මවට දරුවා යනු මහා සම්පතකි. මවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගත් දා සිට ඇය එය ආරක්ෂා කරන්නේ සිය දිවි දෙවැනි කොටය. මෙලොව එළිය දකින දරුවාගේ රන්කිරි කටගාන මව හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ නිරෝගීත්වයෙන් පරිපූර්ණ දරුවකු වේවා කියාය. සැබැවින්ම ලොව ඇති වටිනාම සම්පත තමා සතු වූවාය යන අව්‍යාජ හැඟීමෙන් සතුටු වන්නේත් මව්පියන්මය.   


කුඩා අවධියේ සිට යොවුන් අවධියට එන තුරු සෙනෙහසින් ඇති දැඩි කරන දරුවා උගතෙකු, බුද්ධිමතෙකු, සමාජය පිළිගන්නා ගුණගරුක පුද්ගලයෙකු කිරීම සෑම මව්පියකුගේම එකම අපේක්ෂාව වන්නේය.   


කුසට අහරක් නොමැතිව දිවා රෑ නිදිවරමින්, අනේක විධ දුක්ඛ දෝමනස්ස විඳිමින් දරුවන් රැකගන්නා එවන් වූ මව්පියන්ගේ සිහිනයන් ඉටුකරදීම සුජාතවත් දූ පුතුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය.   


එහෙත් ඒ යුතුකම හා වගකීම පැහැර හරිමින් අහිංසක මව්පියන්ගේ සංවේදී හදවත්වලට වේදනාව එකතු කරන දරුවන්ද බො​හෝය. හිතාමතා හෝ නොහිතා සිදුකරන ඒ අයහපත් දේ නිසා මව්පියන් සේම ඔවුන්ද අවමානයට, පීඩාවට, රෝගීභාවයට පත්වන්නේය. එවන් දරුවන්ගේ ඛේදවාචකය මෙසේ දිග හරිමු.   


එදින සඳුද‌ා දිනයක් විය. රාජකාරිමය කටයුත්තක් සඳහා කාර්යාලයෙන් එළියට පැමිණි මව බස් නැවතුමේ නතර වීමි. හිටිහැටියේ මුළු පරිසරයම අඳුරු වී අහසම ගුගුරන්නට විය. බස් නැවතුමේද එතරම් සෙනඟක් නොවීය. වර්ෂාවෙන් බේරීම සඳහා මම බස් නැවතුමේ ආරක්ෂිත තැවකට දිව ගියෙමි.   


නිමේෂයකින් අවට වාතලය දුම්වැටි දුමකින් පිරි ගියේය. මම දුම ආ දෙසට නෙත් යොමු කළෙමි. අවුරුදු 16, 17 ප්‍රමාණයේ පාසල් සිසුන් තිදෙනෙකි. ඔවුන් අද පාසැල් නොගිය සෙයකි. සුදු කලිසමට උඩින් සුදු කමිසය දමා සිටි ඔවුන්ගේ පෙනුම රස්තියාදුකාරයන් සේ විය.   


මව්පියන් උපයන මුදලින් තවමත් යැපෙන මොවුන් රවටා ඇත්තේ කවුරුන්ද? මව්පියන් රවටා තමන් විනෝද වෙනවා යනුවෙන් සිතා ක්‍රියා කරන මොවුන් මොවුන්වම රවටා ගෙන ඇති බව නොදන්නා සේය.   


මගේ සවනත වැකුණු ඔවුන්ගේ කතා බහ මෙසේය. අම්මා මේ මාසේ පන්තිවලට දෙන්න කියලා දුන්න මනී ඉවරයි මචං. ආයෙත් වැඩිපුර ගාණක් ඉල්ල ගන්න නයෙක් අරින්න වෙනවා.   


දුම් වළල්ලක් පිටකරමින් සිටි සිසුවා පැවසුවේය.   


