචා රැුසක් පිළිබඳව චෝදනා එල්ල වී ඇති මන්මෝහන් සිංග්ගේ රජයට දැන් ජූලි 19 වැනිදා පැවැත්වෙන ඡුන්ද විමසීමේදී පහසු ජයක් අත්කර ගැනීමේ හැකියාව ගැන බොහෝ නිරීක්‍ෂකයෝ විශ්වාසය පළ කරති. වඩාත් වැදගත් වන්නේ තරගය ආරම්භයේදී ඉදිරියෙන් සිටි භාරතීය ජනතා පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයට මෙතෙක් අපේක්‍ෂකයෙකු නම් කිරීමට හෝ හැකියාවක් නොමැති වීමය. ප‍්‍රනාබ් මුකර්ජිට විරුද්ධව හිටපු ජනාධිපතිවරයකු වූ අබ්දුල් කලාම් ඉදිරිපත් කිරීමට මමතා බෙනර්ජි ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ තමා තුළ තරගයට ඉදිරිපත් වීමේ අදහසක් නැතැයි කලාම් මහතා ප‍්‍රකාශ කිරීමෙනි. සංග්මා තරගයට ඉදිරිපත් වීමට සූදානම් වුවද ඔහුට ඒ සඳහා ශක්තිමත් පදනමක් නැත. තරගයට ඉදිරිපත් වුවහොත් ජාතික කොංග‍්‍රසයෙන් ඔහු ඉවත් කරන බවට එහි නායකත්වය දැනටමත් ප‍්‍රකාශ කර ඇති අතර ෂිව් සේනා පක්‍ෂයද සිය සහයෝගය මුකර්ජිට ලබාදීමට සූදානම්ය. මීට පෙර 2007 දී පැවැති ජනාධිපතිවරණයේදී ද ෂිව් සේනා පක්‍ෂය භාරතීය ජනතා පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයාට එරෙහිව කොංග‍්‍රස් පක්‍ෂයෙන් ඉදිරිපත් කළ ප‍්‍රතිභා මහත්මියට සහාය ලබා දුන්හ. ඔවුන් එය හේතු යුක්ති කෙළේ ඇය මහාරාෂ්ට‍්‍රයේ උපත ලැබූ කෙනෙකු වීම නිසාය. ඊට අමතරව භාරතීය ජනතා පක්‍ෂ සන්ධානයේ ප‍්‍රබල ප‍්‍රාදේශීය පක්‍ෂයක් වන ජනතා දාල් (එක්සත්) පක්‍ෂයේ නායක ෂරාද් යාදෙව් ද සංග්මාට සහාය දීමට අදිමදි කරන බව පෙනේ. ෂරාද් යාදෙව් බිහාර් ප‍්‍රාන්තයේ බලය හිමිකර ගෙන සිටින්නේ භාරතීය ජනතා පක්‍ෂයේ සහයෝගය මත නිසා මෙම ස්ථානය වෙනස් වීමට ඉඩක් තිබුණද ඉන් සමස්ත චිත‍්‍රයේ දැඩි වෙනසක් වන්නේයැයි කිව නොහැකිය. මෙම ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කුමන කණ්ඩායමේ සහාය ලබන අපේක්‍ෂකයාද යන්න ගැන තවම අනාවැකි කිව නොහැකි නමුත් ඉන් ඉන්දියානු දේශපාලනයේ දැනට පවතින ව්‍යාකූල, අවිනිශ්චිතභාවය පිළිබිඹුවේ. පිට පිට දෙවතාවක්ම මහා මැතිවරණ ජයගත් කොංග‍්‍රස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ප‍්‍රගතිශීලි සන්ධානය තව දුරටත් ජව සම්පන්න දේශපාලන බලවේගයක් නොවේ. ඊට හොඳම නිදසුන් වන්නේ රාජස්ථාන්, ආන්ද්‍රා ප‍්‍රදේශ් හා මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රාජ්‍ය මැතිවරණවලදී අත් වූ පරාජයන්ය. තම පැරණි බලකඳවුර වූ උත්තර් ප‍්‍රදේශ්හි කොංග‍්‍රස් පක්‍ෂය තවදුරටත් සැලකිය යුතු බලවේගයක් නොවේ. ඊට අමතරව සභාග රජයේ පාර්ශ්වයක් වන තෘණ මුල් කොංග‍්‍රසය තව කොපමණ කලක් එහි සිටින්නේද යන්න සැක සහිතය. තෘණ මුල් කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක සුදිප් බරෝඩෝ පාද්‍යා පසුගියදා ප‍්‍රකාශයක් කරමින් තම පක්‍ෂයේ ඇමැතිවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට මානසික වශයෙන් සූදානමින් සිටින්නේයැයි සඳහන් කෙළේය. 2014 වසර වන විට තෘණ මුල් කොංග‍්‍රසය එක්සත් ප‍්‍රගතිශීලි සන්ධානය තුළ සිටීද යන්න සැක සහිතය. අනෙක් අතට භාරතීය ජනතා පක්‍ෂයේ කඳවුරට පාලක සන්ධානයේ දුර්වලතා හා පසුබෑම්වලින් විශේෂ වාසියක් අත්කර ගැනීමේ හැකියාවක් පවතින බවක් නොපෙනේ. පාලක පක්‍ෂයට එල්ල වී ඇති දූෂණ හා වංචා චෝදනාවලින් දේශපාලන වාසියක් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ කර්ණාටක වැනි භාරතීය ජනතා පක්‍ෂයේ පාලනය යටතේ පවතින ප‍්‍රාන්තවලින්ද එවැනිම සිද්ධීන් වාර්තා වන නිසාය. එවැනි සිද්ධීන් ගැන පක්‍ෂ නායකත්වය ගෙන ඇති පියවර සතුටුදායක නොවන නිසා දූෂණ හා වංචාවලට එරෙහිව මේ තුළ ගොඩ නැගෙමින් පවතින විරෝධයෙන් විශේෂ වාසියක් භාරතීය ජනතා පක්‍ෂයට ලබා ගැනීමටද නොහැක. ඉන්දියානු දේශපාලනයේ පවතින මෙම වාතාවරණය 2014 වන විට කැපී පෙනෙන ලෙස වෙනසකට භාජනය නොවන්නේ නම් (එසේ සිදුවන්නේයැයි සිතීමට තරම සාධක ඇත්තේ ද නැත.) මහා මැතිවරණයක් පැවැත්වීමෙන් විශේෂයෙන් කිසිදු වෙනසක් සිදු වන්නේයැයි කිව නොහැකිය. ජාති දේශපාලන පක්‍ෂ වන කොංග‍්‍රස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානය තුළත් භාරතීය ජනතා පක්‍ෂයේ සන්ධානය තුළත් ප‍්‍රාදේශීය න්‍යාය පත‍්‍ර අනුව වැඩ කරන දේශපාලන කණ්ඩායම් ප‍්‍රමුඛවීම වැළැක්විය නොහැකි වන අතර ඉන් ජාතික තලයේ ඇති කරන බලපෑම කෙබඳුදැයි තක්සේරු කිරීම අපහසුය. කෙසේ වුවත් එවැනි ප‍්‍රවණතාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට හෝ යහපාලනයට හේතු නොවන බව පැහැදිලිය.
සටහන - මහින්ද හත්තක
භාරතීය ජනතා පක්ෂයේ විරෝධතා අබ්දුල් කලාම් මමතා බැනර්ජි ඉන්දීය පාර්ලිමේන්තුව අගමැති මන්මෝහන් සිංග් වත්මන් ජනාධිපති ප‍්‍රතිභා පටෙල්