IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


තරුණියන් 8ක් මරා නි​ෙවසේ තබාගෙන සිටි ජපානයේ මිනීමරුවා

සීරියල් කිලර්ස් නොහොත් දාම මිනීමරුවන් පිළිබඳව ලොව විවිධ රටවලින් වාර්තා වී තිබේ. විකෘති මානසිකත්වයකින් යුතු මෙවැනි දාම මිනීමරුවන් තෘප්තිමත් වනුයේ විවිධ ක‍්‍රම උපයෝගී කර ගනිමින් ඉතා අමානුෂික අයුරින් දාමයක් ලෙස අහිංසක මිනිස් ජීවිත බිලිගැනීමෙනි.   


වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගත් දාම මිනීමරුවා වශයෙන් ප‍්‍රකට වූයේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් හෙන්රි ගැස්කින්ස්ය. ඔහු විසින් කුරිරු ලෙස වධ බන්ධනයට හා අංගෙඡ්දනයට ලක්කොට මරා දමන ලද ගණන 90ක් පමණ වේ. ඔහුගේ අවසාන ඝාතනය වූයේ සිරගෙදර ඔහු මෙන්ම මරණ දඬුවමට නියමිතව සිටි සිරකරුවෙකි. මේ හැර ටෙඩ් බන්ඩි, ජැක් ද රිපර්, ලූවී ගරාවිටෝ, අහමඩ් සුරාඩ්ජි, ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින්, ආන්ද්‍රේ චිකාටිලෝ, චාල්ස් එඩ්මන්ඩ් කුලෙන්, පැට්‍රික් වේන් කියාර්නි, ඩෙනිස් රයිඩර්, ජොන් ජෝජ් හේග්, පෝල් නොවෙල්ස්, විලියම් බොනින්, අයිලින් වුවර්නොස්, ජෙෆ්රි ඩාහ්මර්, ට්සුටෝමු මියාසාකි වැනි පුද්ගලයෝ ලොව කුප‍්‍රකට දාම මිනීමරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නෝ වෙති. මොවුහු අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුවත් ඝාතනය කරන ලද පුද්ගලයෝය. 

 

මෙම දාම ඝාතකයන් අතරට එක් වූ අලූත්ම පුද්ගලයා පිළිබඳ පසුගිය සතියේ අනාවරණ වූයේ ජපානයෙනි. ඔහු 27 හැවිරිදි තකෂිරෝ ෂිරයිෂිය. තරුණියන් අට දෙනකු හා එක් තරුණයකු ඔහුගේ ගොදුරු බවට පත්ව තිබේ. තමන් ජීවිතය පිළිබඳව කලකිරී සිටින බවට සමාජ ජාල ඔස්සේ සඳහන් කළ යුවතියන්ට එම කටුක ජීවිතයෙන් නිදහස් වන්නට තමන් උපකාර කළ බවට තකෂිරෝ පාපෝච්චාරණය කර තිබේ. 

ඔහු මෙම තරුණියන් හඳුනාගෙන ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. ‘‘පාසලේදීත් රැකියා කරන ස්ථානයෙත් වෙනත් ස්ථානවලදීත් පුද්ගලයන් හිරිහැරයට ලක් වෙනවා. එවැනි පුද්ගලයන්ට පිහිට වීම මගේ අරමුණයි. එවැනි අය ඕනෑම අවස්ථාවක මට පණිවිඩයක් එවන්න’’ යනුවෙන් ඔහු සිය ට්විටර් ගිණුම මගින් ඉල්ලා තිබේ. ඔහු සතුව ට්විටර් ගිණුම් කිහිපයක් පැවැති බවට තොරතුරු ලැබී ඇති අතර තවත් ගිණුමක ‘‘ අපි එක්ව මියයමු’’ යනුවෙන් සඳහන් වී තිබිණි. 