අපේ අම්මා එක එක තැන්වල සල්ලි තියෙනවා. මට අහුවුණාම මම උස්සනවා. එයාට තේරෙන්නේ නෑ. තවකෙක් පැවසුවේය.   


අපේ අම්මා උයන්න කම්මැලියි බං. උදේට කන්න කී මනී දෙනවා. කොහොමත් අපි ගත්තේ ආතල් නේ. කෑවා වගේ තමයි. අනෙකා පැවසුවේය.   


මව්පියන් රවටා හෝ ඔවුනගේ නොදැනුම්වත්කම මත දරුවන් අතට මුදල් ලැබී ඇත. ලැබුණ මුදල් ඵලද‌ායිත්වයෙන් තොරව වියදම් කිරීමට දරුවන් ක්‍රියාකර ඇත.

   
සිය දරුවෝ පාසල් ගොස් හොඳින් උගනිතිය මව්පියෝ සිතති. දරුවෝ ද එසේ රඟපාති. එහෙත් ඒ රඟපෑමෙන් මව්පියන් තෘප්තිමත්වීම කොතරම් තාත්විකද? දරුවෝ යන්නේ කොහෙද? කරන්නේ මොනවාද? ආශ්‍රය කරන යාළුවෝ මොනවගේද? පන්තිවල ඉගෙනුම් කටයුතු හරියට කරනවාද? මව්පියන්ගෙන් ගිලිහී ඇති සොයා බැලීම්ය. ඒ බවද මට පසක් වූයේ ඔවුන්ගේම දෙබස් තුළිනි.   


පිස්සුද බං අපේ අම්මට ඒවා හොයන්න වෙලාවක් නෑ. මම ඉස්කෝලේ ගියාද? කෑවාද? බිව්වාද? පොත්වල වැඩකරනවාද? කවද‌ාවත් අහලා දැකලා නෑ. එකෙක් කීය.   
අපේ ගෙදර නම් එහෙම නෑ. අම්මයි අක්කයි පොලිසියෙන් වගේ. මම මෙහෙම හොරා පනින බව දැනගත්තොත් මාව ඉවරයි.   


අනෙකා පිළිතුරු දුන්නේය.   


මං ගැන නම් එහෙම හොයන්න කෙනෙක් නෑ. අම්මා අම්මගේ ලෝකේ. තාත්තා තාත්තාගේ ලොකේ. මම මගේ ලෝකේ. ඔහු සිනාසුණේය.   


තිදෙනාම පවුල් තුනකය. ඔවුන් තිදෙනාටම කතා තුනක් ඇත. ඔවුනට ලැබී ඇති නිදහස ඔවුනට පාරා වළල්ලක් වී ඇති බව ඔවුහු නොදත්තෝය.   


ඔවුනගේ කතාව තුළ සමාජයටත් සිතීමට බොහෝ දේ ඇත. මම මගේ රාජකාරි කටයුත්ත සඳහා පිටත්ව ගියෙමි. පසුව මට දක්නට ලැබුණේ අසිහියෙන් මෙන් හැසිරෙන තරුණ ළමයින්ය.   


එකෙක් වෙව්ලයි. එකෙක් සිමෙන්තියේ නිද‌ාගන්නට සැරසෙයි. එකෙක් සිහියක් පතක් නැත්තෙකු සේය. මම මොහොතක් බලා සිටියෙමි. ඒ සිසුන් සියලු දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෝය.   


මම ඔවුන්ගේ මව්පියන් හමුවීමි. ඔවුන්ගේ දෑස්වල කඳුළුය. මම අම්මා කෙනෙකුට ළංවීමි. ඇය ඇගේ හිතේ වේදනාව මා සමඟ පිට කළාය.   


