IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නෙළුම් කුළුණ විකසිත වෙන්න ළඟයි

මේ දිනවල කොළඹ නගරය මධ්‍යයේ ඉහළ අහසේ විවිධ වර්ණ කිහිපයකින් විවිධ ආලෝකධාරා දැකිය හැකිය. එය කිසිසේත් පිටසක්වල ජීවියකුගේ හෝ පිටසක්වල යානයකින් නිකුත්වන ආලෝක ධාරාවක් නොවන බව පැහැදිලිවම සඳහන් කළ යුතුය. බොහෝ දෙනකු විදුලි ආලෝක ධාරාව දැක ඇතැයි විශ්වාස කෙරෙන අතර මෙම ආලෝක ධාරාව කුමක්ද යන්න අපි විමසීමක් කළෙමු.

එය වෙන කිසිවක් නොව මේ දිනවල කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුනින් එන ආලෝක ධාරාවයි. මේ වන විට එම කුලුනේ 75% ක පමණ ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇති අතර දැනට නෙළුම් පොහොට්ටුවේ පෙතිවල ආලෝක ධාරාවන් පරික්ෂාවට ලක් කෙරෙමින් පවතින නිසා එසේ සිදුවන බව එම ව්‍යාපෘතිය භාර නිලධාරිහු පවසති. මේ නෙළුම්​ කුලුන පිළිබඳ අපි එම නිලධාරින්ගෙන් විමසීමක් කළෙමු. එහි සිටින ව්‍යාපෘති ඉංජිනේරුවකු අප සමඟ සඳහන් කළේ මෙසේයි.  


මේ ඉදිකෙරෙන නෙළුම් කුලුනේ මේ වන විට ඉදිකිරීම් 75% ක පමණ ප්‍රමාණයක් අවසන්. ලබන මාර්තු මාසය වන විට සියලු ඉදිකිරීම් නිම කිරීමට චීන සමාගම සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. දැනට තිබෙන්නේ නිර්මාණ කටයුතුවල නිමාවයි. ඒ කියන්නේ අලංකරණ කටයුතු පමණයි. දැන් 400 ක් පමණ චීන හා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් නොකඩවා සේවය කරනවා. තව 25% ක ප්‍රමාණයක වැඩ නිමවීමට තිබෙනවා.  


මේ ව්‍යාපෘතිය ආරම්භක කටයුතු සිදුවූයේ 2008 වසරේ. මේ කුලුන නිර්මාණය කර තිබෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමටයි. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 10 ක ප්‍රමාණයක්. ඊට පස්සේ ඒ භූමියේ තිබූ ගැටලු කිහිපයක් නිසා කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ හෙක්ටයාර් 2.75 ක භූමි ප්‍රමාණයක මෙම කුලුන ඉදිකරන්න සැලසුම් කර තිබුණා. ඒ භූමියේ ප්‍රමාණයට තමයි දැනට ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන්නේ. භූමි ප්‍රමාණය වෙනස් වූවාට කුලුනේ සැලැස්මේ වෙනසක් වෙලා නැහැ. පෑලියගොඩ ප්‍රදේශයේ භූමි භාගයේ වෙනමම වාහන නවතා තැබීමේ අංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. නමුත් මේ භූමි ප්‍රමාණයේ ඒ පහසුකම් අඩුයි.  


කුලුන ඉදිකිරීම් ආරම්භ කළේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේදීයි. චීන සමාගමේ නියෝජිතයන් ඔවුන්ගේ මූලික සැලසුම්වලින් පසු දෙසැම්බර් මාසය වන විට කුලුනේ ඉදිකිරීම් සඳහා මුල පිරුවා. කුලුනේ පාදම කොටස එනම් මුලින්ම ඉදිවන කොටස බිම් මට්ටමේ සිට මීටර් 16 ක් හා 20 ත් අතර ප්‍රමාණයක් දළ වශයෙන් පොළව අභ්‍යන්තරයට ගොස් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් තට්ටුවක් මත ඉදිවූවක්. ඒ කොන්ක්‍රීට් තට්ටුව මීටර් 3 ක් පමණ උසකින් සමන්විතයි. මේක තමයි ලංකාවේ අපි ඉදිකළ ලොකුම කොන්ක්‍රීට් තට්ටුව. ඒකට කොන්ක්‍රීට් කියුබ් 4000 ක් දමා තිබෙනවා.  


