IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහ වැස්සට වැනසුණු මල්කැකුළු

වැලපෙන ඥාතීන්  

 

 

 

අතොරක් නොමැතිව එක දිගටම ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් පසුගිය සතිය උඩරට කඳුකරයේ ජනතාවට නම් සුබදායක සතියක් නොවිණි. එතෙක් වියළි කාලගුණික රටාවක් පැවැති තේ වතුකරයට වැටුණු එම වැස්සට වතු ජනතාව මුලින් සතුටට පත්වූයේ තම වගාවන්ට එය කදිම ආයෝජනයක් බැවිනි. පසුගිය 18 දින උදෑසන පටන් හීනියට පටන් ගත් වර්ෂාව දහවල් ​ෙවනවිට පතිත වූයේ වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම මොර සූරන වැස්සකි. එය පැයක් දෙකක් නොව මුළු දවස පුරාම එකදිගටම පැවැතීම නිසා කඳුකරයේ ලොකු, කුඩා ජල මාර්ගවලින් පහළට විශාල ජල කඳක් රැගෙන ගලාබැස්සේ ප්‍රචණ්ඩත්වයක් මෙන්ම බියකුරු තත්ත්වයක් මවාපාමිනි.   


දොළොස් හැවිරිදි මදිඅලගන් ලක්ෂ්මී හා මදිඅලගන් සංගීතා එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. ලක්ෂ්මී උපන්නේ 2007 වසරේ අප්‍රේල් මස 04 දාය. සංගීතා උපන්නේ 2007 වසරේ ජූලි මස 16 දාය. මාස තුනක පමණ වයස පරතරයක් තිබු මොවුන් එකම පවුලේ සහෝදරියන් වන්නේද පුදුම විදිහටය. ඒ මොවුන් දෙදෙනාගේ පියා එක් අයෙකු වන අතර, මව්වරුන් දෙදෙනෙකි. එම මව්වරුන් දෙදෙනාත් එකම පවුලේ අක්කා නගෝලාය.   


සහෝදර ප්‍රේමය බොහෝ බලගතුය. මොවුන්ගේද සහෝදර ප්‍රේමය එලෙසමය. ඔවුන් හැදුණේද වැඩුණේද එකටමය. ගමන් බිමන් ගියේද එකටමය. යමක් කෑමට ගත්තෙත් එකටමය. ඒ විතරක් නොව පාසල් ගියෙත් ආවෙත් එකටමය. ඉගෙන ගත්තෙත් එකම පාසලේ එකම පන්තියේ එක ළඟ ඉඳගෙනමය. මොවුන් දෙදෙනා එසේ අධ්‍යාපනය ලැබුවේ ආගරපතන, ටොරින්ටන් දෙමළ විදුහලේය. එය නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසලකි.   


ඔවුන් ඉගෙන ගැනීමටද මහත් දස්කම් දැක්වූ අතර, ඒ ද එක සමාන ලෙසය. මොවුන්ගේ මෙකී අධ්‍යාපන දස්කම් හේතුවෙන් පාසලේ ගුරුවරුන්ගේත්, අනෙකුත් සිසුන්ගේත් දැඩි අවධානය දිනාගැනීමට සමත්වූහ. පසුගිය 18 දින කඳුකරයේ අහස් කුසින් එකදිගටම වැසි ඇදහැළීම නිසා සංගීතලාගේ හා ලක්ෂ්මීලාගේ ගෙවල් පේළියේ පාසල් යන වයසේ ළමුන් විශාල පිරිසක් පාසල් නොගියද සංගීතාත්, ලක්ෂ්මීත් ලහි ලහියේ ලක ලෑස්ති වී පාසල් ගියේද අධ්‍යාපනයට ඇති ඇල්ම නිසාය. පාසලට ගිය සහෝදරියන් දෙදෙනා වෙනදාටත් වඩා කඩිසරව සිය අධ්‍යාපන කටයුතුවල නිරතවූවා සේම යහළු යෙහළියන් සමග වඩාත් ළෙන්ගතුව කෙළිදෙළෙන්ද කාලය ගතකළහ.   

