ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
ක්‍රිකට් ආගමක්, දහමක්, උමතුවක් කරගත් භාරතයේ කෝටි සංඛ්‍යාත ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක පිරිසකට මෙන්ම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනාට ‘සචින් තෙන්දුල්කාර්’ යනු දෙවියෙකි. වෙසෙසින්ම භාරතයේ සෑම සියලු දෙනා ක්‍රිකට් ‘ආගමක්’ ලෙස සලකන අතර ඒ ක්‍රිකට් රන් දෙවොලේ ජීවමාන දෙවියා ලෙස සලකන්නේ සචින් තෙන්දුල්කාර් ය. ‘ගෝඩ් ඔෆ් ක්‍රිකට්’ (God of Cricket) යන නාමය ඔහුට ලැබී ඇත්තේද එනිසාම ය.
මේ වනවිට ඒ අසහාය ක්‍රිකට් ‘රන්තරුව’ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටී. එහෙත් ක්‍රිකට් ලෝකය ‘සචින්’ ගැන දිනපතා නිතිපතා කතා කරන්නේ ඔහුට සම කළ හැකි තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු නොමැති තරමට සචින් ඉදිරියේ අසමසම වාර්තා රැසක් සනිටුහන් වී ඇති නිසාය. ඒ හැරත් සචින් ගැන ලෝකය නිරන්තරයෙන් කතා වන්නේ ‘ක්‍රිකට්’ තරු අතර සිටින ලෝකයේ ‘පොහොසත්ම’ ක්‍රීඩකයා ඔහු වන බැවිනි. සචින් ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වූයේ කෙසේද? මොනවද ඔහුගේ ව්‍යාපාර? ඔහු එලෙසින් පොහොසත් වූයේ තව මොන වගේ දේ නිසාද?
අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන මොහොතක, ක්‍රිකට් ක්‍රීඩාව ආස්වාදය කරමින් තරග නරඹන මොහොතක අප සූදානම් වන්නේ ‘ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි’ විශේෂාංගය වෙනුවෙන් සචින් තෙන්දුල්කාර්ගේ ව්‍යාපාර ගැන කරුණු විස්තර කිරීමටය.
සචින් ගැන එහෙන් - මෙහෙන්
‘සචින්’ යන නාමය තාත්තා සචින් රමේෂ් තෙන්දුල්කාර්ගේ මුල් නම ලෙස යොදා ගත්තේ, ඉන්දීය සංගීතඥ සචින් දේව් බර්මන් හට ඇති ගෞරවය නිසාය. නවකතාකරුවකු වූ සචින්ගේ පියා සචින් දේව් බර්මන්ගේ සංගීතයට දැඩි ලෙස ප්‍රිය කළ චරිතයකි. තම බාල පුතු හට සචින් ලෙස ඔහු නම යෙදුවේ එනිසා යැයි සඳහන් වේ.
සචින් උපදින විට අද මුම්බායි ලෙස නම්කර ඇති නගරය එදා හැඳින්වූයේ ‘බොම්බේ’ නමිනි. 1973 අප්‍රේල් 24 වැනිදා මහාරාශ්ට්ර ප්‍රාන්තයට අයත් බොම්බේ හිදී උපත ලැබුවේ රාජ්පූර් සරස්වත් බ්‍රාහ්මණ (RSB) පෙළපතට අයත් සාමාජිකයකු ලෙසය. පියාගේ නම රමේෂ් තෙන්දුල්කාර්ය. ‘මරාති’ නවකතාකරුවකු ලෙස ඔහු ඉතා ප්‍රකට චරිතයකි.
සචින්ගේ පියා ‘රමේෂ්’ ගේ ප්‍රථම විවාහයේ දරුවන් තිදෙනෙකි. ඒ අනුව සචින් හට නිතින් සහ අජිත් යන අය්යලා දෙදෙනාද, සවිතා අක්කාද සිටී. සවිතා දියණිය බිහිකළ පසු රමේෂ්ගේ බිරිඳ මියගිය බව සඳහන් වේ. කලක් ගත වූ පසුව රමේෂ් තෙන්දුල්කාර් දෙවැනි වරට විවාහ වූයේ ‘රාජ්නි’ සමගය. ‘සචින්’ යනු ඒ විවාහයේ දරුවාය. සචින්ගේ මව ‘රාජ්නි’ රක්ෂණ ක්ෂේත්රයේ සේවය කළාය. ප්‍රාථමික ළමා අවදිය ‘තෙන්දුල්කාර්’ පවුලේ අය සමග සචින් ෙගවා ඇත්තේ සාහිත්‍ය සහවස් කෝපරේටිව් නිවාස සංකීර්ණයට අයත් නිවසකදීය. එය මහල් නිවාස සංකීර්ණයක් යැයි සඳහන් කළ හැකිය.