මගේ එකම දරුවා ඉල්ලන හැම දේම දුන්නා. කිසිම අඩුවක් කළේ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස් වුණා. කොළඹ ඉස්කෝලෙකට දැම්මා. සාමාන්‍ය පෙළත් හොඳට පාස් වුණා. උසස් පෙළ කරද්දී පාඩම් කරන්න කියලා යාළුවකුගේ ගෙදර නතර වෙනවා කිව්වා. අන්තිමට නතර වුණේ මෙතන. කොහොමද මේවාට පුරුදු වුණේ. මම විමසීමි.   


අපේ දරුවගේ යාළුවගේ තාත්තා හොඳ බේබද්දෙක්. තාත්තා ගෙදරට ගේන සිගරට් අරක්කු බොන්න ඒ ළමයා පුරුදුවෙලා තියෙනවා. ඊට පස්සේ යාළුවන්ගේ මාර්ගයෙන් වෙන ඒවටත් පුරුදුවෙලා. මගේ අහිංසකයා ඉගෙන ගන්න දක්ෂයි. ඒ නිසා මම ඉගෙන ගන්න ඕන ඒවාට ලොභ නැතිව සල්ලි වියදම් කළා. එයා ළඟ සල්ලි ගැවසෙනවා දැකලා එයාම යාළු කරගෙන. පාඩම් කරන්න කියලා ගෙන්නා ගෙන මේවට පුරුදු කරලා.   


සාමාන්‍ය පෙළ හොඳටම පාස්වෙච්ච දරුවා දැන් ඉන්නේ පිස්සෙක් වගේ. මමත් වැරැද්දක් කළා. දරුවා යාළුවගේ ගෙදර නවතින්න යනවා කිව්වට මම හොයලා බැලුවේ නෑ. මම හිතුවේ දරුවා යාළුවොත් එක්ක එකතුවෙලා හොඳට පාඩම් කරනවා ඇති කියලා. මට වැරදුණේ‍ එතන.   


සැබැවින්ම එය ඛේදවාචකයකි. මම ඒ මවට එපිටින් තිබූ සයනය දෙස බැලුවෙමි. සේලයින් බටෙන් ජීවත් වෙන්නට වෙර දරන තරුණයෙකි. ඔහු මරණය යදින්නාක් මෙන් උඩුකුරුව වැතිර සිටී. තරුණ අත් පා කෙසඟය. ගිලුණු දෑස් අඩවන්ය. මෙලෙස ශාරීරිකව රෝගී වී සිටින තරුණයන් කිසි විටෙකත් මත්ද්‍රව්‍ය නිසා තමන් මෙතරම් විඳවීමකට ලක්වෙතැයි නොසිතන්නට ඇත.   


මත්ද්‍රව්‍ය තාවකාලික වින්දනයක් ලබාදී සද‌ාකාලික වේදනාවක් එකතු කර දෙන බව නොසිතන්නට ඇත. ඔවුන් මුදල්, නිරෝගීකම සහ සිය ජීවිතයේ වටිනාකමත් සිහිනත් විනාශ කිරීමට මත්ද්‍රව්‍ය කටයුතු කරතැයි නොසිතෙන්නට ඇත.   

 


සැබැවින්ම පිවිතුරු සුන්දර ළමා දිවියක් පාසල් සිසුන්ට හිමිය. සොබාදහමෙන් ලැබුණු ආශ්වාදජනක ද‌ායාදය විඳ ගැනීම ප්‍රතික්ෂේප කර තාවකාලික වින්දනයන්ට ගිජු වී ජීවිතය වරද්ද‌ා ගන්නා දරුවන් ඊට යොමු වූයේ කෙස් දැයි එහි සිටි දරුවන්ගෙන්ම මම විමසා බැලුවෙමි. එහිදී අනාවරණය කරගත් තොරතුරු මෙසේය.   


