IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


​නොදන්නා ගං දියට නාන්න ගිහින් ජීවිතයෙන් සමුගත් සිසුවියෝ

මෙරට ඇති ගංගා අතරින් අහිංසකම ගංගාව ලෙසත් සුන්දරම ගංගාව ලෙසත් වැඩිදෙනෙකු හඳුනාගෙන ඇත්තේ ගොංගල කන්දෙන් ආරම්භ වී ගාල්ල හරහා ගිංතොටින් මහ සයුරට එකතුවන ගිං ගඟයි. එහෙත් අහිංසකාවිය දිය රකුසියක සේ හැසිරෙමින් පසුගිය මාර්තු තිස් එක් වැනි සෙනසුරාදා පාසල් සිසුවියන් තිදෙනෙකු සහ එක් සිසුවියකගේ මවක බිල්ලට ගත් ශෝචනීය පුවත ගොංගාල කන්ද පවා හඬවන්නට ඇත. එය ඒ තරමටම කනගාටුද‌ායකය.


ගාල්ලේ තංගල්ලේ විසූ රවිඳි සෙස්මිණී, හිනිදුම බටහිර එම්. එල්. මිනුරිකා සහ පනංගල එප්පල විසූ කවීෂා අංජලී, ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ නම වැනි වසරේ එකට අධ්‍යාපනය ලබමින් සිටි අතර ඔවුන් නතර වී සිටියේද එකම නේවාසිකාගාරයකය. ඔවුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා රිපන් බාලිකාවට පැමිණ සිටි අතර රවිඳි තලංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙනුත්, මිනුරිකා හිනිදුම මල්ලිකා විද්‍යාලයෙනුත් කවීෂා උඩුගම කැටගොඩ කනිටු විද්‍යාලෙනුත් ශිෂ්‍යත්ව කඩයිම පසුකර තිබුණි.  


මෙම සිසුවියන් තිදෙනා සහ එම පන්තියේම තවත් සිසුවියන් හත් දෙනකු එකම කාමරයේ නේවාසිකව සිටි අතර ඉකුත් තිස් වැනි දිනට යෙදුණු මහ සිකුරාදා නිවාඩුවත් තිස් එක් වැනි දිනට යෙදුණු පොහොය නිවාඩුවත් නිසා හිනිදුම කල්වාරි දේවස්ථානය නැරඹීමටත්, ගිං ගඟේ දිය නෑමටත් එම නිවාඩුව යොදා ගැනීමට ඔවුන් සාකච්ඡා අරඹන්නේ මෙම නේවාසිකාගාර කාමරයේ සිටයි. ඒ අනුව තිස් එක් වැනි දින උදෑසන හිනිදුම බටහිර ප්‍රදේශයේ සිටින මිනුරිකාගේ නිවසට සියල්ලෝම එකතුවන්නට කතිකා කරගත්හ.  


මිනුරිකාගේ පියා හිනිදුම ශාන්ත ආනා ප්‍රාථමිකයේ විදුහල්පති වශයෙන්ද කටයුතු කරන අතර ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ ගිං ගඟට සමීපවය. පිරිස මියුරිකාගේ නිවසට රැස්වීමට තීරණය කරන්නේ ඒ නිසාය. ඒ අනුව දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමෙන් සිසුවියන් පස් දෙනකු පමණක් පැමිණි අතර දෙමව්පියන් මේ ගමනට අවසර නොදීම නිසා පස් දෙනෙකුට ගමන මගහැරීමට සිදුවිය. රවිඳි සෙස්මිණි, සිසුවියගේ කුඩා සහෝදරයාද ඇය සමඟ මෙම ගමනට එකතු වී සිටියේය. ඔහු ද තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්ව ගාල්ල සිරිධම්ම විද්‍යාලයට ඇතුළු වූ සිසුවෙකි.   