ළමා චණ්ඩියා
කුඩා කාලයේදී ‘සචින්’ යනු තරමක් දඟකාර වැඩ කළ පුංචි චණ්ඩියකු විය. පාසලේ අනෙකුත් ළමුන් සමග රණ්ඩු-සරුවල් කර ගත් කෙනෙක් යැයි සඳහන් වේ. විශේෂයෙන්ම ඔහු රණ්ඩුවට පැටලුණේ පාසලට ආ අලුත් ළමයින් සමගය. මේ පුංචි චණ්ඩියා එදා මුලින්ම ආස කළේ ක්‍රිකට්වලට නොව, ‘ටෙනිස්’ ක්‍රීඩාවටය. එවකට සිටි ලෝක ශූර ටෙනිස් තරුව වූ ජෝන් මැකෙන්රෝ සචින්ගේ ප්‍රියතම ක්‍රීඩකයා විය. ළමා වියේදී සචින්ගේ දඟකාර ක්‍රියා පාලනය කිරීමේ අරමුණ ඇතිව ඔහුගේ ලොකු අයියා අජිත් දිනෙක ‘සචින්’ව ක්‍රිකට් පුහුණුකරුවකු වෙතට රැගෙන ගියේය. ‘රාමකාන්ත් අච්රේකාර්’ යන එම ක්‍රිකට් පුහුණුකරු එවකට සිටි ප්‍රකට පුහුණුකරුවකු වූ බව සඳහන්ය. අජිත් තම බාල සහෝදරයා රාමකාන්ත් වෙත හඳුන්වා දුන්නද ඔහු කියා සිටියේ, ‘අපෝ මෙයා ක්‍රිකට්වලට හරියන්නෙ නැහැ, ඒ හැරත් ඔහුට ක්‍රිකට් ස්වභාවය පිහිටා නොමැති’ යැයි කියාය. ‘අනේ සර් අපේ මල්ලිට තවත් අවස්ථාවක් ලබා දෙන්න’ යැයි එවිට අජිත් පුහුණුකරුගෙන් ඉල්ලා සිටි බැව් සඳහන් වේ. මල්ලි එවර හොඳින් ක්‍රීඩා කරනවාද යන්න අජිත් ගසක් පිටුපස සැඟවී සිට බලා සිටියේය. එවර ‘සචින්’ හොඳින් පුහුණුවීම් කරන බව පුහුණුකරුට මෙන්ම අජිත් හට ද දැකගත හැකි වුණි. රාමකාන්ත්, සචින් ගැන එවර කෙතරම් දුරකට පැහැදුණේද යත්, ඔහුව ඉංග්‍රීසි භාෂා උසස් අධ්‍යාපන පාසලක් වන ශාරදර්ශම් විද්‍යා මන්දිර් වෙත යොමු කරවන මෙන් අජිත් හට කියා සිටියේය. එහි ඉතා හොඳ ක්‍රිකට් කණ්ඩායමක් ඇති බැවින් එහි සාමාජිකයකු ලෙස සචින් ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා ගන්නේ යැයි රාමකාන්ත් දුර දක්නා නුවණින් දැන සිටියේය. එයින්ද නොනැවතී බන්දාහි නව ඉංග්‍රීසි පාසල වෙත ඔහුව යොමු කෙරිණ. ‘සචින්’ හට උදේ, දිවා සහ සවස් කාලයේදී පවා වැඩි පැය ගණනක් පුහුණුවීමට සිදුවූ අතර එය ඉතා වෙහෙසකාරී දෙයක් වුණි. දඩාර්හි ශිවාජි ක්‍රීඩාංගණයේ සිට පුහුණුවීම් නිතිපතා කළ යුතුව තිබූ බැවින්, ඒ අසල පදිංචිව සිටි සචින්ගේ මාමා සහ නැන්දාගේ නිවසේ නතරවීමට පුංචි සචින්ට සිදුවිය. රාමකාන්ත් පුහුණුකරුවා යනු දක්ෂයින් බිහි කළ, අති විශිෂ්ට නියමුවෙකි. සචින් හට පුහුණුව ලබාදෙන අතර වාරයේදී, ඔහු