පාසල් අවට පෙති, ටොෆි, මකන, මුද්දර, පැණි, පව්ඩර් ආදී වශයෙන් මත්ද්‍රව්‍ය අලෙවි වෙයි. ඒවා රහසිගතව පාසල් තුළට ගෙන එනු ලබන්නේද ඊට ගොදුරු වූ පාසල් සිසුන්මය. අලෙවිකරුවෝ ඔවුනට නොමිලයේ මත් පෙති දී ඔවුන් ඉත්තෝ කරගනිමින් අන් පාසල් දරුවන් මතට හුරුකර මත්පෙති අලෙවි කරති.   


මේ ආකාරයට මත් පෙති අලෙවිකරණ සමහරු පාසල අවට කුඩා වෙළෙඳ‌ාම් කරන පුද්ගලයෝය. ඇතැමෙක් අච්චාරු හෝ රසකැවිලි විකුණති. ඇතැමෙක් සාරවිට හෝ බුලත්විට විකුණති. ඇතැමෙක් පලතුරු හෝ බීම වර්ග විකුණති. ඇතැමෙක් ෆාමසි කරති. තව පිරිසක් රහසිගත ලෙස එකිනෙකා මාර්ගයෙන් මත්ද්‍රව්‍ය බෙද‌ා හරිති. මේ සියලු දේ සිදුවන්නේ අවට සිටින වුන්ගේ අවධානය මග හරිමිනි.   


මත් ද්‍රව්‍ය අලෙවිකරුවෝ විවිධ උපාය මාර්ග භාවිත කරමින් දරුවන් ඊට පොළඹවා ගැනීමට තැත් කළද ගුරුවරුන්ට මව්පියන්ට හා සමාජයට ඊට එරෙහිවීමට විශාල වගකීමක් ඇත්තේය. දරුවන්ගේ දෛනික කාලසටහන පිළිබඳ නිසි අවබෝධයෙන් සොයා බැලීම ඔවුන්ගේ වගකීමක් වන්නේය. දරුවන්ට ලබාදෙන අවධානය, රැකවරණය හා සෙනෙහස ඔවුන්ව ආරක්ෂා කරන්නේය. පාසල අභ්‍යන්තරයේ ද දරුවන් නිදහසේ ගැවසෙන තැන්, කල්ලි ගැසෙන තැන් හා ඔවුනට හුදකලා වියහැකි තැන් පිළිබඳ පරික්ෂාව ඉතා වැදගත්ය.   
එසේම පාසල් කාලය තුළ දරුවන්ගේ අනවශ්‍ය හැසිරීමක් දුටුවේ නම් පළමුව මව්පියන්ද දෙවනුව නීතියද දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වේ. එසේම යම් දරුවෙකු පාසලෙන් පිට සමාජයේදී කල්ලි ගැසී ඇති නම්, විනය විරෝධී කටයුත්තක නියැළෙන බවට සාක්ෂි ඇති නම් ඒ පිළිබඳ සොයා බැලීම හා ඊට එරෙහිවීම සාමාජීය හෝ වැඩිහිටි සැමගේ වගකීමකි.   


මක් නිසාද යත් මෙම මත් උවදුරට ගොදුරු වන දරුවා හෙට දවසේ ලෝකයම බැබළ විය හැකිව තිබූ දරුවකු විය හැකි බැවිනි. මව්පියන්ගේ සොයා නොලැබීමත් දරුවන්ගේ අනවබෝධයත් නිසා මත් උවදුරින් බැටකන මත්ලෝලීන්ගේ ‘වඳවීම’ මෙසේ සනිටුහන් කරමු.   


තාවකාලික වින්දන පතා මතට හුරුවූ පාසැල් දරුවෝ හුදකලා වී මායෙවේ සුවය විඳගනිති. ඊට ඇබ්බැහි වන ඔවුහු ක්‍රමයෙන් මත් වීමේ අධි මාත්‍රා ඇති භය​ානක මත්ද්‍රව්‍ය වෙතද ළඟා වෙති. එහි අවධානය ඛේදනීයය. විශේෂයෙන්ම රු. 3800ක වැනි මිලකට මිලදී ගන්නා සීනි බෝල ආකාරයේ මත් පෙත්තක් නිසා නින්ද නොයෑම, කඳුළු ගැලීම, වමනය, ගොත ගැසීම, සිහිවිකල්වීම ආදී ආබාධයන් සිදුවන අතර ඉතා දරුණු ලෙස ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වන බව වෛද්‍යවරු පෙන්වා දී තිබේ.   