තකෂිරෝ විසින් ඝාතනය කරන ලද තරුණියන්ගෙන් සිව් දෙනෙක් 17 වැනි පසුවූවන් වූ අතර ඉතිරි පිරිස 20ත් 23ත් අතර පසුවූවෝය. ඔහුගේ පළමු වැනි ගොදුර වූයේ සිය දිවි නසාගැනීම සඳහා ඔහුගෙන් උපකාර ඉල්ලා සිටි යුවතියකි. ඇය තමාට සිය දිවි නසා ගැනීමට අවශ්‍ය බවත් එහෙත් තනිව මියයාමට බිය හෙයින් ඒ සඳහා සහකරුවකු සොයා දෙන ලෙසට ඔහුගෙන් ඉල්ලා තිබේ. තකෂිරෝ ඇයට උපකාර කිරීමට එකඟ වී ඇත්තේ ඒ අනුවය. ඇය ඔහු හමුවට ගිය බව ඇගේ පෙම්වතා දැන සිටි අතර ඇය සොයා එම නිවෙසට ගිය පෙම්වතාද තකෂිරෝ වෙතින් ඝාතනය වී තිබේ. 


තමන් මේ සඳහා උපකාර කරන බවට හා ඔවුන් සිය දිවි නසාගන්නා බවට මිතුරන්ට හෝ, ඥාතීන්ට හෝ සමාජ ජාල ඔස්සේ හෝ කිසිදු අයුරකින් හෙළිදරව් නොකරන ලෙස ඔහු මෙම යුවතියන්ගෙන් ඉල්ලා තිබේ. මරා දැමීමට පෙර මෙම යුවතියන් අට දෙනා සමඟ තකෂිරෝ ලිංගිකව එක්වී ඇති අතර ඔවුන් මරා දමා ඇත්තේ ඉන් අනතුරුවය. තම සේවය වෙනුවෙන් ඇතැම් යුවතියන්ගෙන් පවුම් 3,400ක්ද ලබා ගත් බැව් ඔහු පැවසූ බැව් ටෝකියෝ පොලිසිය සඳහන් කරයි. 


ඔහු ජීවත් වූයේ ටෝකියෝ නගරයට නිරිත දිග දෙසින් පිහිටි සාමා නගරයේ වූ කුඩා නිවෙසකය. මරා දමන ලද යුවතියන්ගේ සිරුරු කුඩා කැබලිවලට කපා ඒවා නරක් නොවී තබාගත හැකි ශීත කළ කුඩා ඇසුරුම් පෙට්ටිවල බහා එම නිවෙසේ සඟවා තැබීමට ඔහු කටයුතු කළේය. සිරුරුවලින් ඉවත් කළ මාංශ කොටස් සහ වින්දිතයන්ගේ ඇඳුම් හා වෙනත් භාණ්ඩ මාර්ගය අසල ඇති කසළ බඳුන්වලට දමා සාක්ෂි වසන් කිරීමට ඔහු ක්‍රියා කළේය. 


අතුරුදන්ව සිටි එක් යුවතියකගේ සොහොයුරකු විසින් තම සොහොයුරිය අතුරුදන්ව ඇතැයි පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන පැවැත්වෙමින් තිබූ අතර එම යුවතිය තකෂිරෝ හමුවන්නට ගිය බවට නාඳුනන කාන්තාවක විසින් සොහොයුරාට ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ. පොලිස් විමර්ශන තකෂිරෝ වෙත යොමු වූයේ ඉන් අනතුරුවය. ඝාතනයට ලක් වූ යුවතියන් දෙදෙනකු දුම්රිය ස්ථානයේ සිට ඔහුගේ නිවෙසට පැමිණෙන අයුරු ඇතුළත් සීසීටීවී දර්ශන සොයා ගැනීමට පොලිසියට හැකි විය. පොලිසිය ඔහුගේ නිවෙස පරීක්ෂාවට ලක් කරන ලද්දේ ඉන් අනතුරුවය. එහිදී මළ සිරුරු කැබලිවලට කපා දැමීම සඳහා භාවිත කළ ආයුධ පෙට්ටියක්, කියතක් හා නරක් වෙමින් පැවැති සිරුරු දෙකක්ද සොයා ගැනීමට ඔවුනට හැකි විය. 


ගෙල සිර කිරීමෙන් ඔවුන් මරා දමා ඇතැයි පොලිසිය විශ්වාස කරයි. එම සිරුරු මත බළල් වසුරු අතුරා තිබිණි. පොලිස් නිලධාරීන් ඔහුගේ නිවෙසේ දොරට තට්ටු කොට අතුරුදන්ව සිටින යුවතියක පිළිබඳව විමසූ විට කුඩා ඇසුරුම් පෙට්ටියක් පෙන්වූ තකෂිරෝ ‘එයා මෙතන සිටිනවා යැයි’ පවසා තිබේ. එහි එවැනි ඇසුරුම් පෙට්ටි අටක් තිබූ බැව් පොලිසිය පවසයි. ඔහුගේ නිවෙස දෙසින් වරින් වර දුගඳක් හමන බවට අසල්වැසියන් පැමිණිලි කර තිබූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. 