 

සංගීතා හා ලක්ෂ්මී ජලයට ගසාගෙන ගිය ස්ථානය. 

 

 


සුපුරුදු පරිදි පාසල නිමවීමෙන් පසු සංගීතාත්, ලක්ෂ්මීත් අනෙකුත් යහළුවන්ද සමග මොර සුරන වැස්සේම එළියට විත් කඩිනමින් නිවාස වෙත යන්නට වූයේ බඩගින්න දුරුකර ගැනීමටය. ඔවුන් යන එන මාර්ගයේ අග්‍රාඔයට ජලය බැස යන ඇළ මාර්ගයක් පිහිටා ඇත. එම ඇළ මාර්ගය සහිත මාර්ග කොටස පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් දෙගොඩ තළා යන ජල පහරින් වසා ගෙන තිබිණි. ළමා වයසේ පසුවූ සිසු සිසුවියන් ජලය තරණය කොට එගොඩවීමට කතිකා කර ගත් අතර, ඒ සිසු නඩේ සංගීතාද ලක්ෂ්මීද වූවාය.   
රකුසු වෙස් ගත් මාරයා එම දිය පහරේ සැඟ වී එකම පවුලේ සහෝදරියන් දෙදෙනා ඩැහැගැනීමට පෙර මග බලා සිටි වගක් එම ස්ථානයේ සිටි කුඩා වයසේ ළමුන්ට වැටහීමක් නොතිබිණි. අක්කා නඟෝ දෙනොම ක්ෂණිකව ආ සැඩ පහරකට හසුව ජලයේ ගසාගෙන ගොස් සැඟව ගියේ ඇසිපිල්ලන් ගසන නිමේෂයකිනි. හැමදාමත් එකට එකම දේ සිදුකරන ලද අක්ක නඟෝ දෙදෙනා ජලයේ ගසාගෙන ගොස් සැඟව ගියේද එකටමය.   


මෙකී අවාසනාවන්ත සිදුවීම කනවැකුණු ලොකු - කුඩා, බාල - මහලු‍, හැමෝම එම ස්ථානයට දිවගෙන ආවේ මල් කැකුළුවන් මෙකී සහෝදරියන් දෙදෙනා කෙසේ හෝ බේරාගැනීමේ අදිටනෙනි. ඒ වෙනවිට ආගරපතන පොලීසියේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණියේ කෙසේ හෝ මෙම අනතුරින් විපතට පත් සිසුවියන් බේරාගැනීමේ අරමුණිනි. එහෙත් ඔවුන්ගේ සියලුම ශක්තීන් පරදවා ඒ වෙන විටත් ජල රකුසා ජය ගෙන තිබිණි. අධික වර්ෂාවත් ප්‍රචණ්ඩ ජල පහරත් සමග පොරබදන ලද එකී පිරිසට ඊට පැය ගණනාවකට පසුව සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටරයකට පමණ දුරකින් රැඳී තිබුණු මදිඅලගන් ලක්ෂ්මීගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර සොයාගැනීමට හැකිවිය.   


එහෙත් ජලයේ ගසාගෙන ගිය මදිඅලගන් සංගීතාගේ සිරුර එදින සවස් කාලය පුරාවටම සෙවූ නමුත් හමු නොවිණි. ඒ වෙන විට තලවකැලේ යුද හමුදා කඳවුරේ භට පිරිසකුත් මෙම සෝදිසි මෙහෙයුමට එක්ව සිටි අතර, එක දිගටම ඇදහැළෙමින් පැවැති අනෝරා වැස්සත්, දැඩි සුළඟත්, අධික ශීතලත් එමෙන් ඝණ අඳුරත් හේතුවෙන් සංගීතා දැරිය ​ෙසවීමේ කටයුතු එදිනට නවතා දැමිණි.   