මෙවැනි පෙති ළඟ තබා ගැනීම පවා භයානක වන අතර 2008 අංක 01 දරන මෝදක ඖෂධ හා මනෝ වර්තක නීති වි​ෙරා්ධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මත පනත මගින් ඇප දිය නොහැකි, අවමය අවුරුදු 10 හා උපරිමය අවුරුදු 15 යටතේ සිර දඬුවමක් පවා නියම කළ හැකි වැරදි වේ.   


එසේම මෝෆින් වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් දිය හැකිය. ඊට උද‌ාහරණ ලෙස කොළඹ මහාධිකරණයේදී විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා දුන් නඩු තීන්දුව පෙන්වා දිය හැකිය.   


මෙවැනි දඬුවම් ක්‍රියාත්මක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම තරුණ ප්‍රජාව උදෙසා සිදුකරන දරුණු අපරාධයක් වන බැවිනි.   


ස්කොපොලැමින් බුරුන්ඩැන්නා යන මත්ද්‍රව්‍ය නිසා මිනිසාගේ සිතීමේ ශක්තිය පවා නැති වී යයි. එය අධි මාත්‍රාවක් ශරීර ගත වීම තුළින් මරණය පවා සිදුවිය හැකිය. මේ නිසාම මෙය යක්ෂයාගේ හුස්ම ලෙස හඳුන්වයි.   


ඉක්වදෝරය, කොලොම්බියාව වැනි රටවල නිපදවන මෙම මත්ද්‍රව්‍යයේ එක් පැළෑටියකින් මිනිස්සු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හැකි අතර ලැබෙන මරණයද ඉතා බිහිසුණු හා වේදනාකාරී වෙයි.   


අද සමාජයේ නිතරම කතාබහට ලක්වන හෙරොයින් කලකදී  ප්‍රබල වේදනා නාශකයක් ලෙස සමාජගත වී තිබිණ.   


එහෙත් වත්මන වන විට එහි අධි මාත්‍රාව ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශය කරා ගෙන යමින් පවතින්නේය. ඒ නිසාම 1971 වසරේ ලෝකයේම තහනම් වූ මත්ද්‍රව්‍යක් බවට පත් හෙරොයින් පත්විය. හෙරොයින් භාවිතය නිසා තාරුණ්‍යයට ඇති කරන පීඩාවන් අති විශාලය.   


විශේෂයෙන් විදුරුමස් ඉදිමීම, දහඩිය දැමීම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීම මාංශ ​ෙප්ෂි දුර්වල කිරීම, දිගුකාලීන පාවිච්චිය තුළ රුධිර නාළිකා හානියට පත්කිරීම හා ශරීර කොටස් කුණුවීම ආදී ලෙසින් භයානක ප්‍රතිඵල අත්කර දෙනු ලබයි.   


මීට අමතරව අශ්වයින් සන්සුන් කිරීමට දෙන රසායනික ......??? දරුවන් ගොදුරු වෙමින් පවතී. ඉන් ශරීරය අඩපණවීම හා සිහි විකල්වී ජීවිත නැතිකර ගැනීම පවා සිදුවිය හැකිය. මීට අමතරව ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය බිඳවැඩටීම, මතක ශක්තිය හීනවීම හා මුත්‍රාශ්‍රයේ ආබාධ ඇතිවීම ආදී වේදනාකාරී තත්ත්වයන්ටද ගොදුරුවීම සිදුවේ.   