රුපියලේ කාසියක් ‘සචින්’ ගේ විකට්ටුව මත තැබූ අතර, පන්දු යවන්නෙකු සචින්ව දවා ගතහොත් එම රුපියල පන්දු යවන්නා හට හිමිවිය. නැතහොත් සචින්ට එය හිමිවිය. දිනෙක 13 වතාවක් එලෙස පුහුණුකරු හට කාසි තැබීමට සිදුවූයේ සචින්ව කිසිදු පන්දු යවන්නෙකු හට දවා ගැනීමට නොහැකිවූ බැවිනි. එදා ඒ කාසි ‘13’ ලැබීමත් සමඟ සචින් වඩාත් සතුටට පත්ව සිටියේය. එය ඔහු හට ගෙන දුන්නේ විශාල මුදලක් ලෙසය. ක්‍රිකට් නිසා සචින් මුල්වරට ලැබූ විශාල මුදල් ත්‍යාගය එම මුදල විය.
එලෙසින් භාරත මාතාවට රන් තරුවක් වෙමින් ක්‍රිකට් පිටියට අවතීර්ණව සිටි ‘සචින්’ 1987 දී ලෝක පූජිත ‘ඩෙනිස් ලිලී’ යටතේ MRF පුහුණු කඳවුරට එක්වූයේ වේග පන්දු යැවීමේ පුහුණුව ලැබීම වෙනුවෙනි.
“ඔයා වේගපන්දු යැවීමට සුදුසු නැහැ” යි කියා එහිදී ලිලී, සචින්ව ප්‍රතික්ෂේප කර තිබේ. “ඔයා පිතිකරුවකු ලෙස ඉලක්ක කරගෙන ක්‍රිකට් ක්‍රීඩා කිරීම හොඳයි” යැයි ද ඔහු පවසා ඇතැයි සඳහන් වේ. දෛවෝපගත සිදුවීම නම්, අන්තර්ජාතික ක්‍රිකට් කරළියේ තරුවක් වූ පසුව සචින් 'MRF' ආයතනය සමග ඉන්දීය රුපියල් කෝටි 100 කට ගිවිසුම්ගත වීමය. එලෙසින් එම ආයතනය හා සුවිශාල මුදලකට ගිවිසුම්ගත එකම ක්‍රීඩකයා ඔහුම විය.
1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සචින් 'Ball boy' හෙවත් හතරේ සීමාවෙන් එහාට යොමුවන පන්දු අහුලා දුන් ළමයකු විය. එලෙසින් පාසල් ක්‍රිකට් සිසුන් යොදා ගන්නා බව අපට දැකගත හැකිය. කෙසේ වෙතත් එදා 1987 ලෝක කුසලාන තරගාවලියේදී එලෙසින් හතරේ සීමාවෙන් එහා සිට පන්දුව අහුලා දුන් මේ පුංචි කොල්ලා අනාගතයේදී භාරත රාජ්‍යයේ තරුවක් වේ යැයි කිසිවකු හෝ නොසිතන්නට ඇත. ඒත් දෛවය හරි පුදුමයි නේද? ඉන් වසර 24කට පසුව ඉන්දියාව ලෝක කුසලානය දිනා ගත්තේද මෙම ක්‍රීඩාංගණයේදීමය.
1988 දී ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගාවලියක් පැවැත්විණි. එම තරගාවලියේ එක් පුහුණු තරගයකදී පාකිස්ථානය වෙනුවෙන් සචින් පන්දු රැකි බව කිවහොත් ඔබ පුදුම වේවි. එදා එසේ කිරීමට ඔහුට සිදු වූයේ, පාකිස්ථානු ක්‍රීඩකයින් දෙදෙනකු හට එක්වර ක්‍රීඩාගාරයට යාමට සිදුවූ නිසාය. කෙසේ වුවද එය ඉතා විරල අවස්ථාවක් විය.