තකෂිරෝ ෂිරයිෂි කුඩා කල සිටම ඉතා සන්සුන්, අසල්වැසියන් හා සුහදශීලී දරුවකු වී යැයි ඔහුගේ අසල්වැසියන් සඳහන් කර තිබේ. පාසලේ සමාජශීලී දරුවකු වූ ඔහු බේස්බෝල් හා මළල ක්‍රීඩාවට ඇලුම් කළ චරිතයකි. මෙම ඝාතනවලට සම්බන්ධ පුද්ගලයා තකෂිරො බවට අනාවරණ වූ විට එය තමන්ට අදහා ගත නොහැකි වු බැව් ඔහුගේ පාසල් මිතුරන් පවසා තිබේ. 


උසස් අධ්‍යාපනය අවසන් කොට 2009 පාසලෙන් ඉවත් වූ ඔහු ටෝකියෝ හි කබුකිචා ප‍්‍රදේශයේ නීත්‍යනුකූල ගණිකා නිවාසවලට තරුණියන් සපයන්නකු වශයෙන් සේවය කළේය. ඔහුගේ සොහොයුරියන්ගේ අධ්‍යාපනය සඳහා ඔවුන් සමඟ මවද ටෝකියෝවට ගිය හෙයින් තකෂිරෝ ජීවත් වූයේ තම පියා සමඟිනි. පසුගිය අගෝස්තුවේ තම පියා ඇමතූ ඔහු ‘‘මම තව දුරටත් ජීවත් වෙන්නේ ඇයි?’’ යනුවෙන් අසා තිබේ. ඉන් ටික දිනකට පසු ඔහු සාමා ප‍්‍රදේශයේ තනි කාමරයක් සහිත කුඩා නිවෙසක පදිංචියට ගියේය. ඔහු සියලු ඝාතන සිදු කර තිබුණේ එම නිවෙසේදීය. 


ට්විටර් ගිණුම් කිහිපයක් ඇරඹූ ඔහු තමා වෘත්තීය අලූගෝසුවකු යැයිද සිය දිවි නසා ගැනීමට අවශ්‍ය අයට උපකාර කරන බවටද එමඟින් ප‍්‍රසිද්ධ කළේය. සිය දිවි නසා ගැනීමට අවශ්‍ය කාන්තාවන් ඔහු සොයා පැමිණියේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. 


සියදිවි නසා ගැනීම සඳහා තමන්ගෙන් උපකාර ඉල්ලා පැමිණි යුවතියන්ට කඩිනමින් තම අරමුණ ඉටු කර ගැනීමට ඔහු උපකාර කළේය. පළමු මළ සිරුර කැබලි කිරීමට ඔහුට දින තුනක කාලයක් ගත වුවද ඉන්පසු ගතවූයේ එක් දිනක් පමණක් යැයි ඔහු පොලිසියට පවසා තිබේ. මළ සිරුරු කැබලි කිරීමට තම නාන කාමරය භාවිත කර ඇති අතර සතියකට එක් යුවතියක බැගින් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. 


ඔහුගේ නිවෙසේ වූ ඇසුරුම් පෙට්ටිවල තිබී පුද්ගලයන් නව දෙනකුට අයත් හිස්, අත් පා සහ අස්ථි කොටස් 240ක් පොලිසියට හමු වී ඇති අතර මිය ගිය පුද්ගලයන් පිළිබඳ වැඩි දුර තොරතුරු අනාවරණ කර ගැනීමට විමර්ශන කටයුතු අරඹා තිබේ. 


ලොව මිනීමැරම් අවම රටක් වන ජපානයේ වැසියෝ මෙම සිදුවීමෙන් මහත් කම්පාවට පත්ව සිටිති. 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 



අදහස් (0)

තරුණියන් 8ක් මරා නි​ෙවසේ තබාගෙන සිටි ජපානයේ මිනීමරුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27342 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 636 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 191 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 845 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site