මෑතකදී සෞදි අරාබියේ නිල සංචාරයක යෙදෙන අතර තුර තම රටේ සේවා නියුක්ත පුරවැසියන් පිළිබදව කෙරුණ සමාලෝචනයකට අනුව ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩොඩො මහතාගේ නිර්දේශය මත සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 21ට ගෘහ සේවිකාවන් සහ රියදුරන් එවීම නවතා දැමීමට තීරණය කර ඇති බව සෞදි පුවත්පත් සදහන් කරයි.

ඒ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව  ඉන්දුනීසියානු බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 15  කට නොවැඩි කාලයක් තුළ  දැනට සෞදි අරාබියේ සේවයේ නියුතු සියලු  ගෘහ සේවිකාවන් සහ ගෘහ රියදුරන්  වහාම තමරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද සදහන් කරයි.

ඉන්දුනීසියා බලධාරීන් විසින් ගෙන ඇති මෙම දැඩි තීරණයත් සමග සෞදි අරාබියේ පවතින ගෘහ සේවක හිගය තව තවත් උග්‍ර වීමට බලපාන බව සදහන්වේ.

වැඩිදුරටත් පුවත්පත සදහන් කරනුයේ මේ වනවිට සෞදි අරාබියේ ඉන්දුනිසියානු පුරවැසියන් ලක්ෂ 7 කට නොවැඩි ප්‍රමාණයක් රැකියාවල නියුතු වන අතර එයින් වැඩි ප්‍රමාණයක් ගෘහ සේවිකාවන් බවය.

රියාද් සහ ජෙඩා පිහිටි ඉන්දුනීසියානු  තානාපති බලධාරීන් පවසනුයේ දිනකට අවම වශයෙන් කම්කරු ගැටළු 10 ක් පමණ වාර්තා වන බවත් එම ගැටළු වලින් බොහොමයක් වැටුප් පිළිබද ගැටළු බවයි.

ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරනුයේ සෞදි අරාබිය,කුවේට්,කටාර්,බහරේන්,ඕමාන්,ජෝර්දාන්,එක්සත් අරාබි එමිරය,ලෙබනනය සහ ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් 21 ක් සදහා  මෙම තහනම ක්‍රියාත්මක වන බව ඉන්දුනීසියානු බලධාරීන් පවසන අතර  මෙයට හේතු වශයෙන් සදහන් වනුයේ මෙම රටවල ගෘහ සේවය සම්බන්දව පනවා ඇති කම්කරු නීති රෙගුලාසි වල සහ සේවකයන්ගේ භෞතික සහ සදාචාරාත්මක අයිතිවාසිකම්  පිළිබදව ඇති අඩු ලුහුඩුකම් නිසා බවය.

කෙසේ වුවද මෙම ගැටලුවට ආසන්නතම හේතුව ලෙස සදහන් වනුයේ සෞදි  කම්කරු අමාත්‍යාංශය විසින් 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහ සේවක සේවිකාවන් සදහා විසා බලපත් නිකුත් කිරීම තහනම් කිරීමෙන් ඇතිවූ ගැටලු කාරී තත්වයි.

ඉන්දුනීසියානු බලධාරින් විසින් පනවන ලද අතිරේක කොන්දේසි සෞදි ජිවන රටාවලට සහ සම්ප්‍රදායන්ට අනුකුල නොවීම ගෘහ සේවක සේවිකාවන් මෙම රටවලට එවීම තහනම් කිරීමට තවත් හේතුවක් ලෙසද සඳහන් වේ.