සචින්ගේ වයස අවුරුදු 14දී, ලෝක පූජිත සුනිල් ගවස්කාර්, ඉතා අගනා පා ආවරණ යුගලක් සචින් හට පරිත්‍යාග කළා. ඒත් 15න් පහළ පුහුණු සංචිතයේ සිටින විට, එය වෙනත් ක්‍රීඩකයකු සොරාගෙන.
එදා සිට සචින් තම පිත්ත සඳහා පළලින් වැඩි පිත්තක් (බැට් එකක්) භාවිත කළ බව දැක ගත හැකි විය. කෙසේ වෙතත් සාමාන්‍ය විලෝ පිත්තකට වඩා පළලින් වැඩි පිත්තක් ඔහු යොදා ගැනීම ගැන වතාවක ඇලන් මුලාලි විසින් විවේචනයට ලක් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතය කරගත් පසු ‘සචින්’ ළමා වියේදී නිදා ගත්තේ ක්‍රිකට් ආම්පන්න ළඟ තබාගෙනය. එයා ක්‍රිකට්වලට කොච්චර නම් ආදරේද යන්න කීමට එය කදිම නිදසුනකි.
සචින් පන්දු යැවීම, පන්දුවට පහරදීම කළේ දකුණතිනි. එහෙත් ඔහු ලිවීම සිදු කරන්නේ වමතිනි. එයින් පැහැදිලි වන්නේ ඔහු වම-දකුණ අංශ දෙකටම දක්ෂයෙක් යන්නය.
එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ බිහිවූ අසහාය ක්‍රීඩකයා ඔහු වුවද ඔහුගේ පළමු එක්දින තරග දෙකේදීම ලකුණු නොලබා දැවී ගියේය. ඒ අවස්ථා දෙකේදීම ඔහු දැවී ගියේ දෙවැනි පන්දුවේදීය. එමෙන්ම ඕනෑම පන්දු යවන්නෙකු ඉදිරියේ වැඩිම වාර ගණනකදී දැවී ගිය ක්‍රීඩකයා වන්නේද මේ අසහාය පිතිකරුවාය. පුදුමය නම් 14 වතාවකදී සචින් ‘බ්‍රෙට් ලී’ට එලෙසින් දැවී යාමය. වසර විසිහතරක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටි සචින් එම කාලය පුරාවටම ‘ස්ටම්ප්’ හෙවත් කඩුල්ල පිටුපස සිට බිඳ දැමීමෙන් දැවී ගිය අවස්ථා ඇත්තේ එකම එක් අවස්ථාවකදී පමණි.
1990 දී සචින් ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කළේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදීය. එහිදී තරගයේ වීරයා වූයේද ඔහුය. ඒ වෙනුවෙන් ඔහුට ඉස්තරම් වර්ගයේ ෂැම්පේන් බෝතලයක් හිමිවූයේ ඒ විශේෂ අවස්ථාව සැමරීම වෙනුවෙනි. එහෙත් වයස අවුරුදු 18ට වඩා අඩුවීම නිසා එංගලන්ත නීතියට අනුව මධ්‍යසාර පානය කිරීම තහනම්ය. එනිසා මෙම ෂැම්පේන් බෝතලය ගෙදර ගෙනත් තියාගෙන සිටි සචින් එය විවෘත කළේ තවත් වසර අටක් ගිය පසු දියණිය ‘සාරා’ ගේ උපන් දිනය දවසේදීය.
එකී විස්තර සමග සචින් මහා ධනවතකු වූයේ කෙසේද? ඔහුගේ ව්‍යාපාර මොනවාද කියා මීළඟට අපි බලමු.