කණ්ඩායම උදේ වරුවේ කල්වාරි ​ෙද්වස්ථානය නරඹා දහවල් වනවිට නැවත මිනුරිකාගේ නිවසට යන්නේ ගිං ගඟෙන් දිය නෑමටය. මිනුරිකාගේ පියා සහ මව මෙම දරුවන් කණ්ඩායමද සමග ඔවුන්ගේ නිවස අසල තිබෙන පරණ තොටුපළකට ගිය අතර මිනුරිකාගේ මව ඒ අවස්ථාවේ තමන් දරුවන් නානතුරු එතැන සිටින නිසා පියාට නිවසට ගොස් දහවල් ආහාරය සූදානම් කරන ලෙස පවසා තිබේ. මිනුරිකාගේ පියා එම අවස්ථාවේ දිවා ආහාර සූදානම් කිරීමට ගොස් ඇත.  

 

සියල්ල කණපිට හැරෙන්නේ ඉන් පසුවය. එම අවාසනාවන්ත සිද්ධිය ඇසින් දුටු රවිඳි සෙස්මිණී සිසුවියගේ කුඩා සහෝදරයා වන මුතුහෙට්ටි ගමගේ ආවින්ද්‍ය ශිෂ්‍යයා සිද්ධිය විස්තර කළේ මෙසේය.  


‘‘අපි නාලා ගොඩට ආවම අපේ අක්කගෙ කකුල වැදිල සබන් පෙට්ටියේ පියන වතුරට වැටුණා. අක්ක ඒක ගන්න වතුර බැස්සා පියන පාවෙනකොට අක්ක ඒක පස්සෙන් ගියා. ඒ සැරේ අක්කත් පාවෙන්න හැදුවා. එතකොට මිනුරිකා අක්කා වතුරට පැනල අක්ක ගන්න හැදුව. මිනුරිකා අක්කත් පාවුනා. ඊළඟට මිනුරිකා අක්කලයි අම්ම වතුරට පැනල එයාලා පස්සෙන් ගියා එයත් පා වුණා. ඊට පස්සෙ මගේ ළඟම හිටපු කවීෂා අක්කත් වතුරට වැටුණා. මිනුරිකා අක්කයි එයාලයි අම්මයි පාවුණේ ඔළුව උඩට තියාගෙන. කවීෂා අක්කගෙ ඔළුව යට ගිහින් පාවුණේ. ගොඩ හිටපු අක්කල දෙන්නයි මායි හයියෙන් කෑ ගැහුවා. ඒ හරියෙ චේන්සෝ එකක් වැඩ කළ නිසා අපි කෑගැහුවට කාටවත් ඇහුණේ නෑ. ඊට පස්සෙ අපි ගොඩට ගිහින් කෑගැහුවම මාමල වගයක් ඇවිත් පීනලා ගිහින් තමයි අක්කල සොයාගත්තේ.’’  


දැන් සිදුවී ඇති සියල්ල පැහැදිලිය. රටට ලෝකයට ආලෝකයක් වීමට සිටි අහිංසක මල් කැකුළු තුනක් සහ ආදරණීය මවක් මෙසේ ජල රකුසාට බිලිවන්නේ සබන් පෙට්ටි පියනක් නිසාය. මෙම සිද්ධියෙන් ගොංගල කන්ඳ පවා හඬන්නට ඇතැයි මා මුලින් සඳහන් කළේද ඒ නිසාය.  


සාමාන්‍යයෙන් ගිං ගඟේ ජලය ගලා බසින්නේ එතරම් රළු ස්වභාවයකින් නොවේ. එම නිසා ජීවිත හතරකට මරු කැඳවූ ස්ථානය පිළිබඳ සොයා බැලීමටද අපි ගියෙමු.  