දුම අග්‍රහණය කිරීමට හා මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට තවත් තරුණ පිරිසක් ගොදුරුව සිටිති. එහි ඇති භයානකත්වය වන්නේ ටික කලකින්ම පුද්ගලයා විරූපවීම හා මොළයට දැඩි හානි කරමින් ඉක්මන් මරණය ළඟා වීමය.   


මීට අමතරව මානසික රෝගීන්ට දෙන ඖෂධ භාවිතයද තරුණයන් අතර ප්‍රචලිතය. මේවා දිගුකාලීනව භාවිතයට ගැනීම නිසා දරුවෝ විවිධ මායා ලෝකවල අතරමං වෙති. එම මානසික ව්‍යාකූලත්ව මත ශාරීරික හා මානසික ආබාධවලට ලක්වීම සිදුවේ. ඇතැම් විට එය මානසික රෝගියකු නිර්මාණය වීමක්ද විය හැකි වෙයි.   


මෙවන් වූ භයානක ප්‍රතිඵල රාශියක් ඇති කරන මත්ද්‍රව්‍ය අතර දරුවන් අතරමං වන්නේ නොදැනුම්වත්කම මතය. විශේෂයෙන්ම මිත්‍රයන්ගේ, ඥ‌ාතීන්ගේ හෝ නොදන්නා පුද්ගලයන්ගේ මාර්ගයෙන්ය. අසීමිත නිදහස සොයා නොබැලීම, අසීමිත ලෙස මුදල් ලබාදීම, සෙනෙහස, රැකවරණය හා අවධානය නොලැබීම මේ දරුවන්ගේ ඛේදවාචකයන් පිටුපස ඇත. අනාගතය භාර ගැනීමට සිටිනා දරු පරපුර ආරක්ෂා කර ගැනීමත් නිසි මග ගෙනයාමටත් වැඩිහිටි සමාජයේ වගකීමකි.  


මත්උවදුර තුරන් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව අපි ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගෙන් විමසීමු. 

 
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත,  


ලංකාවේ මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග කීපයක් ප්‍රචලිතව තිබෙනවා. පාසල් දරුවන් ඊට ඇබ්බැහිවීමක් දක්නට ලැබෙනවා. පාසල් ළමයි අතට පත්වන්නේ යම් යම් වේදනා නාශක වර්ගයි. ඒ අතර කුඩු වර්ග, ජෙලි වර්ග, මුද්දර, පෙති වැනි දේවල් තිබෙනවා.  


පසුගිය කාලය පුරාවට පොලිසියත්, මත්ද්‍රව්‍ය නාශක අංශයත් එකතුවෙලා වැටලීම් රාශියක් සිදු කළා.  


විශේෂයෙන්ම විශේෂකාර්ය බළකාය, වලාන දූෂණ මර්දන ඒකකය, කොළඹ අපරාධ මර්දන කොට්ඨාස වැටලීම් සාර්ථකව සිදු කළහ.  


පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ ඒ පිළිබඳව නිසි අවධානයක් නැතිව කිසිවකුගේ හෝ මාර්ගයෙන්, මොවුන් මත්ද්‍රව්‍යවලට පොළඹවාගන්න යම් යම් ‘දිරිගැන්වීම්’ කරනවා. පළමු පෙළඹවීම තමයි දුම්වැටිය. ඊළඟට මත්පැන්. ඉන්පසුවයි වෙනත් මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ.  


මේවායින් දරුවන්ගේ ශරීරය හා මනස දෙකම විකෘති කරනවා. ඉන් ගැලවීමක් නැහැ. පුනරුත්ථාපනය කළත් එය ඵලක් නැති විය හැකි අවස්ථා තිබෙනවා. ඒ නිසා මව්පියන්ගේත්, ගුරුවරුන්ගේත්, සමාජයේත් වගකීම තමයි දරුවන්ට මේවාට පෙළඹෙන්නට තිබෙන අවස්ථා අවම කිරීම.  