සචින්ගේ ව්‍යාපාර
ලෝක ක්‍රිකට් කරළියේ තරුවක වූ පසු සචින් මුලින්ම පෙනී සිටියේ, අතේ ප්ලාස්ටර් කෑල්ලක් අලවන අයුරින් පෙනී සිටි දැන්වීමකටය. දැන්වීම තත්පර කීපයක පුංචි එකක් වුවද ඒ වෙනුවෙන් ලැබුණු මුදල නම් විශාලය. පසුව ඔහු මුලින්ම ගිවිස ගත්තේ සෞඛ්‍ය සම්පන්න පානයක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන්ය. 'Booster' යනු එහි වෙළෙඳ නාමයයි. ඒ වෙනුවෙන් ලැබුණු මුදල සුළු පටු නොවේ. ඉහත සඳහන් කළ අයුරින් MRF සමඟ ඉන්දීය රුපියල් කෝටි 100ක ගිවිසුමකට එළැඹි සචින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම්ගතව ලද මුදල තවත් කෝටි ගණනකි. ඊට අමතරව සන්නාම කළමනාකරුවකු සහ ප්‍රවර්ධනයට හවුල්වීම නිසා BMW, SBJ, ඇපලෝ ටයර්ස්, ලුමිනෝස්, රක්ෂණ සමාගම්, පෙප්සි, සන්ෆීස්ට්, බූස්ට්, Visa යන සන්නාමවලට දායකවීමෙන් ලැබූ මුදල සුවිශාලය. 'Worldtel' හා ගිවිසුම්ගත වීමෙන් ලැබූ මුදල ඩොලර් මිලියන 4ක් පමණ යැයි සඳහන් වේ. ඉනික්බිතිව තවත් වසර 5ක් වෙනුවෙන් ඩොලර් මිලියන 11 කට Worldtel සමග ගිවිස ගත් බව ද බ්‍රිතාන්‍ය මහා පරිමාණ දැන්වීම් සමාගමක් වන සාචි ඇන්ඩ් සාචි (Saatchi & Saatchi) සමඟ ගිවිසුම්ගතව ලද මුදල ඩොලර් මිලියන 24ක් පමණ වූ බව කියති. සංජේ නාරන්ග් සමග එක්ව අවන්හල් කීපයක් ස්ථාපිත කරවීමටද තෙන්දුල්කාර් සමත් විය. තෙන්දුල්කාර්’ස් යනු එක් අවන්හලක නාමයයි. අනෙක් අවන්හල සචින්’ස් ලෙස නම් කර තිබේ. ඒවායින් ලැබෙන මුදලට අමතරව කේරළ බ්ලාස්ටර්ස් පාපන්දු ක්‍රීඩා සමාජයේ සම අයිතිකරුවීම නිසා ලැබෙන මුදල ද විශාලය. බෙංගලාරු බ්ලාස්ටර්ස් යන බැඩ්මින්ටන් සමාජයේ අයිතිය ඇත්තේද තෙන්දුල්කාර් සතුවය. අඩිඩාස්, බ්රිතානියා, ෆියට් පාලියෝ, TVS, ESPN, කැනන්, සනියෝ BPL, ටොෂීබා, කොල්ගේට් ෆාම් ඔලිව්, පිලිප්ස්, කොකා කෝලා යන වෙළෙඳ නාම සමග එක්වීම නිසා ලැබූ මුදල් කන්දරාව ගණන් කළ නොහැකි තරම්ය.
එකී සියල්ලට අමතරව සචින් විවිධ සමාගම් සහ මූල්‍යමය ආයතන වෙනුවෙන් බොහෝ ආයෝජනය කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Musafir ට්‍රැවල් සමාගමේ සචින් සතු කොටස් ප්‍රමාණය 7.5%ක් ලෙස සඳහන් වේ. Smaaash එන්ටර්ටේන්ට්මන්ට් හි 18%ක කොටස්ද ෆියුචර් ගෲප්, මනිපාල් ගෲප් යන ආයතන සමග සහ තවත් සමාගම්වල සචින්ගේ නාමය ඉදිරියේ ඇති කොටස් ප්‍රමාණය බොහෝය. 2013 දී ෆෝබ්ස් වාර්තා කළ පරිදි ලොව ධනය උපයන ක්‍රීඩා තරු අතර සචින් පසුවූයේ 51 වැනි ස්ථානයේය. එවකට පමණක් ඔහු ඉපැයූ මුදල ඩොලර් මිලියන 22ක් පමණ වුණි. පසුව වත්කම් මැන බැලීමේදී 2013 දී ඩොලර් මිලියන 160ක් යැයි සඳහන් විය. ඉන්දීය රුපියල්වලින් සඳහන් වන පරිදි ඔහු සතු සමස්ත ධනය ඉන්දියානු රුපියල් කෝටි 1250ක් පමණ වේ යැයි සඳහන් වේ. ලංකා රුපියල්වලින් ගතහොත් එය දෙගුණයකට ආසන්න වේ. මෙලෙසින් මුදල් සාගරයක් ඇති සචින්, පුණ්‍යාධාර සහ සමාජ සත්කාර වෙනුවෙන් ධනය පරිත්‍යාග කරන පරිත්‍යාගශීලී චරිතයකි.