කුලුනේ මූලික පදනමේ වැඩ කටයුතු සිදුකරද්දී ශ්‍රමිකයන් 600 ක් පමණ සේවය කළා. ශ්‍රී ලාංකිකයින් 100 ක් 150 ක් අතර සංඛ්‍යාවක් සිටියා. ඒත් දැනට සේවය කරන්නේ 400 ක් වගේ සංඛ්‍යාවක්. මෙහි සම්පූර්ණයෙන්ම නිර්මාණ කටයුතු හා ඉදිකිරීම් කටයුතු කරන්නේ චීන සමාගමක්.  


මේ කුලුනේ මූලික දළ සැලැස්ම කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක්. පසුගිය ආණ්ඩුවේ සංකල්පයක් මත මෙය යෝජනා කෙරෙන්නේ සන්නිවේදන කුලුනක් විදිහටයි. ඒ නිසා මෙය මොරටුව විශ්වවිද්‍යාලයට බාරදුන්නා. එතනදී මහාචාර්ය සමිත මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත තෝරාගත් මහාචාර්යවරුන් පිරිසක්, නිමල් සිල්වා, මහාචාර්ය වෙඩික්කාර, මහාචාර්ය නානායක්කාර වගේ අය මෙයට දායකත්වය ලබා දී තිබෙනවා. මහාචාර්ය නිමල් සිල්වා මහතා තමයි දළ සැලැස්මක් විදිහට මෙය ඉදිරිපත් කළේ. මෙය රජයට ඉදිරිපත් කර මේ සඳහා වැයවන මුදල පිළිබඳ දළ සටහන චීනයට ඉදිරිපත් කරලා තමයි ඒ හා සමාන සැලසුමක් සකස් කරන්න යෝජනා කළේ. ඔවුන් තමයි මේ සැලසුම් ලබාදීලා තිබෙන්නේ. ඒ අනුව මේ තෝරා ගත් කුලුනේ ඉදිකිරීම් සඳහා වැයවන මුදලත් ඊට ගැලපෙන සමාගමත් තෝරාගෙන තමා මෙම කුලුන ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ.  

 

 

මෙය තට්ටු වශයෙන් සඳහන් කරන්න බැහැ කුලුනක් නිසා. එය අපි කොටස් හතරකට වෙන්කර තිබෙනවා. මූලික කොටසට කියන්නේ කුලුනේ පදනම කියලා. ඊට පස්සේ තිබෙන්නේ කුලුනේ සැකිල්ල. ඒක තමයි බටයක් වගේ ඉහළට තිබෙන්නේ. ඊළඟට තිබෙන්නේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණාගාර දෙක. එහි තමා නෙළුම් පොහොට්ටුව තිබෙන්නේ. ඊට පස්සේ ඇන්ටනාව. ඊට අමතරව අපි ටවර් හවුස් කියලා කියන කොටසේ තිබෙන නෙළුම් පොහොට්ටුවේ යට තට්ටු දෙකේ උත්සව ශාලා දෙකක් තිබෙනවා. ඊළඟට කැරකෙන භෝජන ශාලාවක්. ඒ භෝජනගාරවලට අදාළව කාමර 6 ක් ඉදිකර තිබෙනවා. වෙනමම නැරඹුම් මැදිරියකින්ද මෙම කුලුන සමන්විත වෙනවා.  


මේ වන විට කුලුනේ ඉදිකොට ඇති නෙළුම් පොහොට්ටුවේ පෙතිවල විදුලි බලය අත්හදා බලමින් පවතිනවා. මුලින්ම රතු පාටින්. ඊළඟට නිල් පාටින්, ඊළඟට කොළ පාට යනාදී වශයෙන්. නත්තල දිනයේ (25 වැනිදා) හෙට සම්පූර්ණ සැලසුමම නොවෙයි, නත්තල නිසා චීන සැලසුම්කරුවන් බලාපොරොත්තු වෙනවා විදුලි ආලෝකයෙන් විචිත්‍රවත් කරන්න. ඒ සඳහා එල්.ඊ.ඩී. බල්බ 21,700ක් පමණ යොදා ගන්නවා. කුලුන සම්පූර්ණයෙන්ම විදුලි ආලෝක කරන්න බැහැ. දැනට අපි බලාපොරොත්තු වෙන්නේ නෙළුම් පෙතිවලට විදුලි ආලෝකය දෙන්න. ඉදිරියේදී සම්පූර්ණයෙන් විදුලි ආලෝකය කිරීමට බලාපොරාත්තු වෙනවා. ඒක තමයි විටින් විට කොළඹ අවට ජනතාවට පෙනෙන්නේ.  