එය අතහැර දමන ලද තොටුපොළකි. ගංදියේ පාවූ දරුවන්ගේ පාවහන් තවමත් ගං ඉවුරේය. එම ස්ථානයේ දියනෑමට සුදුසු පසුබිමක් නොමැති බව පැහැදිලිව පෙනී යයි. ගංඉවුර ආසන්නයේ ජල මට්ටම අඩි පහක් තරම්වත් ගැඹුරු නැති වුවද ගඟ මැදට වන්නට ඇත්තේ අපැහැදිලි වක්කලමකි. දියේ ගිලුණු සිව් දෙනාගේ මෘත දේහ සොයාගෙන තිබුණේද එම ස්ථානයේ රැදී තිබියදීය. පිහිනන්නට පුළුවන් එක් අයෙකු හෝ මෙම ස්ථානයේ සිටියා නම් මෙම ජීවිතවලින් කිහිපයක් හෝ බේරාගැනීමේ හැකියාව තිබුණි.  


ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එම්. එස්.අාර්. අයිරාංගනී මහත්මියත් මේ දරුවන්ගේ පංතිභාර ගුරුතුමිය වන රමණී ධම්මිකා මහත්මියත් අප සමග කියා සිටියේ ශිෂ්‍ය නායිකාවන් වූ මේ සිසුවියන් තිදෙනාම අති දක්‍ෂයින් බවයි. පාසලෙන් සූදානම් කර තිබුණු වෙනත් චාරිකාවක් නොගොස් මෙම දරුවන් පිරිස මෙම ගමනට සහභාගි වී ඇති බවද වැලපෙමින් කියා සිටියේ කවීෂා අංජලී සිසුවියගේ මව වන ගයානි සකුන්තලා (27) මහත්මියයි.  

 

 

 

මරණයට පත් වූ මෙම සිසුවියන් අතරින් රවිඳි සෙස්මිණි සිසුවිය තලංගල්ල ප්‍රාථමික විද්‍යාල ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී වෙනත් පාසලකට ගිය ශිෂ්‍යාව බව එම විද්‍යාලයේ වර්තමාන විදුහල්පති තිලකරත්න අබේසිංහ මහතා සඳහන් කළේය. ඇයගේ පියාවන සුජිත් මුතුහෙට්ටිගම මහතා (45) පැවසුවේ දියණිය දෙමව්පියන් නොමැතිව නිවසින් පිටතට ගිය පළමු වැනි අවස්ථාව මෙය බවයි. එම නිසා වැඩි ආරක්‍ෂාවට බාල සහෝදරයා ඊට සහභාගි කළ බවද ඔහු පැවසුවේය.  


මෙම අවාසනාවන්ත සිද්ධියෙන් රවිඳි සෙස්මිණී මුතුහෙට්ටිගම (14) මාපලගම ලියනගේ මිනුරිකා (14) එම්.වී. කවීෂා අංජලී (14) ලියන ගමගේ ශ්‍යාමලී (39) යන පිරිස මරණයට පත් වූ අතර හිනිදුම හදිසි මරණ පරීක්‍ෂක කේ.එච්. හේමානන්ද මහතා විසින් හිනිදුම දිසා රෝහලේදී හදිසි මරණ පරීක්ෂණ සිදු කරන ලදී.   


හිනිදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් පිටිගල මහතා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ මෙහෙයවීය.  


ජීවිතයේ තවත් බොහෝ කාලයක් ඉතිරිව තිබියදී මෙම සිසුවියන් තිදෙනාටත් මවටත් ජල රකුසාට බිලිවීමට සිදුවූයේ දියනෑම සඳහා නුසුදුසු ස්ථානයක් තෝරා ගැනීමත් සබන් පෙට්ටි පියනක් අතහැර දැමීමට තිබුණු අකමැත්තත් නිසා බව නම් සටහන් කර තැබිය යුතුමය.

 

 

 

තවලගම - රංජිත් හේවගේ
නෙළුව - පියරත්න ජයවික්‍රම



අදහස් (0)

​නොදන්නා ගං දියට නාන්න ගිහින් ජීවිතයෙන් සමුගත් සිසුවියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31301 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13496 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site