පරීක්ෂණවලදී අපට අනාවරණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ, මව්පියන්ගේ හා භාරකරුවන්ගේ අවධානය ගැන. ළමයින්ට එවැනි දේට ඇති අවස්ථා අවම කිරීමට ඔවුන්ට හැකියි.  

එන්න ඕන හවස 3.00ට වුණත් එන්නේ 5.00ට වුණත් අම්මා තාත්තා සහෝදරයෝ ඒ ගැන හොයන්නේ නෑ. ඉන් බාහිර දෑට අවස්ථාව උද‌ාවීමයි සිදුවන්නේ. ඒ නිසයි අනවධානය භයානකයි කියන්නේ.  


පසුගියද‌ා අපි එක්කෝටි පනස් එක් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ වරායේදී අත්අඩංගුවට ගත්තා. ඒවා ඉන්දියාවේ සිට ලංකාව හරහා ලිබියාවට යවන්න ගෙනා මත්ද්‍රව්‍ය.   
විශේෂයෙන්ම වරාය, ගුවන්තොටුපළ, මධ්‍යම තැපැල් හුවමාරුව, පුද්ගලික ගුවන් සේවා ආයතන ආදී තැන්වල සම්බන්ධීකරණ පරීක්ෂණ අපි වැඩි කරලා තිබෙනවා. මේ සඳහා පුහුණු කළ විශේෂ නිල සුනඛයන් භාවිත කරනවා. මුහුදින් එන මත්ද්‍රව්‍ය පාලනයට ගුවන් හමුද‌ාව, නාවික හමුද‌ාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව සක්‍රීය ද‌ායකත්වයක් දෙනවා.  


ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, රේගුව, පොලිසිය එකතුවීම තුළ මේ අපරාධ මර්දනය පහසු වෙනවා. අපේ ප්‍රධාන අරමුණ මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම.  


මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාළ කිරීමේ වගකීම ගුරුවරු, මව්පියෝ සහ සමාජය ඉටු කළ යුතුයි. ඊට පූජ්‍ය පක්ෂය හා සමිති සමාගම් සහය දිය යුතුයි. ජනමාධ්‍යයටත් විශේෂ වගකීමක් තිබෙනවා.  


විශේෂයෙන්ම පාසලෙන් ඉවත් වූ දරුවන් හා කූඨ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් දරුවන් ඩැහැගැනීම සිදු වෙනවා.  


මත්ද්‍රව්‍ය අලෙවිකරුවන්​ෙග් අරමුණ පහසුවෙන් රවටා ගත හැකි හා පොළඹවා ගත හැකි දරුවන් මීට යොමු කර ගැනීමයි. දරුවන්ට ඇති කුතුහලය නිසාද ඔවුන් ඊට හසුවිය හැකියි.  


මේ වන විට අපි පදික වේදිකාවල පාසල් අසල වෙළෙඳ‌ාමට ඇති ටොෆි, පැන්සල්, ජෙලි, ඉරේසර් වශයෙන් ඇති අනවශ්‍ය දේවල් මිලදී ගන්න එපා කියා පණිවිඩය දීලා තිබෙනවා.  
ලංකාවේ පාසැල් 10,000 ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඉන් 6500 කට වැඩි ප්‍රමාණයක පාසැල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවලා තිබෙනවා.  


මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්නවා නම් නීතියට හසුකර ගන්නට රහසිගත වැඩපිළිවෙළ යොදලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබ දන්නා තොරතුරු නම් 0112332985 යන දුරකතන අංකයට දන්වන්න පුළුවන්.  


පසුගිය සමයේ අපි සාර්ථක වැටලීම් ප්‍රමාණයක් කළා. ඒ සඳහා ජනතාව තොරතුරු ලබාදුන්නා. ඔවුන්ට බොහොම ස්තූතියි.

 

 

 

 

 

සටහන
කුමාරි හේරත්