ආගරපතන පොලීසිය, යුද හමුදා නිලධාරීන් හා ටොරින්ටන් වත්තේ වතු කම්කරු පිරිස් මෙන්ම ඒ අවට ජනතාව එක්ව 19 දින උදෑසනම යළිත් සංගීතා දැරිය සේවීමේ කටයුතු ආරම්භ කරන ලදී. එදින මෙම මෙහෙයුම ඉතාමත් කඩිනමින් හා විශාල පරාසයක් පුරා සිදුකිරීම හේතු කොටගෙන උදෑසන 10 පමණ ​ෙවනවිට සංගීතාගේ නිසල සිරුර ටොරින්ටන් ඇළේ පතුළේ සැඟව තිබියදී සොයා ගනු ලැබුවාය. ඒ අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනකට වඩා දුරකිනි.   


හැම දෙයක්ම එකටම සිදුකිරීමට පුරුදුව සිටි සහෝදරියන් දෙදෙනා ජීවිතයේ අවසන් ක්‍රියාව වූ මරණයද තෝරාගනු ලැබුවේ එසේ එකටමය. එකම අයුරිනි. එසේ හැම දෙයක්ම කුඩා අවධියේ සිටම එකට සිදුකරන ලද සංගීතාත්, ලක්ෂ්මීත් යන සහෝදරියන් දෙදෙනා පසුගිය 21 වැනි ඉරිදා දින සවස මහ පො​ෙළාව සිප ගත්තේද එකටමය. ඒ ද එකම අයුරිනි. 


මව්වරුන් දෙදෙනා, පියා, ඥාතීන් මෙන්ම එම ස්ථානයට පැමිණ සිටි සිය ගණනක් වූ සිංහල, දෙමළ ජනතාවගේ විලාපයන් හා සෝ සුසුම් මැද්දේ ජීවිතයේ යන්තම් දොළොස්වියට පා තැබූ පුංචි මල් කැකුළුවන් සංගීතා හා ලක්ෂ්මී ආගරපතන, ටොරින්ටන් වත්තේ පොදු සුසාන භූමියේ එකම ස්ථානයේ, එකම ඇඳුමින්, එක සමාන පෙට්ටි දෙකක වැතිරී මහ පො​ෙළ​ාව සිපගත්තේ මෙලොව සිටින මව්වරුන්, පියා, ඥාතීන් මෙන්ම අසල්වැසි බොහෝ පිරිසකට කිසිදාක නොමැකෙන සිහිවටන රැසක් ඉතිරිකරමිනි.   


ජීවිත ගමන පටන්ගෙන වසර 12ක් වැනි කෙටි කලකින් යළි නොඑන්නට ගිය මෙම සහෝදරියන් දෙදෙනාගේ අකල් මරණ සම්බන්ධයෙන් බොහෝ හිඩැස් ඇති බව සිදුවූ සිදුවීම් දෙස බැලීමේදී පෙනේ. වතුකරයේ සිටින ළමුන් පිළිබඳව මාපියන්ගේ සේම අනෙකුත් වගකියයුතු අංශයන්ගේ ඇල්ම, බැල්ම අඩුවීම මත බොහෝ ළමා මරණ වතුකරය තුළ සිදුවෙමින් පවතී. පාසල් නිම වී නිවසට ඒමට ඇති මාර්ගයේ ඇළ මාර්ගයක් ඇති බවත්, එය වර්ෂාව පතිතවීමේදී පිටාර ගලන බවක් කිසිවකුත් ගණන් නොගැනීම මෙම මරණ පිටුපස සැඟව ඇති දුක්බරම කතාවක් යයි අපට නම් සිතේ.

 

 

 

සටහන හා ඡායාරූප - තලවකැලේ 
ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ  

 



අදහස් (0)

මහ වැස්සට වැනසුණු මල්කැකුළු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site