නත්තල් දිනයට ලොවම සැරසෙද්දී සොඳුරු නත්තල් සැරසිලි අතරට දකුණු ආසියාවෙන් එක්වන අලුත්ම ගොඩනැගිල්ල කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුනයි. මීටර 350 ක් පමණ උසැති එය දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙයි.  


මෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිමාවූ පසු එය චීන සමාගම විසින් ලංකා රජයට පවරනවා. ඊට පසු එහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කළේය.


ඊට පසු සියලු පරිපාලන කටයුතු පැවරෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටයි. දැනට නෙළුම් කුලුන සඳහා ඇස්තමේන්තු කළ මුදල ඩොලර් මිලියන 104 ක් පමණ වෙනවා. එම මුදලින් ඩොලර් මිලියන 88.65 ක මුදලක් ණය වශයෙන් ලබා ගත්තා. දැනට පාවිච්චි කළ ණය මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 67.29 ක් පමණ වෙනවා. ඉතිරි මුදල අප යළි බැංකුවට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.  


අපේ මූලික අරමුණ දැන් මේ කුලුන නිමවූ පසු ආදායම උපයාගෙන ඒ ණය මුදල කඩිනමින් ගෙවා දමන්නයි. ණය ගෙවලා මෙය විවෘත කරලා හෝටල් සහ සාප්පු සංකීර්ණය ව්‍යාපාරිකයන්ට දෙනවා. මෙය නිමවූ පසු මහජනතාවට විවෘත වෙනවා. ඒත් ඔවුන්ගෙන් මෙය නැරඹීම සඳහා මුදලක් අය කරන්නේද නැද්ද යන්න පිළිබඳ තවම තීරණයකට එළඹී නැහැ. සාප්පු සංකීර්ණයක් නිසා ගාස්තුවක් අය කිරීම පිළිබඳ තීරණයක් ගෙන නැහැ. අපි ව්‍යාපාර සැලසුමක් හදලා ඒ පිළිබඳ තීරණය කරනවා. නමුත් නැරඹුම් මැදිරියට යාමට සුළු මුදලක් අය කිරීමට බලාපොරොත්තු වුණත් පාසල් ළමයින්ගෙන් මුදලක් අයකරන්න අපේක්ෂා කරන්නේ නැහැ.  


ලබන වසරේ ජනවාරි වන විට එම ව්‍යාපාර සැලැස්ම සකස් කිරීමට අපේක්ෂා කරනවා. නමුත් මහජනතාවට විවෘතයි.  


මේ දවස්වල අපි කුලුනේ නෙළුම් පෙතිවල විදුලි බුබුලුවල පරික්ෂණ පවත්වනවා. එහි කොළ, රතු, කහ, නිල්, සුදු වගේ වර්ණ භාවිත කරනවා. මේ වර්ණ යොදා ගැනීම පිළිබඳ මුල් ගිවිසුමෙන්ම තීරණය කළා. ඒක දැන් වෙනස් කරන්න කල්පනා කර නැහැ. මේ කුලුනේ හෝටල් දෙකක් තිබෙනවා. ඉතින් ඒ ඒ හෝටල් වෙන් කරන අයගේ ඉල්ලීම පරිදි අපි ඒ ඒ ආලෝක වර්ණ යොදා දෙනවා. එම වර්ණ යෙදීම තීරණය කළේ 2011 වසරේදියි. අද ඊයෙ නෙවෙයි. මෙයට යොදවන වර්ණයන් දැන් වෙනස් කරන්නත් බැහැ. වෙනස් කරන්න ගියොත් අපට තවත් අමතර මුදලක් වැය කරන්න සිදුවෙනවා.  


නෙළුම් කුලුන නිම කොට එහි නියම ප්‍රමිතිය පරික්ෂා කිරීමෙන් පසුවයි විදුලි සංදේශන නියාමන කොමිසම නිල වශයෙන් බාර ගන්නේ.  


නත්තල් දිනයේදී රාත්‍රී අහසේ රතු, නිල්, කොළ හා කහ වර්ණවලින් බබළන නෙළුම් කුලුන කාගෙත් ආකර්ෂණය දිනාගන්නවා.

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 



අදහස් (0)

නෙළුම් කුළුණ විකසිත වෙන්න ළඟයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 524 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site