පෞද්ගලික ජීවිතයේ හැඩතල
වයස අවුරුදු 22 දී එනම් 1995 මැයි 24 දා සචින් විවාහ වූයේ ඔහුට වඩා වසර හයක් වැඩිමල් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන අංජලී මේතා (Anjali Mehta) සමගය. ඇය උපන්නේ 1967 වසරේදීය. සාරා සහ අර්ජුන් මේ යුවළගේ දියණිය සහ පුතු වෙයි. හින්දු භක්තික සචින් හට චතුර ලෙස මරාති, ඉංග්‍රීසි මෙන්ම හින්දි භාෂාව හැසිරවීමේ දක්ෂතාව ඇත.
ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වන ‘සචින්’ යනු ඒ මහා ධන සාගරය පරයා යන තරමට නම්බුනාම, ගෞරව නාම හා සම්මානයෙන් පිදුම් ලැබ සිටින්නෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම සම්මානය වන ‘විස්ඩන්’ සම්මානයේ සිට ලද සම්මාන බොහෝය. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සිටියදී ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට (රාජ්‍ය සභාව) පත්වූ ප්‍රථම ක්‍රීඩකයා ඔහුය. මහා භාරතයෙන් පිදෙන ‘භාරත රත්න’ සම්මානයෙන් පිදුම් ලැබූ තරුණ චරිතය වූයේ ඔහුමය. එය ඉන්දියාවේ සාමාන්‍ය මිනිසකු හට එනම් සිවිල් වැසියකු හට පිරිනැමූ ඉහළම සම්මානය වෙයි. ඊට අමතරව අර්ජුන්, පද්ම ශ්‍රී, මහාරශ්ට්ර භූෂණ, රජීව් ගාන්ධි රත්න, පද්ම විභූෂණ ඇතුළු ඉන්දීය පුරවැසියකු ලෙස ලද ඉහළම සම්මාන ඔහුගේ නාමය ඉදිරියේ සනිටුහන්ව තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජාතික වශයෙන් මෙතරම් ඉහළ සම්මාන රැසක් ලැබූ වෙනත් ක්‍රීඩකයකු ලොව තවත් නැත. මෙකී සියලු සම්මාන ගෞරව බුහුමන්වලට අමතරව ලෝ ප්‍රකට ලන්ඩනයේ මැඩම් ටුසාඩ්ස් ඉටි රූ කෞතුකාගාරයේ සචින්ගේ පිළිරුවක් දැකගත හැකිය.
විනෝදාංශ ලෙස සචින් විවිධ අත් ඔරලෝසු සහ විලවුන් වර්ග එකතු කිරීමට රිසි බව සඳහන් වේ.
“ක්‍රිකට් වෙනුවෙන් 24 වසරක් ඉන්දියාව නියෝජනය කිරීම යනු මගේ ජීවිතයේ වටිනාම සම්මානයයි.” එසේ පවසන සචින් තෙන්දුල්කාර් යනු හොඳ මහත්මයෙකි. පුංචි කොල්ලා කාලයේදී නාහෙට නාහපු සචින්, ජීවිතයේ ගිය දුර විටෙක පුදුමයකි. එදා සිටි විසේකාර කොල්ලාට වඩා අද හාත්පස වෙනස් චරිතයකි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම රටට කළ සේවය උදෙසා සචින් හට ජීවත්ව සිටින කාලයේදීම පෙරළා තම රටෙන් ඉහළම ගරුත්වය ලැබී තිබේ. සචින්ගේ ක්‍රිකට් ජීවිතයේ වාර්තා මෙන්ම ඒ සියල්ල ඔහුටම හැර ලෝකයේ වෙනත් ක්‍රීඩකයකු හට හිමි වී නැති තරම්ය. එනිසාම භාරත මාතාවට සැමදාටම සචින් තෙන්දුල්කාර් යනු දෙවියකු මිසක මිනිසකු නම් නොවේය.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ
[email protected]
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ගේ ව්‍යාපාර